‘සීනුව නාදකරපල්ලා’ – අනුරාධා නිල්මිණී ගේ ප්‍රථම කෙටි කතා එකතුව

Share post:

“අතීතය නිශ්චිත මොහොත ඇතුළෙම හැමදාම හුස්ම ගන්නවා. කාලය විතරයි වරින් වර විවිධ පැහැ සළු – පිළි පළඳින්නෙ ද්වාරකා…”
මං හුගක්ම සංවේදී වුණු කෙටි කතාවෙන් මං පටන්ගන්නම්. ඒක ඇය නම් කරල තියෙන්නෙ
” ක්‍රිස්තු වර්ෂ – 630 ” කියල.

“ඔයා හැමදාම ඇති කියන්නෙ කන්ද මුදුන පෙනි පෙනී…”

” ඒ හින්දා තමයි එකම බලාපොරොත්තුවක් මේ තරම් කාලයක් නිරෝගීව හුස්ම ගන්නෙ ෂාහිද්…”

කතුවරියට මෙම කෙටි කතාව ලිවීමට බලපෑම් කරන ලද්දේ Rahul Sankrityayan ගෙ ‘ වොල්ගා සිට ගංගා’ කෘතිය බව ඇය පසුවදනේදී දක්වයි. පෙම්වතුන් දෙදෙනෙකුගේ සුලලිත ආදර ස්පර්ශයන් සම්භෝග සුවයකට නොයා නතරවීමේ සෞන්දර්ය මේ කතාවේ ඉතා සූක්ෂම හා සෘංගාරත්මකව දැක්වීමට කතුවරිය සමත් වී තිබේ. ස්ත්‍රිය හා පුරුෂයා යන දෙදෙනාගේ කුතුහලය හා භාවාත්මක වීම හාත්පසින්ම දෙ ආකාරයකි.අන්ත දෙකකි. එය එකක් නොවන තාක් ප්‍රේමයේ සුන්දරත්වය රැකේ. එය එකක් වූ දා සිට ප්‍රේමය අතුරුදන් වේ.

” මම ඔයාගෙ සමස්තය ඇතුළෙ ගිලිල මැරෙන්න හිතෙන මනුස්සයෙක් බවට පත්වෙලා ඉවරයි, ඔයා කවදාවත්ම ඔව්…! මේ දැනුත් තේරුම් නොගන්නෙ අන්න ඒ මොහොත .”………….

“මොකුත්ම වෙනස් වෙන්නෙ නෑ. ඒක ඔයා දන්නවා. අපි කොයිතරම් උත්සාහ කෙරුවත් වෙනස් කරන්නත් බෑ”

“අපිට පුලුවන් සින්ද්වලට යන්න. නැත්නම් කම්රූප්වලට…..එහෙමත් නැත්නම් සිංහලේට….”

“ඔය හැම දේශයකම ස්ත්‍රියට අයිති එකම සයනයයි, ෂාහිද් එකම ඉරණමයි….”

ඇය පැරණි සාහිත්‍ය තුළින් මතුකරගන්නා ස්ත්‍රී පුරුෂයන් තුළ වර්තමානයද දකී. කාලය වෙනස් වුවද සිද්ධිදාමයන් වෙනස්වී ඇද්ද? ඇයගේ

” යුග ස්ත්‍රී සහ “වැලිකඩ අස්න” කවි පොත් මට මෙහිදී සිහිවේ. ගැහැනියගේ හඬට ඈ කවදත් සංවේදීය. පැරණි සාහිත්‍යයත්, ඇයගේ නව චින්තනයත්, පරිකල්පනයත් කැටිකොට ගත් මේ කුඩා කතාව පාඨකයාට විශාල ආළෝක දහරාවකි.

‘ බයෝ බෑග්’ නම් වූ කෙටි කතාව තුළ ඇය අපව ගෙනයන්නේ අනාගතයටයි. කෘත්‍රීම ලෙස දරුවන් තැනීම groth pods යන සංකල්පයට මේ වනවිටත් පිඹුරු පත් සැකසී ඇති නූතන ලෝකයේ සමහරවිට තව වසර පහ හයකින් අපටද මේ අත්දැකීම විඳීමට සිදුවනු ඇත.

“අර ටියුබ් එකකින් වූම්බ් එක ඇතුළට යවන්නෙ මොනවද ඩොක්ටර්..? “

“ආ..ඔය කස්ටර්ම‍යිස් කරපු බබෙක් හදන විදිය ……..ඔය යවන්නෙ, ඒ කස්ටර්මස්ල කැමති පාට, ඇස්වල පාට, එතකොට ශරීර ශක්තිය ,උස,අනිත් ප්‍රධානම දේ, බුද්ධිය කියන් කොටස් වලට අයිති සුපර් ජීන්ස්….”

” මරු , මරු…! ආයෙ ලෝකෙ මොකාටවත් සෙකන්ඩ් නොවන් පොරක් තමයි අපිටත් ඕන…”

මෙහිදී කතුවරිය අනාගත වෛද්‍ය විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව තුළින් කොතරම් විකෘති දරුවෙක් බිහිවෙය්ද යන්න ඉඟි සපයන අතරම අපට අපගේ වර්තමාන දරුවා මීට වෙනස්ද නොවෙනස්ද යන්න පිළිබඳවද සිතීමට පොළඹවයි. වර්තමානයේ හදන දරුවන්ගෙන් වුව අප බලාපොරොත්තු වන්නේ “සියල්ල සම්පූර්ණ” දරුවෙකු නොවේද?

“මේ විදියට අපි තවන් කරන බබාලා ඕගොල්ලො ළඟට ගියාට පස්සෙ මොනම දේකට හරි ඔයාල එයාට ගැහුවත්, බැන්නත්, සීරුවත්, කෙනිත්තුවත් කිසිම වෙලාවක එයාලට තරහ එන්නෙ නෑ….තරහ එන්නෙ නෑ කියන්නෙ දුක, තරහ, ආදරය වගේ හැගීම් උනන ජාන අපි එයාලට දාන්නෙ නෑ. ඒ නිසා එයාලකවදාවත් ඔයාලගෙ වචනෙකට පිටින් යන අකීකරු දරුවෙක් වෙන්නෙ නෑ…!”

මෙම කෙටිකතා සංග්‍රහයේ කතුවරියගේ පරිකල්පනය ඉහළ ඇගැයීමකට ලක් කළ හැකි කතාවක් ලෙස “ගෙම්බෙක් මුලින් ම ඉකිගහපු දවස” පෙන්වා දිය හැක. ගෙම්බෙක්ට පුලුවන්ද ගැහැනියකට ආදරය කරන්න. අපි පුංචි කාළෙ කියවපු සුරංගනා කතාවල ලස්සන කුමාරිකාවන්ට ආදරේ කරපු ගෙම්බො හිටියා තමයි. ඒ කුමාරිකාවගෙන් හාද්දක් ලබාගෙන කුමාරයෙක් වෙන්න බලාපොරොත්තුවෙන් මිස ඊට එහා දෙයක් නෙවෙයි. ඒත් මේ ගෙම්බා නං පැදුරු ආනක් අස්සෙ හැංගිලා ඉදගෙන තමන්ගෙ මුලු ජීවිතේම පද්මාවතීට ආදරේ කරනවා. මිනිහෙක්ට, ගැහැනියකට විතරක් නෙවෙයි ගෙම්බෙකුටත් හැඟීම් කවන්න කතුවරිය දැක් වූ ප්‍රතිභාව අනගියි.

කතුවරියගේ ලේඛන ප්‍රතිභාව විවිධයි. ඇය සමාජ, දේශපාලන,විද්‍යාව,සාහිත්‍ය යන සෑම අංශයක්ම ගැඹුරින් කියවා ඇත්තියක ලෙස ඒ ඒ අනුභූතීන් තම නිර්මාණයන්ට උකහා ගන්නේ සියුම් ලෙසය. මෙහි එන මුල්ම කෙටි කතාව ” එතකොටත් මං මැරිලා” යන්නට ඈ පාදක කරගන්නේ පසුගිය කාලයේ සමජයේ ඉතා ආන්දෝලනයක් ඇතිකළ සත්‍ය ප්‍රවෘත්තියකි. ලොරි රථයක් හඹා එන පොලිස් කරුවෙකු අතින් ලොරි රියැදුරාගේ හිසට වෙඩි වැදීම සහ ඒ මොහොතේ අවට රැස්ව හුන් ජනී ජනයාගේ කතා බහ, හැසිරීම් රටාව හුදු ප්‍රවෘත්තියක් ලෙස අපට සාමාන්‍ය ය. නමුත් වෙඩි වැදුණු මිනිසාගේ මනෝ භාවය කතුවරිය සූක්ෂම ලෙස අල්ලා ගනී. සැබැවින්ම මේ සමාජ ක්‍රමය තුළ බොහෝ මිනිසුන් පණපිටින් වෙඩි වැදී මියගොස් සිටින්නවුන්‍ ය. මෙය වෙඩි කාගෙන මියැදෙමින් සිටින මිනිසුන් ගේ ලෝකයකි. ලොරි රියැදුරා උදෑසන ගෙදරින් එළියට බහින්නේම උණ්ඩයකින් හිල්වූ පපුවේ සිදුරකින් ලේ ගලමින්ය. මේ කතාව කියවන ඔබද මමද එසේ නොවේද? පොලිස් කාරයාට පළා යන්නට නොදී ආවේගාත්මකව හැසිරෙන මිනිසුන්ට (මියගිය) ලොරි රියැදුරා මෙසේ කියයි.

“අය්යෝ…. ඌට යන්න දීපල්ලා…..ඌ කොකා ගස්සනකොටත් මං මැරිලා හිටියේ….”
මෙහි කූඨාප්‍රාප්තිය එම වදන් පෙළයි. කතුවරිය අප දුටු ප්‍රවෘත්තියක් ගොනුකරගෙන විත් අවසානයේ අපටද වෙඩි තියයි. ඒ ඇගේ කෙටි වියමන් හි දක්වන පරිචයය.

පොතේ නමට හේතු කාරක කරගත් “ඒ සූකර සාජ්ජේ” නම් කෙටි කතාව තුළ මේ සමාජ ක්‍රමයෙන් උත්පාදනය කරනු ලැබූ මජර දේශපාලනික බලාපොරොත්තු වල ගිල්වනු ලැබූ මිනිසාගේ අපරණිත මනෝභාවයන් පෙන්නුම් කරයි. වඩා හොඳ පුද්ගලයෙක්, පැමිණ වඩා හොඳ සමාජයක් අපට තනාදෙන තෙක් සූකරයන් සේ අප අසූචි කමින් බලා සිටින්නෙමු. කිසිවෙකු අපව බේරාගන්නා තුරු බලා සිටිනා සමාජයකට එල්ල කළ අතුල් පහරකි “සූකර සාජ්ජේ”.

” 58න් පස්සේ” ගැන කතා නොකළොත් එය අඩුවකි. රටක දේශපාලන වැරදීම් එක් තැනකින් පමණක් අල්ලා ගත නොහැකිය. එය සමස්තයක් ලෙස දැකිය යුතුය. බොහෝ ලේඛක ලේඛිකාවන්ට ජාතිවාදය හෝ ජාතික ප්‍රශ්නය හසුවන්නේ එක් කාලසීමාවකට ලඝු කරවමිනි. එක් ජාතියක වැරැදීම් වලට ලඝු වෙමිනි. ඒ අවිදූර දෘෂ්ටිකත්වය තුළින් හම්බකරගත් ලේඛක ලේඛිකාවන් කොපමණද? ඒ පටු දෘෂ්ටිය තුළින් සම්මාන ලැබුවන් කොපමණද, ඒ ආත්මාර්ථය තුළින් විදෙස් රටවල වරප්‍රසාද විඳින්නන් කොපමණද? එකම තැනකට ඇඟිල්ලක් තබා මෙන්න මෙතන තමයි අපට වැරදුනේ කියා දේශපාලන ඉතිහාසය ලකුණු කළ නොහැක. ඒ පණිවිඩය කතුවරිය අපට ගෙන එන්නේ “58 න් පස්සේ” කෙටි කතාව තුළිනි.

සමස්තයක් ලෙස, පුලුල් කියැවීමක, විමසීමක, සවිඥානිකත්වයක විකාශයකි ” සීනුව නාදකරපල්ලා” . කතුවරිය විසින් මෙතක් ඔබට පිරිනමා ඇති කවි පොත්ද, නවකතාද, පර්‍යේෂණ ග්‍රන්ථය ද ඔබ අපගේ අවබෝධය පුලුල් කරවන්නට සමත් වූවා සේම මෙම කෙටි කතා පොත් පිංචද ඔබගේ අවධානය දිනාගනු නිසැකය. එසේම සාහිත්‍ය ලෝකයේ පුලුල් කතාබහකට ලක්විය යුතුමය.

සජීවිකා වීරතුංග (fb)

12/06/24

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...