2009 වසරේ ලස්සන හින්දි චිත්‍රපටයක් එළියට ආවා.
ඒකේ නම වික්ටරි (Victory).
චිත්‍රපටයට ඒ කාලේ විවිධ රටවල ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝමයක් රඟපෑවා.
ශ්‍රී ලංකාවෙන් සනත්, මුරලි, දිල්හාර, මහරූෆ් වගේ ක්‍රීඩකයො එක් වුණා.
චිත්‍රපටයේ කතාව තිබුණේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වටා.
විජේ ශෙඛාවත් උපතින්ම ගෙන ආ දක්ෂතාවයක් තිබූ ක්‍රීඩකයෙක්.
ඔහු කොතරම් දක්ෂතා අතර සිටියත් ජාතික කණ්ඩායමේ ඔහුට අවස්ථාවක් හිමි වූයේ නැහැ.
අවසානයේ ඔහුගේ පුහුණුකරුගේ සහ පියාගේ දැඩි කැපවීම මත විජේට ඉන්දීය කණ්ඩායමේ අවස්ථාවක් ලැබෙනවා.
ඔහු පළමු තරගයේ සිටම හොඳින් ක්‍රීඩා කරනවා. දක්ෂතා අතරට එනවා. පිට පිට ශතක ගහනවා.
මේ සාර්ථකත්වය සමග විජේ ශේඛාවත් අතිශය ජනප්‍රිය වෙනවා.
ඔහු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ කිරුළ හිමි කුමරුන් බවට පත්වෙනවා.
මාධ්‍ය විසින් ඉතා ඉහළින් ඔහු ගැන කතා කරනවා. රසිකයන් ඔහුට දැඩිව ආදරය කරනවා. තරුණියන් අතර ඔහු සිහින කුමරා බවට පත්වෙනවා.
ප්‍රධාන සමාගම්, සන්නාම ඔහු සොයා පැමිණෙනවා.
ඒ අතර ඔහුට පුද්ගලික කළමණාකරුවෙක් ද හමුවෙනවා.
ඒ සමගම ඔහු සොයා අසීමිත ධනස්කන්දයක් එනවා. ඒ සියල්ල මෙහෙයවන්නේ විජේ ශෙඛාවත්ගේ පුද්ගලික කළමණාකරු ඇන්ඩි විසින්.
ක්‍රමක්‍රමයෙන් විජේගේ ජීවිතයෙන් ක්‍රිකට් ඈත් වෙනවා.
මුදල් ඔහුගේ අංක එක බවට පත්වෙනවා.
සාද, මත්පැන්, තරුණියන් සහ මුදල් ඔහුගේ ජීවිතය බවට පත්වෙනවා.
මෙතෙක් හොඳ දේවල් උදෙසා පමණක් පුවත් මැවූ ඔහු, සමාජශාලා වල ඇති කරගන්නා ගැටුම් වලින් මාධ්‍යයේ ප්‍රවෘත්ති හදනවා.
ඒ සමගම ක්‍රමක්‍රමයෙන් ඔහුගේ දක්ෂතා ද ක්ෂය වෙනවා.
ඔහු දිගින් දිගටම අසමත් වෙනවා.
ඒ අතරේ ඔහු කළමනාකරුගේ උපදෙස් මත ආබාධයක් සඟවා, වේදනා නාශක ගෙන තරග ක්‍රීඩා කරනවා.
පසුව එයත් හෙළිවෙනවා.
ඉන්පසුව විජේ ශෙඛාවත් කණ්ඩායමෙන් ඉවත් කරනවා.
රසිකයන් ඔහුට වෛර කරන්න පටන් ගන්නවා.
මාධ්‍ය ඔහුව දැඩිව විවේචනය කරනවා.
කොටින්ම කෝපාවිශ්ඨ වූ රසිකයන් ඔහුගේ නිවස පවා ගිනි තබා විනාශ කරනවා.
චිත්‍රපටය අවසන් වන්නේ සිය වැරදි පිළිබඳ පසුතැවී, යළිත් සියල්ල නිවැරදි කරගන්නා විජේ ශෙඛාවත් ඉන්දීය කණ්ඩායමට පැමිණ ඔවුන්ට කුසලානයක් ජයග්‍රහණය කර දෙන සිදුවීමකින්.
මේ චිත්‍රපටය ඉන්දියාව තුල ආදායම් ඉපැයීමෙන් සාර්ථක වූයේ නැහැ.
එනමුත් ඉන් ලබා දුන් පණිවිඩය බොහෝ සමාජගත වුණා.
ඉන්දීය ක්‍රිකට් අධිරාජ්‍යයේ ආරම්භය සනිටුවහන් වූයේ මේ කාලයේ දී.
මේ වනවිට IPL තරගාවලියේ ළඳරු අවදිය නිසා මුදලට තරග පාවාදීම් (Spot Fixing) එතරම් විශාල කර්මාන්තයක් වී තිබුණේ නෑ.
එම නිසා චිත්‍රපටය නිර්මාණය කළ උදවිය ඔට්ටු තැබීමේ සංක්ලපය ඇතුලත් කර තිබුණේ නෑ.
කෙසේවෙතත් මෙමගින් නිරූපනය කර තිබුණේ ප්‍රථමයෙන් ක්‍රීඩාවට ආදරය නිසා කණ්ඩායමට පැමිණෙන ක්‍රීඩකයන්, පසුව මුදල් නිසා විනාශ විය හැකි අන්දමයි.
දැන් චිත්‍රපටය නිකුත් වී වසර පහලොවක් ගත වෙලා.
එනමුත් එම චිත්‍රපටයෙන් පෙන් වූ ඛේදාන්තයට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව ගොඳුරු වූයේ නැහැ.
එය ඔවුන්ගේ වාසනාවක්.
විශේෂයෙන්ම විජේ ශෙඛාවත් චරිතයට සම විය හැකි චරිතය වූයේ විරාත් කෝලි.
එනමුත් මුදල් හෝ වෙනත් කිසිම සාධකයක් නිසා ක්‍රිකට් ක්‍රීඩාව හෝ ජයග්‍රහණයට ඇති ඔහුගේ ආශාව අඩු වූයේ නැහැ.
විරාත් කෝලි මෙන්ම කිසිඳු යොවුන් ක්‍රීඩකයෙක් ඒ මග ගියේ නැහැ.
ඉන්දීය ක්‍රීඩකයන් විජේ ශෙඛාවත්ගේ ඉරණමට ගොඳුරු නොවීමට විවිධ හේතුන් තිබුණා.
ඉන් පළමුවැන්න ඉන්දීය මාධ්‍යයෙන් සහ රසිකයන්ගෙන් එල්ල වෙන පීඩනය.
එය අසීමිත පීඩනයක්.
දෙවැන්න ඉන්දීය ක්‍රීඩකයන්ගේ ජීවිත බොහෝ සංවෘතයි.
ඔවුන්ට විශාල සමාජ ජීවිතයක් නැහැ.
ඔවුන්ට නිදහසේ ගමන් කිරිමට තබා හෝටලයකට හෝ සාදයකට පවා යා නොහැකියි.
ලොව කුමන රටක, කුමන නගරයක වූවත් ඔවුන් කෙරෙහි අසාමාන්‍ය අවදානයක් එල්ල වෙනවා.
එම නිසා බොහෝ විට ඔවුන්ගේ ජීවිත ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිත සමාජ වලට පමණක් සීමා වෙනවා.
එමෙන්ම ඉන්දීය කණ්ඩායමේ ස්ථානයකට විශාල තරගයක් තිබෙනවා.
ජාතික කණ්ඩායමේ පමණක් නොවෙයි, IPL සංචිතයේ ස්ථානයකට හෝ රංජි කණ්ඩායමක ස්ථානයකට පවා අසීමිත තරගයක් පවතිනවා.
කිසිම හේතුවක් නිසා ක්‍රීඩකයෙකුට අසාර්ථක විය නොහැකියි.
එසේ අසාර්ථක වූ සැණින් ඔහුගේ ස්ථානය උදුරා ගැනීමට ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම සුදානමින් සිටිනවා.
කණ්ඩායමෙන් විසි වූ පමණින් ක්‍රීඩකයෙකු සතු සියලූම වරප්‍රසාද අවසන්.
එම නිසා ක්‍රීඩකයන් කණ්ඩායමේ රැඳී සිටිය යුතුයි. ඒ වෙනුවෙන් කැප විය යුතුයි.
සිය නිවස අළු වී යාමට එක් කුඩා සිදුවීමක් ප්‍රමාණවත් බව ඔවුන් දන්නවා.
මේ සියලු පීඩන නිසා ඉන්දීය කණ්ඩායමෙන් විජේ ශෙඛාවත් ලා බිහි වූයේ නැහැ.
ඉන්දියාවෙන් බිහි වූයේ විරාත් කෝලිලායි.
එනමුත් අවාසනාවකට පසුගිය කාලය තුල ශ්‍රී ලංකාවෙන් විජේ ශෙඛාවත්ලා බිහිවෙමින් තිබෙනවා.
උපතින්ම ගෙන ආ දක්ෂතාවය නිසා ජාතික කණ්ඩායමට පැමිණ, එතැනින් උපයන ධනස්කන්දය සහ ජනප්‍රියත්වය සහ කාන්තා ආකර්ෂණය හේතුවෙන් අතරමං වූ විජේ ශෙඛාවත්ලා ඕනෑ තරම් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හොයාගත හැකියි.
මුදල් වෙනුවෙන් ක්‍රීඩා කරනා ක්‍රීඩකයන්, ගැටුම් ඇති කරගන්නා ක්‍රීඩකයන්, ආබාධ සඟවා ක්‍රීඩා කරනා ක්‍රීඩකයන් පසුගිය කාලයේ ඕනෑ තරම් හිටියා.
ඒ සියලූම වැරදි වලට අඛණ්ඩව සමාව හිමි වුණා මිසෙක, විජේ ශෙඛාවත් මෙන් කණ්ඩායමෙන් ඉවත් වීමට හෝ එම ක්‍රීඩකයන්ට සිදු වූයේ නැහැ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්කෘතිය සහ සාමාන්‍ය සමාජය ඉන්දියාවෙන් වෙනස්.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට විශාල පීඩනයක් නැහැ.
මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් විවේචනය කළත්, ඒවා හුදෙක් විහිලුවකින් අවසන් වෙනවා.
එම නිසාම ෆේස්බුක් නොබලා ටික්ටොක් සහ ඉන්ස්ටාග්‍රැම් සමාජජාලා වලට පමණක් සීමා වීමෙන් සහ රූපවාහිනිය නොබැලීමෙන් ඒ ගැටලුවත් අවසන් වෙනවා.
ඔවුන්ගේ ජීවිත සංවෘත ද නැහැ.
ඔවුන්ට හෝටලයකට, ඕනෑම සාදයකට, ඕනෑම සමාජශාලාවකට යා හැකියි.
ඔවුන්ගේ සමාජීය ජීවිතය කිසිම අයුරකින් සීමා වී නැහැ.
ශ්‍රී ලංකාවේ ඉහළ මධ්‍යම පන්තිය තමන් පැමිණි සමාජශාලාවට, සාදයකට හෝ අවන්හලට කුමන ක්‍රිකට් ක්‍රීඩකයා පැමිණියත් ඔවුන්ට එතරම් අවදානයක් ලබා දෙන්නේ නැහැ.
ඔවුන් සමග ඡායාරූප ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.
එය තමන්ට මදිකමක් ලෙස ලාංකිකයා හිතනවා. හැකි තරම් එම ක්‍රීඩකයා ‘ගණන් නොගෙන’ සිටීමට එම ස්ථාන වලට පැමිණෙන සෙසු ලාංකිකයන් උත්සාහ කරනවා.
එම නිසා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයාට වඩා බොහෝ නිදහස්, සමාජ ජීවිතයක් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩකයාට හිමිවෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමක ස්ථානයකට කිසිඳු තරගයක් ද නැහැ.
දක්ෂතාවයක් නිසා කණ්ඩායමට පැමිණෙන ක්‍රීඩකයෙකුට අසමත් වූවත් දිගුකාලීන අවස්ථා හිමිවෙනවා.
කොටින්ම ඔහු දැඩි විනය ගැටලුවකට මැදිහත් වූවත් යළිත් ඔහුට අවස්ථාවන් හිමිවෙනවා.
එම නිසා ශ්‍රී ලංකාවෙන් විජේ ශෙඛාවත් ලා බිහි වෙලා.
කණ්ඩායමට පැමිණ ටික කලෙකින් ඔවුන්ගේ ප්‍රමුඛතාවයන් වෙනස් වුණා.
ඔවුන්ගේ ජීවිත වලින් ‘ක්‍රිකට්’ ඈත් වුණා. තවදුරටත් ඔවුන්ට ක්‍රිකට් අවශ්‍ය නැහැ.
සාද, කාන්තාවන්, මත්පැන් සහ මුදල් ඔවුන්ගේ ජීවිතයේ පරම සතුට බවට පත්වෙනවා.
එතැන් පටන් ඔවුන් ඒ වෙනුවෙන් ජීවත් වෙනවා. ක්‍රිකට් ඔවුන්ට මුදල් උපයා දෙන රැකියාවක් පමණයි.
ඔවුන් මෙහෙයවන ‘ඇන්ඩි’ ලා කිහිපදෙනෙක් ද ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ සිටිනවා.
චිත්‍රපටයේ විජේ ශේඛාවත්ට හිමි වූ ඉරණම හෝ මෙරට විජේ ශෙඛාවත්ලාට අත්වන්නේ නැහැ.
මෙරට ක්‍රිකට් සංස්කෘතිය තුල ඔවුන් ආරක්ෂිතයි.
ක්‍රිකට් ක්‍රීඩාවට මුදල් ගලා එද්දී සිදුවිය හැකි දේ ඉන්දියානුවා දැන සිටියා. ඔවුන් ඒ වෙනුවෙන් චිත්‍රපට ද හැදුවා.
එනමුත් ඔවුන් ඒ ඛේදජනක ඉරණමට මුහුණ දුන්නේ නැහැ.
අද ඔවුන් පුරෝකථනය කළ අනාගතය ශ්‍රී ලංකාවට උදා වෙලා.
ඉරේෂාන් සිරිවර්ධන (fb)
2024. 06. 15