Boys ලා සහ Men ලා

Share post:

මීට වසර අටකට පෙර 2016 වසරේ ජුනි 16 වැනිදා අයර්ලන්තයට එරෙහිව කුසල් මෙන්ඩිස්, දසුන් ශානක සහ ධනංජය ද සිල්වා එක්දින වරම් දිනා ගත්තා.
කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඇන්ජලො මැතිවුස්. සනත් ජයසූරිය තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළා.
මේ තරගයේ නොම්මර හතර පිතිකරු ලෙස ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ශතකයක් ලබා ගත්තා.
ජ්‍යේෂ්ඨ පිතිකරු උපුල් තරංග යොවුන් ක්‍රීඩකයන්ට ඉඩ දීමට, පිතිකරන ලයිස්තුවේ නොම්මර හත දක්වා පසුබැසීම විශේෂත්වයක්.
පළමු තරගයේදීම කුසල් මෙන්ඩිස් ලකුණු පනහක් ලබා ගත්තා. එම තරගයේත් ඔහුට හිමි වූයේ සුපුරුදු නොම්මර තුන ස්ථානයයි.
දසුන් ශානක පන්දු 19 කින් ලකුණු 42ක් ගැහුවා.
ඒ වගේම පන්දුවෙන් කඩුලු පහක් දවා ගත්තා.
ධනංජයට එතරම් දස්කමක් දැක්වීමට ඉඩ ලැබුණේ නැහැ.
එදා මේ තිදෙනාම යොවුන් ක්‍රීඩකයින්.
එසේත් නොමැති නම් ක්‍රිකට් ක්‍රීඩාවේ භාෂාවෙන් යොවුන් කොලු ගැටයන් හෙවත් ‘බෝයිස්’ (Boys) ලා.
වසර අටකට පමණ පසුව කුසල් මෙන්ඩිස් එක්දින තරග 130 ක් ක්‍රීඩා කර තිබෙනවා.
ඔහුගේ එක්දින සාමාන්‍ය ලකුණු 32 යි.
දසුන් ශානක එක්දින තරග 70 ක් ක්‍රීඩා කරලා. ඔහුගේ පිතිකරන සාමාන්‍ය 22 යි.
තරග 70 කට පසුව ඔහුගේ හොඳම පන්දු යැවීම වන්නේ මංගල තරගයේ ලකුණු 43 කට ලබා ගත් කඩුලු පහමයි.
ධනංජය ද සිල්වා එක්දින තරග 90 ක් ක්‍රීඩා කර තිබෙනවා.
ඔහුගේ පිතිකරන සාමාන්‍ය 25 යි.
මේ තිදෙනාම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තනතුරු දැරූ ක්‍රීඩකයන්.
දසුන් ශානක ශ්‍රී ලංකා නායකත්වය දැරුවා. ඔහු නායකයෙකු වශයෙන් සාර්ථකයි.
කුසල් මෙන්ඩිස් වර්තමාන ශ්‍රී ලංකා එක්දින නායකයා.
ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය දරනවා. ඔහු ටෙස්ට් කණ්ඩායමේ සාර්ථක ක්‍රීඩකයෙක්.
මේ සියලුම ක්‍රීඩකයන් දැන් අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨයන්.
ඔවුන් වෙනුවෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දශකයක පමණ කාලයක් ආයෝජනය කර තිබෙනවා.
ඒ ක්‍රීඩකයෙකුට “සුපිරි” මට්ටමට පැමිණීමට අතිශය ප්‍රමාණවත් කාලයක්.
එපමණක් නොවෙයි.
මේ අතරින් කුසල් මෙන්ඩිස් ට කණ්ඩායමේ හොඳම පිතිකරන ස්ථානය දිගින් දිගටම ලබා දුන්නා.
ඔහු විනය ගැටලු වලට මුහුණ දුන් විට පවා ඔහු ආරක්ෂා කළා.
ඔහු වෙනුවෙන් ක්‍රිකට් ආයතනය සිදු කර ඇත්තේ විශාල ආයෝජනයක්.
2000 වසරේ එක්දින වරම් දිනූ, මුල් කාලයේ නිශ්චිතව ස්ථානයක් හෝ මුල්පෙල පිතිකරන ස්ථානයක් නොතිබූ කුමාර් සංගක්කාර 2008 වසර වන විට, ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම සුපිරි ක්‍රීඩකයෙක්.
2008 වසර වන විට ඔහු එක්දින ශ්‍රේණිගත කිරීම් වල මුල් 15 අතර හිටියා.
ඔහු සහ ජැක් කාලීස් 13 වන ස්ථානයේ සිටියදී, සර්වාන් 12 වැනි ස්ථානයත්, සචින් තෙන්දුල්කාර්ට 11 වැනි ස්ථානයත් වෙන් වුණා.
එවකට කුමාර් ශ්‍රී ලංකා කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙක්.
වසර අටකින් කුමාර් සංගක්කාර ලබා තිබෙන ප්‍රගතිය ඉන් පැහැදිලියි.
ප්‍රධානම දේ 2008 වසර වෙද්දි, කුමාර් සංගක්කාර තවදුරටත් යොවුන් ක්‍රීඩකයා නොහොත් “බෝයි” තත්ත්වයේ සිටියේ නැහැ.
ඔහු හොඳ පෞරුෂයක් සහිත ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු නොහොත් “මෑන්” (Man) තත්ත්වයේ ක්‍රීඩකයෙකු වී සිටියා.
කුඩා කාලයේ කොන්ඩය වවාගෙන සිටි විනෝදකාමී සංගක්කාරට වඩා ඉහළ පෞරුෂයකින් යුතු, වගකීමකින් ක්‍රීඩා කරනා, නායකත්ව ගුණාංග පිරිපුන් ක්‍රීඩකයෙක් වී සිටියා.
ඔහු මාධ්‍ය හසුරවන ආකාරය, ක්‍රීඩා පිටියේ සහ ඉන් පිටත හැසිරීම, වගකීම යන සියල්ල වෙනස් වී තිබුණා.
යොවුන් ක්‍රීඩකයෙකුට “බෝයි” තත්ත්වයෙන් “මෑන්” තත්ත්වයට පැමිණීමට වසර අටක් හොඳටම ප්‍රමාණවත්.
කුසල් මෙන්ඩිස් ලාගේ ගැටලුව නම් වසර අටකට පමණ පසුව කුසල් මෙන්ඩිස් ලා දෙස බැලීමේදී තවමත් ඔවුන්ගෙන් “මෑන්” තත්ත්වයේ ක්‍රීඩකයෙකු දැකගත නොහැකි වීමයි.
තවමත් ඔවුන්ගේ ක්‍රීඩාවත්, මාධ්‍ය හැසිරවීමත්, ඇඳුම්, පැළඳුම් යන සියල්ල 2016 සිට කොලු ගැටයා (බෝයි) වගේමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කෙසේ වෙතත් පිටත සිට නිරීක්ෂණය කරනා අපට කුසල් මෙන්ඩිස් ලාගෙන් පරිනත මිනිසෙකු, ක්‍රීඩකයෙකු හෝ නායකයෙකු පෙනෙන්නේ නැහැ.
ක්‍රීඩාවෙන් සහ හැසිරීමෙන් ඔවුන් තවමත් කොලු ගැටයන්.
2016 වසරේ සිට අද දක්වා ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ දේ වෙනස් වෙලා.
කුසල් ලාගේ කාලයේම ක්‍රීඩාවට පැමිණි යොවුන් ක්‍රීඩකයන් අද බොහෝ දුර ගිහින්.
කේ. එල් රාහුල් සහ බාබර් අසාම් මේ කාලසීමාවේ ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි ක්‍රීඩකයන්.
අද ඔවුන් කණ්ඩායමක වගකීමක් දරනා, බොහෝ දෑ ලඟා කරගත් ක්‍රීඩකයන්.
වැදගත්ම දේ ඔවුන් තවදුරටත් කොලු ගැටයන් නොවෙයි, පරිනත ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්.
කොටින්ම ඔවුන් “බෝයිස්” (Boys) නොවෙයි, දැන් “මෙන්” (Men) ලා.
කුසල් මෙන්ඩිස් ලාගේ ගැටලුව 2016 වසරේ සිට වසර අටක් ක්‍රිකට් ක්‍රීඩා කළත් තවමත් ඔවුන් පරිනත නොවීමයි.
ක්‍රීඩාවෙන්, වගකීමෙන් සහ හැසිරීමෙන් තවමත් ඔවුන් “බෝයිස්” ලා පමණක්ම වීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන් ‘පරිනත’ වන තුරු, දිගින් දිගටම අවස්ථා ලබා දෙමින් බලා සිටියත්, එය කවදා හෝ සිදුවිය හැකි දෙයක් දැයි බරපතල සැකයක් ඇතිවීම සාධාරණයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

           2024. 06. 16

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...