‘අහස් ඉම සිපගනිමි’ – පූජ්‍ය ගුරුගොඩ සිරිවිමල හිමි
කලකට පෙර කියවා රස විඳ තිබූ නමුත් ඒ ගැන වදනක්වත් කියන්නට ඉඩක් නොලැබුණ කවි පොත් බොහොමයක් මා සතුව ඇත. මේ සටහන එවන් වූ එක පොතක් සම්බන්ධයෙනි. අහස් ඉම සිපගනිමි කාව්‍ය සංග්‍රහය පූජ්‍ය ගුරුගොඩ සිරි විමල හිමියන්ගේ නිර්මාණ එකතුවකි. KSP ප්‍රකාශනයකි.
එහි ඇති බොහෝ කවි නිර්මාණ මතුපිට සරලත්වයකින් ආවරණය කර ඇති නමුත් කෙනෙකු උත්සහයෙන් එම මතුපිට ආවරණය ඉවත් කළ විට බුද්ධිමය සංවාදය සඳහා පැනවූ ආසන දක්නට දක්නට ලැබේ.
සොඳුර
දුකින්දැයි නො අසන්න
නිල්වන්ව දුල් බෝ පතක
ඔබෙ රුව දිටිමි මම
ඇදී ආ මහ සෙනඟ’තර
රුවින් ඔපවත් ළඳුන් මැද
ඔබේ රුව මැවී දිස් වූ අපූරුව
එයම ආදරය ලෙස ගනිමි
ඔබ නැතිව ඔබ එක්ක යන
මේ සියල් වෙහෙස් ගමන්
සුවපත් කරන්නේ ඔබය
මිලිණ සුසුමන් දහසක්
ප්‍රාශ්වාස වන කල
ඔබේ එක හුස්මක රැඳුණ දයාබර බව
ගෙනේ මට හයියක්
එයම ආදරය ලෙස ගනිමි
ඔබ නැතිව ඔබ එක්ක යන
මේ සියල් වෙහෙස් ගමන්
සුවපත් කරන්නේ ඔබය
ඔබ ඉන්නවා මගේ ළඟ
ඒ වෙසෙස් හැඟුම ම
ජීවත් වන්නට හොඳටෝම ඇතිය මට .
මතුපිටින් මෙම කවියේ දක්නට ලැබෙන්නේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමයක් පිළිබඳව ය. ස්ත්‍රී පුරුෂ ප්‍රේමයක් කවියකට නිමිත්තක් වීමේ අමුත්තක් නැත. එහෙත් එම ප්‍රේමය විස්තර කිරීමට රචකයා යොදා ගන්නේ “නිල්වන්ව දූල බෝ පතකි” නම් සංකේතය ප්‍රශ්නයකි. එම බෝ පත දකින්නේ කිනම් තැනකදැයි ගැටළුවකි.
කථකයා යම් ගමනකය යෙදී සිටින්නෙකි. එම ගමන යන්නේද ” ඔබ නැතිව ඔබ එක්කය” එසේ නම් මේ කවර ගමනක් ද
“ඔබේ එක හුස්මක රැඳුණ දයාබර බව ගෙනේ මට හයියක්” – මෙහි කියවෙන “ඔබ” යනු කවුද? කථකයා කවුද?කිසිදු නිර්මාණයක් අපූර්ව නොවේ. ඕනෑම නිර්මාණයන් වෙත පෙර නිර්මාණයන්ගේ ආලෝකය අත්‍යන්තයෙන් ම ලැබෙන්නේය. ඒ සඳහා නිදසුන් බොහෝ ඇත. අප කවියා මෙම කවියේදී එම ආලෝකය ලබා ගත් පූර්ව නිර්මාණයන්ගේ ආලෝක එළි නො සඟවා නො නිවා කවිය තුළ ම තබා ඇත්තේ කැමති අයෙකුට එම ආලෝකයෙන් සිය කවිය කියවා ගන්නට ඉඩ හසර තබනු පිණිසය.
නිල්වන්ව දූල් බෝ පත අපට සිහි ගන්වන්නේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ විසින් හිමි විරචිත ” ලා දලු බෝපත් සෙමින් සැලෙන සේ යශෝදරා දේවී” නම් ගේය පදයන් ය. ” ඔබේ එක හුස්මක රැදුණ දයාබර බව” යන කවි පද අපට මතක් කරන්නේ සුනිල් ආර් පෙරේරා ගේය පද කළ යශෝදරා ගීතයේ එන මෙම කොටසයි.
“එයින් මිදෙන මංපෙත සොයනා සඳ
ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර…
දයා සිතින් එක බැල්මක් දී නෙත
සෙමෙන් මැකී යයි යශෝදරා වත..”
සිරි විමල හිමියන්ගේ “සොඳුර” නම් කාව්‍ය ය අපට ඇසෙන්නේ සිදුහත් තවුසාගේ සිත තුළ සිය ප්‍රියාදර සොඳුරිය කෙරෙහි උපන් ආදරණීය සිහි කැඳවීමක් ලෙසිණි. සිරුරට වද දෙමින් දුෂ්කර ක්‍රියා කරමින් සත්‍යාවබෝධය ලබා ගන්නට සටන් කළ සිදුහත් තවුසාගේ සිත තුළ තමන් හැර දමා ආ ආදරණීයන් පිළිබඳව උපදින දයාබර සිතිවිළිවිලි මතකයන් අමතක කරන්නට දුෂ්කර ක්‍රියා කළ මිනිසෙක් ද වාසය කළ බවද මේ අපට කියන්නේ? දුෂ්කර ක්‍රියා අත හැර දමා මැදි පිළිවෙතට පිළිපන් තවුසාගේ සිත තුළ ද සිතිවිළි සමඟ දුෂ්කර ක්‍රියා කළ මිනිසා වාසය නො කළේ ද?
සිරිවිමල හිමිගේ කවියේ දක්නට ලැබුන තවත් ලක්ෂණයක් වන්නේ පවතින ආගමික ඇදහිලි කෙරෙහි වූ ෞන්වහන්සේගේ විවේචනය කවියෙන් පොලා පැනීමයි. විමලරත්න කුමාරගම කවියා මෙන් ගැමියා දෙස සානුකම්පිතව බලා “මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම” යනුවෙන් අප හිමියන් පවසන්නේ නැත. සමහර විටක මේ මිථ්‍යා ඇදහිලි සහ බුදු දහමට නිගා දෙන පුද පූජා සත්කාර මහ ඉහළින් පවත්වන්නේ නූගත් ගැමියාටත් වඩා නාගරයේ වාසය කරන පිරිස් ය. ඔවුන් නගරයෙ විසුවත් ගැමියාටත් වඩා අධ්‍යාත්මිකව දිළිඳු ය. අසරණය. සත්‍ය වශයෙන් ම කුමාරගමගේ විසූ කාලයට වඩා අද සමාජය දරුණු ලෙස මිථ්‍යාවන් විශ්වාසයන්ගෙ අඳුරු වී ඇත. සියළු සාරධර්ම මුදල් ඉපයීම වෙනුවෙන් වනසා ඇත. කෙනෙක් ඔවුන් කෙරෙහි සානුකම්පිත වන්නේ නම් කළ යුතුව ඇත්තේ ඔවුන්ව මිථ්‍යාවෙන් මුදවා ගැනීම මිස නිහඬව සිටීම නොවේ. සිරිවිමල කවිය පෙනී සිටින්නේ එකී සත් කාර්ය වෙනුවෙන් ය
මහලු බෝධිය, හිනහෙනව බෝධියත් සහ දෙවියො දැන් සිය දිවි නසාගෙන ඇති ආදී කවි පන්ති සිරිවිමල හිමිගේ එම මැදිහත් වීම සඳහා නිදසුන් ය.
මහලු බෝධිය
කොළ නොමැති කාලෙටත්
අතු බරයි හරියට
පඬුරු කාසි අලුත් වී
දින දින
මහලු බෝදිය
සිහිකරනවා බුදු බණ
ගසක් කොල හලන්නේ එම ගසේ ස්වභාවික පැවැත්ම වෙනුවෙන් සොබා දහමේ වෙන්ස් වීම් සමඟ අනුගත වන්නට ය. කොළ හලන ගසට අවැසි සැහැල්ලුව වනසමින් පඬුරු බඳින මිනිසුන් කෙරෙහි බෝධින් වහන්සේ තුළ යහපත් සිතිවිළි උපදින්නේද?
“මහලු බෝධිය
සිහි කරනවා බුදු බණ”
මහලු බෝධිය සංකෙත්වත් කරන්නේ බුද්ධ දර්ශනය ආගමක් කොට ගෙන එය මුදල් ඉපැයීමේ ව්‍යාපාරයක් බවට හරවා ගත් පැවිද්දෙක් ද?
බුදු බණ සිහි කරනවා යන්නෙන් අදහස් කරන්නේ, කරුණා ගුණය පැතිරීමක් ද නැතහොත්
වෙන යම් කාරණයක් ද?
අප හිමියන්ගේ කවිය තුළ මෙලෙස භාෂාවෙන් ක්‍රීඩා කරන බවක් ද බොහෝ කවි අතර අපට නිරීක්ෂණය විය.
මතුපිට සරලත්ත්වය ඉක්මවා ගැඹුරු සංවාදයන්ට රසිකයන්ට ආසන පනවන ආකාරයේ තවත් එක් කවියක් උපුටා දක්වමින් මේ සටහන අවසන් කරමි.
පැනයක්
සමාධි පිළිමෙට
වැන්ද ගොඩක් අය
වැන්දෙ බුදුන්ට ද
පිළිමෙට ද
සිත අග තෙත් වුන
සමාධි සිතුවිලි
තිබුණේ බුදුන්ට ද
ගල් වඩුවාට ද?
මේ කවියේ මතු කරන කාරණය පිළිබඳව සිතන්නට කියවන ඔබට ආරාධනා කරමි.
පූජ්‍ය ගුරුගොඩ සිරි විමල හිමිගේ නැවුම් කාව්‍ය නිර්මාණ සංග්‍රහයකින් ඉක්මණින් හමු වීමේ සුබ ප්‍රාර්ථනාවෙන් නවතිමි.
නිරෝෂ ප්‍රනාන්දු
06/15/24