කන්දෙන් නැගි ඒ ඉමිහිරි නාදයේ මැවුම්කරු, ලෝක සාහිත්‍යයේ නොමැකෙන ජපන් ගිනිසිළ යසුනරි කවබතා

Share post:

125 වන ජන්ම දින සංවස්තර පිදුම

අල්ලපු රටේ සාහිත්‍යය හැරුණු කොට අපට ඉතාම සමීප සාහිත්‍යය ඇති ආසියානු රට වන ජපානය අද සිය අභිමානවත් ලෝක සාහිත්‍යය කරුවා වන මෙන්ම නොබෙල් සාහිත්‍යය සම්මානලාභී මුල්ම ජපන් සාහිත්‍යයකරුවා ද වන “යසුනරි කවබතා” ගේ 125වන ජන්ම දින සංවත්සරය සමරයි. එය අද ජපානයට පමණක් නොව මුළු සාහිත්‍ය ලෝකයට ම වැදගත් දිනයකි.

1899 ජුනිමස 11 වන දින ජපානයේ දී උපත ලබන මෙම මහා සාහිත්‍යකරුවා වසර 72ක කාලයක් තුළ ලෝක සාහිත්‍ය වර්ණවත් කරමින් අපූර්වතම නව කථා කලාවක් ජපානය තුළ බිහි කරමින් එය ලෝක සාහිත්‍යය දක්වා ව්‍යාප්ත කළ මෙන්ම විශ්ව සාහිත්‍යයට ද ජපන් කතා කලාව සඳහා නිසි ස්ථානයක් ලබා දුන් සාහිත්‍යකරුවා ද වන්නේය.

ජපන් ජාතිකයන්ගේ සාම්ප්‍රදායික කලාවන්, සාම්ප්‍රදායික ජන ජීවිතය මෙන්ම ඔවුන්ගේ ජීවන සංකීර්ණතා මැනවින් ඉස්මතු කරමින් සිය නවකතා නවකථා කරණයෙහි යෙදුණු කවබතා, අද්‍යතන ජපන් ජන ජීවිතය හා අතීත ජපන් ජන ජීවිතය සම්බන්ධ කර එහි ඇති ආදරේ සුන්දර බවත් අනාදරයේ ඇති නිස්සාරත්වයත්,එදා මෙදා සමාජය තුළ පවතින වංක අවංක භාවයන් පිළිබඳ වත් ස්වභාධර්මය මිනිසාට බලපාන්නේ කෙසේද යන්නත් , මැනවින් විශ්ලේෂණය කරන මෙන් ම කොටින්ම කියුවොත් ජපන් ජනතාවගේ මනෝ විශ්ලේෂණාත්මක නවකතාකරුවා ලෙස යසුනරි කවබතා පත්ව සිටි.
යසුනරි කවබතා ශ්‍රී ලාංකික සාහිත්‍ය ප්‍රේමීන්ට ද නුහුරු සාහිත්‍යකරුවෙක් නොවන අතර හා මහාචාර්ය ආරිය රාජකරුණා විමලදාස සමරසිංහයන් ප්‍රමුක සාහිත්‍ය වේදින් රැසක් දීර්ඝ කාලයක සිට කවබතා ගේ සාහිත්‍යය ශ්‍රී ලාංකිකයන්ට සමීප කළ අතර, පසු කාලීනව විමලදාස සමරසිංහ වැනි පරිවර්තකයන් අතින් ද ඔහුගේ විශිෂ්ට නවකතා රැසක් ද සිංහල බසට පරිවර්තනය විනි.

1968 දී නොබෙල් සාහිත්‍යය සම්මාන ලබා ගන්නා කවබතා ඒ ලබා ගැනීමට පදනම සකස් කර ගන්නේ ඔහු විසින් ලියන ලද අපූර්වතම විශිෂ්ට නවකතා ත්‍රිත්වය නිසා ය .ඒ Snow Country, Thousand Cranes හා The Old Capital යන කෘති ත්‍රිත්වයි.
නොබෙල් ත්‍යාග කමිටු ව මෙම කතා ත්‍රිත්වය මත පදනම් වූ ඔහුට නොබෙල් සාහිත්‍ය සම්මානය පිරිනමන අතර මෙම පොත් තුන ම ලෝකයේ භාෂා රැසකට පරිවර්තනය වී ඇති විශිෂ්ටතම කෘති බව ද සැලකේ.

එම පොත් තුනින්,,Snow Country පොත ජයන්ත විමලසේනයන් අතින් “හිමබිම” නමින් ද Thousand Cranes පොත හා The All Capital යන පොත් විමලදාස සමරසිංහ යන් විසින් “කොකුන් දහස” හා “පැරණි අගනුවර” නමින් සිංහලට පරිවර්තනය කර ඇත.

යසුනරි කවබතා ගේ මෙම අපූරු නව කතා වලට අමතරව ඔහු අතින් ලියැවුණු විශිෂ්ට ම ද කෘතිය ලෙස සැළකෙන්නේ The Sound of The Mountain කෘතියයි. එයද විමලදාස සමරසිංහ මහතා අතින් “කන්දේ නාදය “නමින් සිංහල පරිවර්තනය වී ඇත .ඔහුගේ මුල් නවකතාකරණයට වඩා ලෝක සම්භාවනාවට පාත්‍ර වූ මෙන් ම වෙන කතා වලට වඩා සංකීර්ණ මෙන් ම විචිත්‍රවත් වූ කථාව ලෙස ද කන්දේ නාදය කෘතිය සැළකේ.කවබතා විසින් ලියන ලද බොහෝමයක් කෘතීන් සාම්ප්‍රදායික ජපන් ජන ජීවිතයේ පැතිකඩක් විශ්ලේෂණය කරන්නක් වැනි වන අතර ජපන් ජාතිකයන් ගේ සාම්ප්‍රදායික ආදරය හා ජන ජීවිතය මෙන් ම එහි ඇති විවිධ මානසික කාරණා සංවේදීව සාකච්ඡා කරනවිශිෂ්ටතම කෘතිය ලෙස ද සැළකේ .

නූතන ජපාන සාහිත්‍යයේ ප්‍රධානියා ලෙස ද අභිමානනීය ගරුත්වයක් හිමි කරගත් කවබතා සුවිශේෂී චමත්කාරයක් සාහිත්‍යය තුළ මවන මායාකාරී මනෝ විශ්ලේෂණාත්මක ජපන් නවකතාකරුවා ලෙස ද අභිවාදනය ට පාත්‍ර වී තිබේ.

පැරණි සම්ප්‍රදායන් ඉදිරි පරම්පරා වෙත දැන ගැනීමටත් එය ඔවුන් වෙත ගෙන යාමටත් යොදාගත් මෙවලමක් ලෙස සිය සහිත්‍යය කරණය ඔහු යොදා ගනී. පාඨකයන්ගේ සිත් සසල කරවන ආකාරයෙන් සිය කතා අසුරන කවබතා සිය අදහස, සාහිත්‍යය තුළින් සමාජය තුළට කා වැද්වීමට ද මනාව සමත් වෙයි.
එමෙන්ම සම්ප්‍රදාය හා නවීනත්වය අතර සබඳතාවය ප්‍රබල ලෙසින් හුවා දක්වමින් මානව පැවැත්ම උදෙසා වූ ප්‍රයත්නයන් අතර එම ප්‍රයත්නයන්, සමාජගත කිරීමේදී ඇති වන සංකීර්ණතා හා අන්තර් ක්‍රියාවන් ඉතාමත් චමත්කාර ජනක ලෙස සිය සාහිත්‍ය තුළින් ප්‍රතිනිර්මාණය කළ මෙම විශිෂ්ට ලේඛකයා ලෝකයාගේ හිත සුව පිණිස මහා සාහිත්‍යකරණයක යෙදුනද තමා අභ්‍යන්තරයෙන්ම පැන නැගී සංකූලතාවයන් වලට පසුකාලීනව ලක්වූ බවක් ද පෙනෙන්නට තිබේ.

වසර හැත්ත දෙකේදී සියදිවි හානි කර ගනිමින් සිය සාහිත්‍ය ගමන භෞතික නතර කිරීමට කවබතා ගන්නා තීරණය ඔහුගේ පසුකාලීන මානසික සංකූලතා ද හේතුවන්නට ඇතැ යි විචාරක මතයයි .

දෙවන ලෝක යුද්ධයෙන් පසු ව ජපාන ජාතිකයන් මුහුණ දුන් ශාරීරික හා මානසික සංකූලතාවයන් මෙන් ම යුද්ධයෙන් පසු සමාජය තුළ ඇති වූ ඛේදවාචකයන් පිළිබඳව ද නිරන්තරයෙන් වේදනාවට හා දුකට පත් ව සිටි කවබතා නිරන්තරයෙන් සිය සාහිත්‍ය නිර්මාණයන් හරහා එම දුක වේදනාව ද මනෝ විශ්ලේෂණාත්මක ව කතා බහට ලක් කර ඇත .

විශේෂයෙන් ම ඔහු විසින් ලියන ලද ඉපැරණි අගනුවර යන කෘතියේ දී යුද්ධයෙන් පසු ව සම්ප්‍රදායික ජපාන ජාතිකයන් තුළ ඇතිවෙන ප්‍රතිවිරෝධතාවන් මැනවින් කතාබහට ලක් කරයි.

යසුනරි කවබතා විසින් විශිෂ්ට කෙටි කතා රැසක් ද ලියා පළ කර ඇති අතර ලාංකික පාඨකයන් හට ඔහුගේ එම කෙටි කතා ද ඉතාමත් සමීප ය.
මහාචාර්ය ආරිය රාජකරුණා මහතා ඒ පිළිබඳව පුරෝගාමී මෙහෙවරක් සිදු කර ඇත.

ජපන් හයිකු කවියේ ආභාසය මෙන් ම සාම්ප්‍රදායික ජපන් සාහිත්‍යයේ ද ආභාසය හා අනුබලය ලබාගත් කවබතා සිය ආඛ්‍යාන රීතිය ගැඹුරු එහෙත් සරල චමත්කාරයකින් යුතු ව සිය සාහිත්‍යයකරණය සඳහා යොදා ගැනීම , ඉතාමත් සාර්ථක වී ඇති බව ඔහුගේ විශිෂ්ට කෘතීන් අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ .ඔහුගේ මෙම අධ්‍යාත්මික ආඛ්‍යාන රීතිය ලෝක සාහිත්‍යයට ම ආලෝකයක් ද සපයා ඇත .

නවකතාකරණයේ දී අපූරු එහෙත් සරල සුගම භාෂා රටාවකින් සාහිත්‍යකරණයේ යෙදුණු මොහු ජපාන සාහිත්‍යය කරුවන් හදුන් වන්නේ ජපන් සාහිත්‍යයේ “වටිනාම වස්තුව” ලෙසයි .

ජපානයට ආවේණික ආහාර මෙන්ම සිරිත් විරිත් ද ගහා කොළ පිළිබඳව ද චමත්කාරජනක සිතුවම් මවමින් සිය කතාකරණ යේ යෙදුණු කවබතා, ඒ ඔස්සේ පාඨකයා ද සාම්ප්‍රදායික හා නූතන ජපාන සමාජය වටා හරි අපූරු ආකාරයකට කැඳවා ගෙන යනු ලබයි .

සරල ලේඛන කලාවක් තුළ භාෂාව සංස්කෘතිය හා සමාජය මැනවින් විශ්ලේෂණය කරන ගැඹුරු කතා බහක් ලෝකය තුළ ඇති කළ මෙම විශ්ව ලේඛකයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුෂ්‍යත්වය ඉහළටම පැමිණි උත්තරීතර සාහිත්‍යකරුවකු ලෙස ද ලෝක ප්‍රසාදයට පත් වී තිබේ .
යසුනරි කවබතා ජපානයට පමණක් අයිති සාහිත්‍යකරුවකු නො වන බවත් ඔහු ලෝක සාහිත්‍යකරුවකු බවත්, ඔහු අයිති මුළු ලොවට ම බවත් සිය සාහිත්‍ය කරණය තුලින් ඔහු ලෝකයට මනාව ඔප්පු කර ඇත .

යසුනරි කවබතා නම් වූ විශිෂ්ට ජපන් ලේඛකයා පිළිබඳව හොඳ කතා බාහාක් කෙරුමට ඔහු ගේ ජන්ම දින සැමරුම ශ්‍රී ලාංකික පාඨකයන් හට හොඳ අවස්ථාවක් වේවි.

රෂෝමාන් හරහා ජපන් සිනමාව ලාංකිකයන් ට සමීප වූවා මෙන්ම හයිකු, සෙන්,මෙන්ම කවබතාද අදවන විට ලාංකීය සාහිත්‍යය සමාජයයේ නිත්‍ය පුබල සාමාජිකයන්ය.

ලලිත් රවීන්ද්‍ර බෝපිටිය

           2024/06/11

Related articles

රසිකාගේ හරි අපුරු ‘‘ කොළඹ වැස්ස ““

වර්ණ රසිකා ගුණවර්ධන සහ මම එකිනෙකට වෙනස් මතයන් සහ කණ්ඩායම් නියෝජන කරන චරිත දෙකක් ඒක සංස්කෘතිමය සමාජීය හා...

උද්දිකගේ නාට්‍යයේ ඒඑස්පී හිටියේ කුප්‍රකට ව්‍යාපාරික තාඹුගල සමග මාලඹේ නිවසේ !

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පිට අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව...

38න් 1 පරිච්ඡේදය – ව්‍යවස්ථාවේ බලතල යොදාගෙන නීතිවිරෝධී මැතිවරණ අල්ලස් දෙන රනිල් !

ජේ.ආර්. ජයවර්ධන 77 ඡන්දයෙන් ලංකාවේ අගමැතිවරයා විය. අගමැති ධුරයේ දිවුරුම් දුන් ඔහු ඒ වන විට ක්‍රියාත්මක වූ 72...

මිරුසුවිල් සමූහ ඝාතකට දුන් ජනාධිපති සමාවට එරෙහි පෙත්සම් විභාගයට : අපරාධයේ තරම කොතෙක්ද?

මිරුසුවිල් සමූහ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි යුද හමුදාවේ කෝප්‍රල් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීමට...