දැන් කුකුල් චමින්ද අත් අඩංගුවේය. ඔහුට පස් පඩංගුවේ බනිමින් සිටි අපට දැන් අඩුවක් නැතිව දක්නට ලැබෙන්නේ නහය තුවාල වී ලේ වෑස්සෙන චමින්ද කෙනකුගේ රුවකි. සමාජ මාධ්‍ය කෙතරම් පලදායී දැයි පෙන්වන්නට මෙය හොඳ අවස්ථාවකි. සිය දියණියට ඉතාම නරුම ආකාරයෙන් පහර දෙමින් සිටි ඔහු කෙරේ එල්ල වූ දැඩි විරෝධය පොලිසියටද එසැණින් වැඩ කරන්නට පෙළඹවීමක් ඇති කර තිබේ. චමින්ද කූඩුවට යන විට දියණිය පරිවාස භාරයේය. ඒ සමගම මේ දිනවල අපේ මාතෘකාව වී ඇත්තේ ළමුන්ට සලකනුයේ කෙසේද යන්න පිළිබඳවය. එහෙත් ඉදිරි දින කිහිපයේදී ක්‍රිකට්, දේශපාලනය, සජිත් අනුර නොකෙරෙන විවාදය ආදී වශයෙන් නෙක මාතෘකා පැමිණ අප යලිත් ගඟේ යවනු ඇත්තේය. බුලත් විටක් ඒදගෙන අපට වෙනත් මාතෘකාවක් චුවිංගම් කිරීමට ඉඩ ලැබෙබනු ඇත්තේය.
වැඩිහිටියන් ළමුන්ට සලකන කුරිරු ආකාරය ගැන විටින් විට මෙසේ කතා එලියට ඇදී එයි. දැනට දශකයකට පමණ පෙර අහිංසක එරෙන්දිරා කතාව සිහි ගන්වමින් කළුතර පැත්තේ මිත්තණියක ණය බේරනු පිණිස සිය මිණිපිරිය වැඩිවිය පැමිණුන අලුතම පිරිමින්ට විකිණු පුවතක් මෙලෙසම ඇවිල ගියේය. එපමණි. තවත් පුවත් වලින් ඒ යටව යන්නට වැඩි කලක් ගියේ නැති.
ළමුන්ට කුරිරු ලෙස සැලකීම අප සමාජයේ දරුණුවටම මුල් බැසගත් රෝගයක් ව හමාරය. අවාසනාව කුකුල් චමින්ද වැනි අයට කෙරේ එල්ලවන කැමරා කාච සහ පෑන් ඒ බොහෝ අය වෙත යොමු නොවීමයි. මෙලෙස සිය දරුවන්ට වදදීම අදවන විට බරපතලම ව්‍යසනයක් වී ඇති අතර බරපතලම අවාසනාව වනුයේ මේ වද දීම ළමුන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීමේ දැඩි වුවමනාව නිසාම වන්නක් බවට පත්ව තිබීමයි. චමින්ද අර දැරියට පහර දුන්නේ සීනි ටිකක් සොරකම් කර කෑම නිසා බව කියනු ලැබේ. එය සත්‍යයක් නම් ඔහුගේ චේතනාව සොරකම් කිරීමෙන් දැරිය වලක්වා ලීමයි. ඉදින් මෙසේ අනාගත ව්‍යසනයන්ගෙන් දරුවන් බේරා ගැනීමේ අරමුණින් අප අවිඥානිකවම මෙවන් වද කෙතරම් නම් අපේ දරුවන්ට දෙමින් සිටිමුද. මට මෙහිදී මගේ මිතුරෙකු වරක් පැවසූ අත්දැකීමක් සිහිව එයි. ඔහුගේ මිතුරෙක් අති සුඛෝපභෝගී ජීප් රියක සිය දරුවාත් කැටුව ගියේලු. වරක් දරුවා වාහනයේ දොර වේගයෙන් වැසූ සැණින මිතුරා අර දරුවාට තද පහරක් දුන්නේලු. තමුන්ට වැඩිය වටින්නේ වාහනයද දරුවාද කියා ඇසූ අවස්ථාවේදී මිතුරා පවසා තිබුණ කාරණය අප ගැඹුරින් සැලකිල්ලට ගත යුතුය.
‘මචං, මං මෙච්චර දුක් විඳලා මේ වාහනේ ගත්තෙ මුන්ට සැප දෙන්නෙ. මාසෙ අගට ලීස් එක, තව හැටහුටාමාරක් වියදං. ඉතිං මුන් මේක පරිස්සං කරගන්න ඕනැ නේද.’
මේ චේතනාව ඒකවරම පෙනෙනුයේ බෙහෙවින් අහිංසක දෙයක් ලෙසටය. එසේම මේ එවන් එකම හෝ අවසන් අත්දැකීම නොවේ. දරුවන්ට යහපත් අනාගතයක් සෑදීමේ පරම චේතනාවෙන් යුත්ව කටයුතු කරනා අප මේ වන විට දරුවන්ගේ ලෝකය වනසා දමා හමාරය. බොහෝ නිවෙස් වල ළදරු පාසලේ සිට දරුවා දෙමව්පිය සිහිනයක ගොදුරකි. ළදරු පාසල් වල අකුරු ඉගැන්වීම නොකළ යුතු යයි දැඩි මග පෙන්වීම් තිබියදී දෙමවුපියෝ අපේ එකා ඉස්කෝලෙ යද්දි අකුරු ඉගෙනගෙන ඉන්න ඕනැ කියා ළදරු පාසල් ගුරුවරියනට බල කරති. එතැනින් බටන් ගන්නා මේ ව්‍යසනය දරුවාට කෙලිබිම, වින්දනය, නිදහස අහිමි කරමින් ඔහු පෙල පොත්හී සිරකරුවෙකු බවට පත් කරන තරම් දරුණු වෙයි. මෙය අද වන විට අපට වඩා ආරක්ෂිත පරිසරයක් ඇති රටවල විදෙස්ගතව සිටිනා දෙමවුපියන්ට පවා ගැලවීගත නොහෙනා රෝගයක් බවට පත්ව හමාරය. මේ මෑතක එවන් එක් රටක මිතුරෙකු මා හා පවසා සිටියේ තමන් සිටිනා රටේ දෙමවුපියන් මහ පාන්දර සිය දරුවන් ටියුෂන් දක්කාගෙන යන බවයි.
අපේ විකාර සහගත අධ්‍යාපන ක්‍රමය විසින් අපේ දරුවන්ගේ ලෝකය වනසා හමාරය. අප ඉන්නා අනාරක්ෂිත බව නිසාම දෙමවුපියෝද සිය දරුවන්ගේ වධකයන් බවට පත්ව සිටිති. වරෙක ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත්වූ දැරියක අන් දෙමවුපියන් ඉදිරියේ කියා සිටියා අපේ අම්මට හොඳ වැඩේ කියාය.
මේ අප පත්ව ඉන්නා ඛෙදවාචකයෙන් බිඳක් පමණි. ගැඹුරින් කල්පනා කරන්නට තරම් අප අවංක නම් අපටම පෙනෙනු ඇත්තේ අපද සිටිනුයේ කුකුල් චමින්ද ආසන්නයේම බවයි.
මේ අද අප හසුව සිටිනා බරපතලම උගුලකි. අපට ඉන් ගැලවෙන මගක් පාදා ගැනීමටද වුවමනාවක් නැත. අප උත්සාහ කරනුයේ පවත්නා පද්ධතියේම හැපෙමින් ගොඩ යන්නටය. මේ වන විට ගුරු භූමිකාවේ සිට සියළු භූමිකා දෙදරා හමාරය. දහම් පාසලද තරග බිමක් පමණි. සාමනේර භික්ෂූන්ට වද දෙන භික්ෂූන් ගැන කතාද අපට හිඟ නැති. පාසල් පද්ධතියද එපරිදිමය. පොලිසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරනා ආයතන වල තත්වයද ශෝචනීය ය. අප කෙතරම් යහපත් තත්වයක සිටින්නෙද් කිවහොත් අපේ සිපිරි ගෙවල එහි ධාරිතාව මෙන් දෙගුණයකටත් වඩා රැඳවියෝ සිටිති. ඒ අතර බන්ධනාගාර නිලධාරීන්ගේ අසහනයද උග්‍රය.
කුකුල් චමින්ද දඬු කඳේ ගසනා අපට අත ළඟම ඇති කුනු වලවල් නොපෙනෙයි. පාර්ලිමේන්තුව යනු රටක ජන මතය නියෝජනය කරනා උත්තරීතර ආයතනයයි. එහෙත් අපේ පාර්ලිමේන්තුව කෝලම් මඩුවකැයි පැවසීම ඊටද අපහාසයකි. එහි කාන්තාවන්ට එලිපිට අපහාස කෙරෙයි. කතානායක අසුනට මිරිස් වතුර වත් කරනු ලබයි. මහජන නියෝජිතයෝ ආලවකයන් මෙන් බර පොත් සහ පුටු උස්සා අනෙකාට පහර දෙති. කිසිම සබකෝලයක් නැතුවම සෙංකෝලයද උස්සාගෙන දුවන්නට හදති. අලුත් ස්වර රටාවන්ට අනුව අසැබි වදන් වමාරති. දැනට මෙහි උච්චස්ථානය සටහන්ව ඇත්තේ මහින්දානන්ද-ගුණතිලක ගුටි කෙලියෙනි. ගුණතිලක මන්ත්‍රීවරයා කියා ඇති පරිදි මහින්දානන්ද ඔහුට පහර දී ඇත. ප්‍රතිපලය සිවු පැයක සැත්කමකි. එහෙත් රටක් වෙනස් කරන්නට හදනා ජනපතිගේ සිට කිසි කෙනකුගේ මීක් සද්දයක් නැත. මේ අපේ චන්දයෙන් අගතියට යන රටයි. හෙට දවසේදී මේ හාදයන් අප පසුපස යළි දුව එනු ඇත. හාල් පොල් දුරු මිරිස් සහ කාලෙ බාගෙ බෝතල්ද අරගෙනම. අපද එවිට මේ කවර පාහරයෙකුට වුව කතිරය ගසා රට වෙනස් කරන්නට සිහින මවනු ඇත.
දැන්වත් අප ගැඹුරින් කල්පනා කරන්නට පටන් ගත යුතුව තිබේ. කුකුල් චමින්ද පොලිස් කූඩුවට ගිය සැණින් රටට වේගයෙන් දුවන්නට කකුල් එන්නේ නැත. සමාජයේ පත්ලේම කැකෑරෙන චමින්දලා මෙන්ම නැතිනම් ඊටත් වඩා ජනතාවට යහපත කරන්නැයි පාර්ලිමේන්තු යන, ලොබියේ කුනුහරුප කියන,ගහ මරා ගන්නා අනිත් චණ්ඩි අප්පුලාද මේ තත්වයට වගකිව යුතුය. එපමණක් නොවේ, පාදඩයන්ට කිරුළු පලඳින්නට තමන්ගේ මනාපය පාවිච්චි කරනා ඊනියා පුරවැසියාද මේ තත්වයට එක සේ වගකිව යුතුය.
මේ අපද සැබෑ ලෙසම වෙනස් විය යුතු අවස්ථාවයි. අප එසේ නොකරන්නේ නම් කැටපතින් බලන විට අපේ මුහුණද චමින්දගේ මුහුනට ඉතා සමාන බව ඉක්මනින්ම අපට පෙනී යනු ඇත.