ක්ෂිතිය යනු වර්තමානය අත්දැකීමට බාධා කරන අවරෝධිත මතකයකි. එම මතකය හුදු නියෝජනයකට වැඩි යමකි. මෙම ක්ෂිතිමය මතකය තුළ හැමවිටම අහිමි වූ දෙයක් තිබේ. එමෙන්ම අතීත සිදුවීම් වර්තමානය තුළ යළි යළිත් මතු වේ. මෙහි ප්‍රතිඵලය වන්නේ කාලය නැවතීමය. එවිට වර්තමානය තිබෙන තැනට අතීතය පැමිණේ. මේ නිසා අනාගතය පරිකල්පනය කෙරෙනුයේ අතීතයට යාමක් ලෙසය.
නූරිත් ජර්ට්ස් සහ ජෝර්ජ් ක්ලෙයිෆ් විසින් රචිත Palastine cinema කෘතියේ අන්තර්ගත ඉහත අදහස යළි මතකයට කඩා වැදුණේ සුදත් මහදිවුල්වැවගේ My red comrade චිත්‍රපටය නැරඹීමත් සමඟ ය. මන්ද , මෙම චිත්‍රපටයේ ‘ඔහු’ සහ ‘ඇය’ යන දෙදෙනාටම ක්ෂිතිය , මතකය සහ අහිමි වස්තුව සමඟ සමීප බැඳීමක් පවත්නා බැවිනි. ඔහුගේ අහිමි වස්තුව විප්ලවය වන අතර තම පියා ඇයගේ අහිමි වස්තුව වේ. දෙදෙනාම යහපත් සමාජ වෙනසක් ප්‍රාර්ථනා කරන සහ ඒ වෙනුවෙන් වෙනස් ආකාරවලින් මැදිහත් වන චරිත වේ. ඔහු දේශපාලනය ද ඇය සංස්කෘතිය ද ස්වකීය පදනම ලෙස යොදා ගනිති. ඔහු වාමාංශික දේශපාලනය යනු යටිබිම්ගත ක්‍රියාකාරිත්වයක් යැයි සිතන, ලෝකයම තම හිස මත තබා ගෙන මෙන් කටයුතු කරන්නෙකි. එනම් , වාම දේශපාලනයේ ආකෘතික අඛණ්ඩත්වය පවත්වා ගෙනයාමට උත්සාහ කරන චරිතයකි. එහෙත් ඇය විනෝදය සහ සැහැල්ලුව ඔස්සේ එම ක්‍රියාකාරිත්වයට පිවිසෙන්නියකි. එමෙන්ම ස්ත්‍රිය සහ ස්ත්‍රී නිරුවත පිළිබඳ සාම්ප්‍රදායික වාම සදාචාර විනිශ්චයට අභියෝග කරන්නියකි. චිත්‍රපටයේ තේමාත්මකය ගොඩනැංවෙනුයේ මෙම ආකෘතික ද්විත්වය පිළිබඳ විසංවාදය මත ය.
මෙම විසංවාදය සිනමාත්මක ප්‍රකාශනයක් බවට පත් කිරීමට අධ්‍යක්ෂවරයා අතිශයින් තදබද වූ පසුතලයක් යොදා ගනී. එම තෝරා ගැනීම කිසියම් අත්හදාබැලීමක් ද පිරිවැය කපාහැරීමට ගත් ක්‍රියාමාර්ගයක් ද නැතහොත් ඒ දෙකෙහිම සංකලනයක් දැයි නිශ්චිතව කිව නොහැක. එහෙත් අපට චිත්‍රපටය කියවා ගැනීමේදී එම පසුතලයට විශේෂ වැදගත්කමක් හිමි වේ. මන්ද , චිත්‍රපටයේ ප්‍රබලත්වය හෝ දුබලත්වය නිශ්චය කිරීමේදී එය තීරණාත්මක සාධකයක් වන බැවිනි. මෙහිදී අධ්‍යක්ෂවරයා සීමිත ස්ථානීය පසුබිමක සිට පුළුල් කතිකාමය අවකාශයක් විවර කර ගැනීමට උත්සාහ කරයි.මේ සඳහා ඔහු තම කුඩා නිවස තුළ හැඟවුම්කාරක ගොන්නක් තදබද වන අයුරින් ගොඩ ගසයි. ස්වකීය සංකල්පීය පදනම සීමිත පසුතලයකින් ඔබ්බට ව්‍යාප්ත කිරීමට අධ්‍යක්ෂවරයා යොදා ගනුයේ දෙබස් සහ අතීතයෙන් ඇසෙන විවිධ ශබ්ද පමණි . එහෙයින් මෙම රූපමය අඩුව පිරිමැසීමේ අභියෝගයට මුහුණ දීමට සිදුවන්නේ රුවන් ද කොස්තාට සහ නදීක ගුරුගේට ය. කාමරයේ ඇති සියලුම හැඟවුම්කාරක වෙතට සිදු කරන ගැඹුරු නාභිගත කිරීම් හරහා කැමරාව ද බොහීමියානු ලක්ෂණ සහිත වඩා නිදහස්කාමී නාද රටාවක් හරහා සංගීතය ද මෙකී උත්සාහයේ යෙදුනද එය රූපමය අඩුව පිරවීමට ප්‍රමාණවත් නොවේ. ඇයගේ නිදහස්කාමී චර්යාවට ද ඔහුගේ ස්වයං හුදෙකලාමය දේශපාලනික ආශාව සමතික්‍රමණය කිරීමට නොහැකි වේ. එම නිසා කාලය නවතින සෙයක් ප්‍රේක්ෂකයාට දැනෙයි. වෙනත් ආකාරයකට පවසන්නේ නම් , ප්‍රේක්ෂකයාට අධ්‍යක්ෂවරයා සමඟ එකතැන දිවීමට සිදු වේ.
කෙසේ වෙතත් , සුදත් මහදිවුල්වැව මෙම චිත්‍රපටය හරහා මතු කරන කතිකාව ලාංකීය වාම දේශපාලනයේ ආකෘතික විසංවාදය සදහා අත්‍යවශ්‍ය වූවකි. ක්ෂිතිය, මතකය සහ අහිමි වස්තුව සමඟ ලාංකීය වාම දේශපාලනය සදාතනිකව පොරබැදීම ඊට හේතුවයි. එහෙයින් My red comrade වඩාත් වැදගත් වන්නේ Our red comradeලාටය. මන්ද , ස්වකීය භාවිතාව තුළ අතීතයේ අඛණ්ඩත්වය පවත්වා ගෙන යන්නේ ද නැතහොත් අතීතයෙන් ඛණ්ඩනය වන්නේ ද යන්න තීරණය කළ යුත්තේ ඔවුන් බැවිනි ; කාලයේ නැවතීමට ඉඩ නොදෙන වාම දේශපාලනයකට මාවත හෙලිපෙහෙලි කළ හැක්කේ ඔවුනට බැවිනි. අතීතයට නොයාමක් ලෙස අනාගතය පරිකල්පනය කළ හැක්කේ ද ඔවුනට බැවිනි . My red comrade එම කතිකාව පොහොසත් කිරීමට උචිත වැඩබිමකි.
උදිත අලහකෝන්