දුමින්දගෙන් පසු තවත් අත්තනෝමතික ජනාධිපති සමාවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආපසු හරවයි : ඊළඟට ?

Share post:

රාජගිරිය, රෝයල් පාක් ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළේය.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් විත්තිකරු නිදහස් කරමින් දුන් ජනාධිපති සමාව බලරහිත බව එම තීන්දුවේ දැක්වේ. ඊට අමතරව රුපියල් ලක්ෂ 10ක වන්දියක් පෙත්සම්කරුට සහ ඝාතනය කෙරුණු තරුණියගේ මවට සහ පියාට තවත් රුපියල් ලක්ෂ 10 බැගින් ලක්ෂ 20ක් වන්දි ගෙවන ලෙස ද හිටපු ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කෙරිණි.

මේ ක්‍රියාවෙන් හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මේ වන විට විදේශගතව සිටින ජනාධිපති සමාව ලද විත්තිකරු දේශීය හා ජාත්‍යන්තර සම්මුති උපයෝගී කරගෙන මෙරටට ගෙන්වීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ද නීතිපතිවරයාට නියෝග කළේය.
විත්තිකරු වන ජූඩ් ශ්‍රමන්තට ලබාදුන් ජනාධිපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවටත්, එය බලරහිත බවටත් තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා කාන්තා හා මාධ්‍ය සාමූහිකය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබාදෙමින් එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ නියෝග ප්‍රකාශයට පත්කළේය.

රාජගිරිය, රෝයල් පාර්ක්‌ නිවාස සංකීර්ණයේදී 2005 ජූනි 30දා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ එම වසරේදී ම අත්අඩංගුවට ගැනිණි. ඉන්පසු කොළඹ මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු 2012 වසරේදී ඔහුට වසර 12ක සිර දඬුවමක් නියම කෙරිණි. ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයක තීන්දුව ලබාදෙමින් ඔහුට අභියාචනාධිකරණයෙන් මරණ දඬුවම ලබාදෙන ලදි.

විත්තිකාර පාර්ශ්වය එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඝාතනයේ සමස්ත වගකීම ජූඩ් ශ්‍රමන්ත නම් විත්තිකරු වෙත පවරමින් මහාධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයට ද මරණ දඬුවම පැනවිය හැකි බවට 2014 වසරේදී තීන්දුවක් ලබාදුන්නේය.

කෙසේ වෙතත් ජූඩ් ශ්‍රමන්ත ජයමහගේ දඬුවම පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ලබාදුන් ජනාධිපති සමාවක් මගින් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත්කෙරිණි. ඉන්පසු සිය ධුර කාලය අවසන් වීමට දින කිහිපයක් ඉතිරිව තිබියදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් 2019 නොවැම්බර් 10 දින ජූඩ් ශ්‍රමන්ත ජයමහට පූර්ණ ජනාධිපති සමාව ලබාදෙන ලදි. එම ජනාධිපති සමාව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය 2019 නොවැම්බර් 11දා නිවේදනයක් නිකුත් කළ අතර, එහි සඳහන් වූයේ ජූඩ් ශ‍්‍රමන්ත ජයමහට ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඇතුළු ආගමික නායකයන්ගේ හා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ඉල්ලීමක් මත සිදුවූවක් බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම ද මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවන ලදි. එය ජනාධිපති සමාවක් අධිකරණයෙන් අත්හිටුවන ලද මුල් අවස්ථාව විය. මීට අමතරව මිරුසුවිල් සමූහ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරු කරන ලද සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීමට එරෙහිව ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වේ.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...