ඊයෙ(11) දවස ගෙවුනෙ ජාතික අධ්‍යාපන ආයතනයෙ ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකයත් එක්ක. ජනප්‍රිය ගමගේ තමයි සම්බන්ධීකාරක. පාසල් සිසු සහ ගුරු ප්‍රජාව ඇතුලුව අනෙක් පාර්ශව වලද කියවීම සහ රස වින්දනය පුළුල් කිරීම උදෙසා වන වැඩ සටහන් තුන බැගින් පටිගත කරන්න. ඔවුන්ගේ වෙබ් රේඩියෝවකට. මාත් මහින්ද සෙනරත් ගමගේ සහෝදරයත් දෙන්නම ඊට සහභාගි වුනා. එහිදී අපට සාකච්ඡාව තුළ කෘති තුනක් ගැන කතා කරන්න පුළුවන්. මං තෝර ගත්තෙ හෙමිංවේගේ මහල්ලා සහ මුහුද, මයාකොව්ස්කිගේ රැකියාවක් තෝරා ගන්නේ කෙස්ද සහ මවිසින් පරිවර්තනය කරන ලද දේදුනු බලකාය කියන පොත් තුන. මේ වැඩ සටහන අගේ කල යුත්තක්.
මට මේ වැඩ සටහනට සහභාගි වන අතරෙ මතක් වුනේ අපි කණ්ඩායමක් දිනිල් අබේගුණවර්ධනගේ ආරාධනයෙන් ගමන නමින් වෙබ් රේඩියෝවක් නිර්මාණය කරන්න දරපු උත්සාහය. විවිධ හේතු නිසා ඒක මග ඇන හිටියා. ඒත් කවදාවත් ඇන හිටින්නෙ නැති එක දෙයක් තියෙනවා. ඒ උත්සාහ දැරීම කියන එක.
මං තෝර ගත්ත කෘති අතරෙ දේදුනු බලකාය කියන්නෙ මේ රටේ වැඩියෙ අවධානයට යොමු නොවිච්ච එක කෘතියක්. ඒ කෘතිය හැබැයි ඉන්දුනීසියාවෙ වැඩියෙන්ම අලෙවි වෙන පොත. කතෘ ඇන්ඩ්‍රියා හිරාටා. එක් අතකින් ඒක ඔහුගේ ජීවන අන්දරය. ඒ වගේම ඒක ඉන්දුනීසියාවෙ අවපීඩිත දරුවන්ගේ අධ්‍යාපන අරගලයෙ කතන්දරය. අන්ත දුෂ්කර තත්වයන් යටතෙ ටින් ලෝහය කැණීමේ නිරත මලයාවරුන්ගේ දරුවන්ට අධ්‍යාපනය අහිමිකිරීමේ පුවත. ඊට එරෙහිව හර්ෆාන් නම් ගුරුවරයෙක් සහ බූ මූස් නම් යෞවනියක කරනා අරගලය. බලධාරීන් තමන්ට අනාගත කම්කරුවන් අහිමිවන නිසා මලයාවරුන්ගේ දරුවන්ට අධ්‍යාපනය දීමේ වගකීමෙන් කර අරිනවා. ඔවුන් මේ පීඩිතයන්ගේ පාසලට දාන පළමු කොන්දේසිය සිසුන් දහ දෙදෙනක් නැතිනම් පාසලක් නෑ යන්න. කතාව ඇරඹෙන්නෙ මෙතනින්. අන්තිමට ඔවුන්ට දහවෙනි සිසුවා හැටියට ලැබෙන්නෙ මානසික සමබරතාවෙන් තොර දරුවෙක්ව. මේ පාසලින් ඉහලටම යන පුද්ගලයා තමයි හිරාටා. ඔහු ඉතා සංවේදී ආකාරයට තමන්ගේ අධ්‍යාපන අරගලය ගැන දේදුනු බලකාය තුළ කතා කරනවා. ඒක සත්‍යය මත පදනම්වූ ප්‍රබන්ධයකට වඩා සත්‍යයම ඉදිරිපත් කරන කෘතියක්.
මං මේ කෘතිය තෝර ගත්තෙ ගුරු සිසු දෙපිරිසටම එක සේ වැදගත් වන නිසා. ලංකාවෙ පාඨකයන් අතර අයිත්මාතොෆ්ගෙ ගුරු ගීතය අතිශය ජනප්‍රියයි. බොහෝ අය ඔහු හඳුන්වන්නෙ ස්ටාලින්වාදී පාලනයේ ප්‍රචාරකවාදියෙක් හැටියට. ඒත් අයිත්මාතොෆ් කියන්නෙ ගැඹුරින් කියවන්න අවශ්‍ය නිර්මාණකරුවෙක්. මේ දිනවල මං ඊට උත්සාහ දරමින් ඉන්නෙ. ඔහුගේ සාහිත්‍ය මෙහෙවරේ බර වැටහෙන්නෙ ඔහු විසින් රචිත කෘති සියල්ල එකට කියවමින් ඔහුගෙ ජීවිතයත් කියවන විට.
දේදුනු බලකාය කියවපු පළමු මොහොතෙ මට හිතුණ දේ තමයි මේ කෘතිය ඇතැම් පැති වලින් ගුරු ගීතයත් අභිබවා යනව නේද කියන එක. ඒ කෘතිය තුළ අධ්‍යාපනය උදෙසා වන අරගලය වගේම සාමූහිකත්වයේ අගය, අභියෝග වලට මුහුණ දීමේ අවශ්ය තාව, සිසුන් සහ ගුරුවරුන් අතර පැවතිය යුතු දැඩි සම්බන්ධය වගේ පාර්ශව ගණනාවක් සාකච්ඡාවට ගන්නවා. ඉතා රසවත්ව ලියැවුන මේ කෘතිය අපේ ගුරු සිසු දෙපාර්ශවයටම ඉතා වැදගත් කෘතියක්.
මම ජාතික අධ්‍යාපන ආයතනයෙන් පිටවෙලා එන්න හදද්දි මහින්ද මගෙන් ඉල්ලීමක් කළා.
‘චූලෙ පුළුවන් නම් වෝල්ටර් සර්ට කෝල් එකක් දෙන්න. කවුරු හරි කතා කරනව නං සර් ආසයි.’
මහින්ද සෙනරත් ගමගේ කියන්නෙ මගෙ සමකාලීන පාසල් සගයා, සරසවි සගයා, දේශපාලන සගයා, නිර්මාණ සගයා. ඒ වගේම වෝල්ටර් සර් කියන්නෙ අපි දෙන්නගෙම පාසල වුන තක්ෂිලාවෙ පුරාවෘත්තගත විදුහල්පතිවරයා. අපි දෙන්නගෙම ජීවිත වලට විශාලම බලපෑමක් කළ පීතෘවරයා. මහින්දගෙ ඉල්ලීම බරයි. ඔහු කරන ඉල්ලීමක් පිටුපාන්න බැරි එකක්. ඒ අතරම ඔහු මට සර්ගෙ දුරකථන අංකය දුන්නා. ඒත් මං ජාතික අධ්‍යාපන ආයතනයෙ ඉඳලා ඇමතුමක් නොගෙන සර්ගෙ මහරගම ගෙදරට තියෙන කිලෝමීටර් දෙකක පමණ දුර පයින්ම ගියා. සර් සමග ගත කළ හෝරාවක පමණ කාලය අතිශය සුන්දරයි. වයස අවුරුදු අනූහතක් වන ඔහු තුළ තියෙන මතකය, දැක්ම – ඒ කිසි එකක් අඩපණ වෙලා නෑ. ශාරීරික දුබලතාවන්ට ඔහුගෙ මනස අක්රීිය කරන්න හැකි වෙලා නෑ. අප අවසන් වරට වසර කිහිපයකට පෙර හමුවූ දිනයේ මතකයන් ඉතා පැහැදිලිව ඔහුගෙ මතක ගබඩාවෙ තියෙනවා. ඒ වගේම තමන්ගෙ ජීවන ගමන ඇතුළු තවත් බොහෝ දේවල්. සර් හාස්ය මුසු ස්වරයෙන් කියන විධිහට දැන් ඔහු ඉන්නෙ ඩබ්ලිවු පී ජී පී. ඒ කියන්නෙ වල පයයි ගොඩ පයයි. ඒත් ඒ උතුම් මිනිසාගේ සිත තවමත් තරුණයි.
මහින්ද සෙනරත් ගමගේ 2016 වසරෙදි සර් ගැන ලිපි එකතු කරලා වෝල්ටර් සර් කියලා පොතක් පල කරනවා. මාත් ඒකට ලිවුවා. සර් අපි එක්ක සුන්දර දවසක් ගත කරනවා. අද සර්ව බලන්න ගිය වෙලාවෙ මට ගුරු ගීතයෙ දුයිෂෙන් වගේම දේදුනු බලකායෙ හර්ෆාන් යන ගුරුවරුන් දෙන්නත් මතක් වුනා. සර් මේ දෙන්නගෙම එකතුවක්. මං ආපහු එන්න හදද්දි මේ උතුම් මනුෂ්‍යයා මගෙ අත සිපගත්තා. ඔහුගෙ කඳුලක් මගෙ අතට වැටෙද්දි මගෙ කඳුලක් ඔහුගෙ උර මතට වැටුණා. තාත්තට හැර ලෙහෙසියෙන් නොනැමුණ දෙදන ඔහු අභිමුව නැමුණා.
මට ඒ වෙලාවෙ මතක් වුන තවත් දෙයක් තියෙනවා. ඒ තවත් අපේ සුන්දර ගුරුවරයෙකු වුන ආනන්ද පට්ටිආරච්චි මහතා වොල්ටර් සර් ගැන කියපු දෙයක්. දේශපාලන පාදඩයන් නිසා සර්ට පාසලෙන් යන තැනට වැඩ සිදු වෙනවා. සර්ව මාරු කරන්න දෙමවුපියන් ඉඩ නොදෙන තැනකදි සර්ටම හිතලා යන්න බල කෙරෙන පසුබිමක් නිර්මාණය වෙනවා. මේ පට්ටිආරච්චි සර්ගෙ වචන.
‘මල්ලි, (ඔහු දැන් අපිට කතා කරන්නෙ මල්ලි කියලා) සර් මාරුවෙලා යන දවසට කලින් දවසෙ අපි සර්ගෙ මේස ලාච්චුව අස් කරද්දි ඒක ඇතුලෙන ගෑනු දරුවන් අඳින නිල ඇඳුමක් මතුවෙනවා. ඒ පාවිච්චි කරපු ඒත් අලුත් වගේ එකක්. වෙන කෙනකුගෙ ලාච්චුවකින් මතු වුනා නං ඒක අපේ සැකයට හේතුවක් වෙන්න ඉඩ තිබුනත් අපි සර්ව දන්නවා. ඒ නිසා අපිට ඒක ප්‍රශ්ණයක් වුනේ නෑ.’
මේ කතාව පිටුපස දිග රහසක් තියෙනවා. සර් උදේ පාන්දරින්ම පාසලට ඇවිත් කාර්යාලය ඉදිරිපිට කොරිඩෝවට වෙලා ළමයින් පාසලට එන ආකාරය බලා ඉන්නවා. ඒ ඉන්න අතරෙ ඇතැම් සිසුවෙකුට හෝ සිසුවියකට කතා කරනවා.
‘අයිසෙ, තමුසෙට ඇඳුම් කීයක් තියෙනවද?. ‘සර් මට පහක් තියෙනවා.’ ඒ උත්තරය සර්ගෙන් තවත් ප්‍රශ්ණයකට මග පාදනවා. ‘තමුසෙ ගෙදරට කියලා මට එක සූට් එකක් ගෙනත් දෙනවද?.’ සර්ගෙ ඉල්ලීමට කොහොමද බෑ කියන්නෙ. සර් ආයෙම මෙහෙම කියනවා. ‘හැබැයි රජෝ, මං ඒ ඇඳුම දෙන්නෙ කාටද කියල නං අහන්නෙපා.’
නොවැරදීම අර නිරීක්ෂණය අතරෙ සර්ට හමුවෙන සහය අවශ්‍ය සිසුවෙකුට සිසුවියකට අර ඇඳුම ලැබෙනවා. සර් මේ විධිහට විවිධ උපකාර කළ බොහෝ දෙන අද රටේ ඉහලම තැන්වල ඉන්නවා. මේ සර් ගැන තියෙන කතා සාගරයෙන් එකක් විතරයි. මට ඒ කතා සිහිපත් වෙද්දි ආයෙම අපේ රටේ විදුහල්පතිවරයෙකු මතක් වුනා. ඒ අර ගණිතය අසමත් කියලා පාසල් වලින් පිලිකෙවු කෙරුන දරුවව බාරගෙන ඔහුට දිස්ත්‍රික්කයේ පළමුවැන්නා වෙන්න ඉඩ හදා දුන්න මොණරාගල උතුම් මිනිසා. ඊයෙ වැඩ සටහන මෙහෙයවපු කොට්ටාව ධර්මපාලෙ ගුරුවරියක වන ජානකී මං ඒ ගැන කිවුවහම මෙහෙම කිවුවා. ඒ මං මුලින්ම ගුරු පත්වීම අරගෙන ගිය ඉස්කෝලෙ විදුහල්පති සර්. ඇත්තටම යහපත් මනුෂ්‍යයෙක්.’
ලෝකෙ හරිම පුංචියි. ඒ වගේම ගුරුවරුන්ට උත්සාහ දරනවා නම් ලෝකෙම වෙනස් කරන්න පුළුවන්.
චූලානන්ද සමරනායක