නරේන්ද්‍ර මෝදි යළිත් ඉන්දියාවේ ආණ්ඩු බලය ගත්තේය. ඊටත් වඩා වැදගත් වන්නේ මේ මැතිවරණයෙන් ඉන්දියාවට විපක්ෂයක් ලැබීමයි.
ඉන්දියාවට දැන් කාලයක් තිස්සේ ම විපක්ෂයක් තිබුණේ නැත. එහෙත් මෙවර රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ ‘ඉන්දියා’ සන්ධානය තීරණාත්මක ලෙස ඉදිරියට පැමිණ තිබේ. තුනෙන් දෙකක දැවැන්ත බලයක්, ලෝක් සභාවේ ආසන 543න් 375කට වැඩි බලයක් අපේක්ෂාවෙන් සිටි, ඒ බව මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර පුන-පුනා කී මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට ආණ්ඩුවේ බහුතරය ලැබී ඇත්තේ යාන්තමිනි.
බහුතරය සඳහා ආසන 272ක් අවශ්‍ය වන අතර, මෝදි ප්‍රමුඛ සන්ධානය ලබාඇත්තේ ආසන 294කි. එය ද තනි බලයක් නොවන අතර, භාරතීය ජනතා පක්ෂයට හිමිව ඇත්තේ ආසන 240කි. 2019, එනම් මීට පෙර මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය වාර්තාගත ආසන 303ක් තනිව ලබාගත්තේය. චන්ද්‍ර බාබුගේ නායකත්වයෙන් යුත් දකුණු ආන්ද්‍රා ප්‍රදේශ්හි තෙලිගු දේශම් පක්ෂයේ ආසන 16ත්, නැගෙනහිර බිහාරයේ තිතීෂ් කුමාර්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා දාල් පක්ෂයේ ආසන 12ත් මෙවර මෝදිගේ ආණ්ඩුවට තීරණාත්මක වේ. එනම් ඔවුන්ට මෙවර ආණ්ඩුවේ රිමෝට් කන්ටෝ්‍රල් බලයක් ලැබී තිබේ.
2019 වසරේ පැවැති මීට පෙර මැතිවරණයේදී කොංග්‍රස් පක්ෂයට හිමිවූයේ ආසන 52කි. එය මෙවර ආසන 99ක් දක්වා වැඩි වී තිබේ. කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ ඉන්දියා සන්ධානය නියෝජනය කරන සමාජවාදී පක්ෂය උතුරු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ආසන 37ක්, බටහිර බෙංගාලයෙන් සමස්ත ලංකා ත්‍රිණමූල් කොංග්‍රසය ආසන 29ක් සහ දකුණු තමිල්නාඩුවේ ද්‍රවිඩ මුන්නේත්‍රම් කසාගම් පක්ෂය ආසන 22ක් ලබා සිටී. ඒ අනුව විපක්ෂ සන්ධානය ආසන 232ක් ලබා ඇත.
ආසියානු කලාපීය දේශපාලනය පිළිබඳ ප්‍රකට දේශපාලන විචාරකයකු වන ප්‍රතාප් භානු මෙහ්තා ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට ලිපියක් ලියමින් අවධාරණය කරන්නේ මෙවර ප්‍රතිඵලය මගින් නරේන්ද්‍ර මෝදිගේ අධිකාරිත්වය පුපුරුවා හැරීමට ඉන්දීය ජනතාව කටයුතු කර ඇති බවයි. මේ මැතිවරණය මෝදිගේ මැතිවරණයක් බවට ප්‍රචාරක කටයුතු මගින් පත්කර තිබුණද, ඔහු තවත් එක් දේශපාලනඥයකු පමණක් බවට ජනතාව පත්කර ඇතැයි ඔහු පෙන්වා දෙයි. ඉන්දීය ජනතාව නව පරිච්ඡේදයක් පිළිබඳ බලාපොරොත්තු දල්වා ඇතැයි කොංග්‍රස් පක්ෂයේ සභාපති මල්ලිකාර්ජුන් කාර්ග් මාධ්‍ය වෙත පවසා තිබිණි.
ඇමෙරිකාවේ අධ්‍යාපනය ලබා 2002 වසරේදී නැවත ඉන්දියාවට පැමිණි රාහුල් ගාන්ධි, දේශපාලනය පිළිබඳ කිසිදු උනන්දුවක් දැක්වූයේ නැත. බහුතරයේ විශ්වාසය වූයේ ඔහුගේ සහෝදරිය වන ප්‍රියංකා ගාන්ධි පමණක් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වනු ඇති බවටයි. නමුත් බහුතරය පුදුමයට පත්කරවමින් 2004 වසරේදී රාහුල් නිල වශයෙන් දේශපාලනයට පිවිසියේය. ඉන්දියාවේ පළමු අගමැතිවරයා වූ ජවහර්ලාල් නේරු ඔහුගේ මුත්තා වූ අතර, ඔහුගේ මිත්තණිය වූ ඉන්දිරා ගාන්ධි මෙන්ම පියා වූ රජිව් ගාන්ධි ද ඉන්දියාවේ අගමැති ධුර දැරූහ. 2007 වසරේදී රාහුල් කොංග්‍රස් පක්ෂයේ මහ ලේකම්වරයා වූ අතර, 2013දී ඔහු පක්ෂයේ උප සභාපති විය. කෙසේ වෙතත් 2014 වසරේදී නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය ඉන්දියාවේ ආණ්ඩු බලය ලබාගත්තේ රාහුල් ගාන්ධි ව යල්පැන ගිය කුමාරයකු ලෙස හඳූන්වමිනි.
2014 වසරේදී කොංග්‍රස් පක්ෂයට හිමිවූයේ ලෝක් සභාවේ සමස්ත ආසන 543න් 44ක් පමණි. 2019 මැතිවරණයේදී කොංග්‍රසයට ඉදිරියට ඒමට හැකි වූයේ ආසන 08කින් පමණි. එන ම්එවර ඔවුන්ට ලබාගත හැකිවූයේ ආසන 52කි. 2019 මැතිවරණ පරාජයේ වගකීම බාරගනිමින් රාහුල්, 207 වසරේ සිට දරන ලද කොංග්‍රස් පක්ෂ නායකත්වයෙන් ඉවත් විය. කනගාටුදායකම කරුණ වූයේ ඔහු සිය පවුලේ ආසනය වූ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අමෛති ආසනයෙන් පරාජයට පත්වීමයි.
මෙවර මැතිවරණය රාහුල් ගාන්ධි අලුත් ජවයකින් ආරම්භ කරන ලද්දක් විය. 2024 ජනවාරි මාසයේදී ‘භාරත් ජෝදෝ න්‍යායි යාත්‍රා’ (එක්සත් ඉන්දීය යුක්තිය උදෙසා වන පා ගමන) රාහුල් ඇරඹුවේ කිලෝමීටර් 6,700ක දුරක් ආවරණය කිරීම සඳහා ය. එය ඊසාන දිග පිහිටි මනිපූර් ප්‍රාන්තයේ අගනුවර වන ඉම්ෆාල් නගරයෙන් ආරම්භ කෙරුණු අතර, මුම්බායි නගරයෙන් අවසාන කෙරිණි.
මෙවර මැතිවරණයේ තීරණාත්මක චරිතයක් වූයේ ශරද් පවාර් ය. භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයට එරෙහිව ගොඩනැගූ විපක්ෂයේ සන්ධානය, එනම් ‘ඉන්දියා’ ගොඩනැගීමේදී විශාල කාර්යභාරයක් කරන ලද්දේ ශරද් පවාර් ය. භාරතීය ජනතා පක්ෂය විසින් ඔහුගේ දියණියගේ ස්වාමිපුර්ෂයා වන අජිත් පවාර් තමන්ගේ පැත්තට ගත් අතර, ශරද්ට ඔහුගේ පක්ෂයේ නම සහ සලකුණ ද අහිමි කරන ලදි. අසූතුන් හැවිරිදි වුවද, ශරද් පවාර් සටන අත්හැරියේ නැත. ඔහු ගෙයින් ගෙට යමින් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් සිදුකළේය. ඔහුගේ එම සටන මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේදී භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය දැවැන්ත පසුබෑමකට ලක්කිරීමට සමත් විය.
මැතිවරණ ප්‍රතිඵලයෙන් භාරතීය ජනතා පක්ෂයට තනි බලයක් නොලැබෙන බව පෙනුණු විගස, ඉන්දියා සන්ධානයට ආණ්ඩුවක් පිහිටුවිය හැකිද යන්න පිළිබඳව මුලින්ම සාකච්ඡා ආරම්භ කර තිබුණේ ද ශරද් පවාර් විසින් ය. ශරද් පවාර් යනු කොංග්‍රස් පක්ෂයට සිටින පළපුරුදු ම දේශපාලනඥයෙකු වන අතර, ‘දේශපාලන ගේම්’ සම්බන්ධයෙන් ද නම් දැරූවෙකි. ඔහු මුලින්ම අවධානය යොමු කර තිබුණේ චන්ද්‍ර බාබු නායිදු සහ තිතීෂ් කුමාර් වෙත ය. යම් හෙයකින් ශරද්ගේ ඇම සාර්ථක වී මේ දෙදෙනා බාගන්නට හැකිවූයේ නම්, මෝදිට ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩලැබෙන්නේ නැත. එහෙත් ශරද් පරාජය විය.
ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි සමග ඍජුව ගැටීමට පෞර්ෂයක් ඇති දේශපාලන පක්ෂ නායකයන් එරට තුළ වෙත් නම් ඒ අතරින් ඉහළින්ම සිටින තැනැත්තියකි, මමතා බැනර්ජි. වසර 34ක් අඛණ්ඩව එම ප්‍රාන්තය පාලනය කළ වමේ පාලනය 2011දී පෙරළා දැමීමෙන් අනතුරුව, අද වනතෙක් බටහිර බෙංගාලයේ මහ ඇමති ධුරය දරන්නේ ඇයයි. 2021 ප්‍රාන්ත මැතිවරණයේදි නරේන්ද්‍ර මෝදිගේ ඍජු මැදිහත්වීමෙන් භාරතීය ජනතා පක්ෂය විසින් ඇයගේ පාලනය පරාජය කරන්නට උත්සාහ කළ ද එම උත්සාහය ව්‍යර්ථ විය.
මමතා බැනර්ජි සටන්කාමී චරිතයකි. තරුණ කාලයේ කොන්ග්‍රස් පක්ෂයේ ප්‍රබලයකු වූ ඇයට උද්ඝෝෂණ, පෙළපාලි, වීදි සටන් අමුත්තක් නොවේ. කොන්ග්‍රස් පක්ෂය හා ඇතිවූ මතභේද මත 1998 දී ත්‍රිණමූල් කොන්ග්‍රස් පක්ෂය පිහිටුවාගත් ඇය, එයින් අනතුරුව බටහිර බෙංගාලය තමන් අතට ගන්නට පටන් ගත්තාය.
ඉන්දියාවේ හිටපු අගමැති අතල් බිහාරි වජ්පායිගේ සමයේ ඇය ඉන්දියාවේ දුම්රිය ඇමති ලෙස කටයුතු කළාය. වජ්පායි එකල පිහිටුවාගෙන තිබුණේ සභාගයකි. එහි විවිධ පාර්ශව සිටියත්, ඇතැම්විට පාලනය කරගන්නට අසීරුම චරිතය වූයේ මමතා බව ප්‍රකට කරුණකි. නමුත් වජ්පායි ඇය සමග ඉතා හොඳ සබඳතාවක් ගොඩනගාගත්තේය. 2000න් පසු මුල් දශකයේදී බටහිර බෙංගාලයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් පවරාගැනීම පිළිබඳ මතභේද ආදියෙන් එවකට පැවති වමේ ආණ්ඩුවට එරෙහි විවේචන වැඩිවීමට පටන් ගත්තේය. එහිදී ඒ අවස්ථාව ලබාගත්තේ මමතා ය. ඇය එම විරෝධතාවලට නායකත්වය දුන්නාය. වීදියේ ගැටුම්, ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවිය. ඒවාට මමතා බිය වූයේ නැත. 2011 දී නොසිතූ දේ සිදුවිය. වමේ ආණ්ඩුව බිඳවැටිණි.
ඉන්පසු බටහිර බෙංගාල දේශපාලනය වෙනස් වීමට පටන් ගත්තේ නොසිතූ ලෙස ය. මෙය සිදුවුයේ 2014 වසරෙන් පසුව ය. භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාල ප්‍රාන්තය තුළ ව්‍යාප්ත වීමට පටන් ගත්තේය. දුර්වල වී සිටි වමේ ආධාරකරුවන් එහි ගොස් නතර විය.
2011 වසරේ සිට අද වන තෙක් බටහිර බෙංගාලයේ මැතිවරණ දෙස බැලූ විට පෙනෙන දේ වන්නේ ත්‍රිණමූල් කොන්ග්‍රසයේ ඡන්ද පදනම ආරක්ෂා වී ඇති බවයි. මෙවර ඔවුන් ආසන 29ක් ලබා තිබේ. කොංග්‍රස් පක්ෂයට ලැබී ඇත්තේ මෙහි එක් ආසනයකි. භාරතීය ජනතා පක්ෂය ද 2019දී ගත් ආසන 06ක් අහිමි කරගෙන තිබේ. කොංග්‍රසයට මෙසේ වූයේ බටහිර බෙංගාලයේ ඔවුන්ට තනි අලියෙකු ද සිටියදී ය. ඒ, අදීර් රන්ජන් චෞද්රි ය. ඔහු 1999 සිට බහරම්පූර් ආසනය නියෝජනය කරන පළපුරුදු දේශපාලනඥයෙකි.
මෙවර මැතිවරණයට බලපෑ තීරණාත්මක කරුණු රැසක් තිබුණද, වඩා වැදගත් වන්නේ තනි ප්‍රධාන පක්ෂ දෙක වන භාරතීය ජනතා පක්ෂයට සහ කොංග්‍රස් පක්ෂයට සාපේක්ෂව අනෙකුත් පක්ෂ ආසන 204ක් ලබාගැනීමයි. එසේ ම එය විපක්ෂයේ සන්ධානය වන ‘ඉන්දියා‘හි බලය තීව්‍ර කිරීමට බලපා ඇති අතර, මේ ලිපියේ මුලින් ද සඳහන් කළ පරිදි ඉන්දියාවට යළිත් විපක්ෂයක් ලැබී තිබේ. එම නිසා මෝදිට බලය දුන්නද, ඔහු ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයේ තනි ගමනට සීමා දැමිය යුතු බවට ඉන්දීය ජනතාව තීරණයක් ගෙන ඇත.
2001 – 2014 කාලයේදී ගුජරාටිහි මහ ඇමැති ධුරය දරන කාලයේදී නරේන්ද්‍ර මෝදි පැවසූ සුප්‍රකට කතාවක් තිබේ. ඒ, ඉන්දියාවට දැවැන්ත ප්‍රාග්ධනයක් නැතත්, දැවැන්ත බුද්ධිමය ධනයක් ඇති බවයි. එය එකතු කිරීම මෝදිගේ ඉලක්කය විය. එහෙත් මෝදිගේ මුල් පාලන කාලය වූ 2014 – 2019 කාලයටත් වඩා, 2019 – 2024 කාලයේදී එම බුද්ධිමය ධනය එකතු කිරීම කෙසේ වෙතත්, තීරණාත්මක ව්‍යාපාරික ජාලයක් හරහා කලාපය පුරා ඉන්දීය ආධිපත්‍යය මෙහෙයවීම මෝදිගේ ඉලක්කය බව පෙනෙන්නට තිබිණි. එය දැවැන්ත බලපෑමක් එල්ල කරමින් සිටින්නේ ලංකාව වැනි රටවලට ය.
- ශාලික විමලසේන