පරාජය වුයේ කවුද ?

Share post:

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය දෙස බලා සිටියදී මට ඇතිවූයේ එකම ගැටලුවකි.
එනම් ඉතා විශාල මාධ්‍ය ආවරණයක් ද සමග ලෝක කුසලානයට සති දෙකකට පෙර ශ්‍රී ලංකාව ඇමෙරිකාවට ගියේ කුමකට ද යන්නයි.
වෙනත් කිසිඳු කණ්ඩායමකට පෙර ශ්‍රී ලංකාව ඇමෙරිකාවට ගියේ, නුහුරු ඇමෙරිකානු තත්ත්ව සහ තනතීරු වලට හුරු වීමට ය.
මාධ්‍ය මගින් ප්‍රචාරය කළේත් එයයි.
ක්‍රීඩකයන්, ඔවුන්ගේ පවුල්, නිළධාරීන් සහ මාධ්‍යවේදීන් පිරිසක් ද සංචාරයට එක්විය.
එසේ වූවත් එම සති දෙකක කාලය සහ ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැය කළ මුදල් සම්පූර්ණ නාස්තියක් බව ශ්‍රී ලංකා පිතිකරණය දෙස බලා සිටිය දී සිතුණි.
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉදිරියේ ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් දිස්වූයේ පාසැල් කණ්ඩායමක් මෙනි.
පන්දුව පිත්තේ වද්දා ගැනීම පවා ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් විය.
ශ්‍රී ලංකා මුල් පිතිකරුවන් හය දෙනාම රැස් කර තිබුණේ හතරේ පහර දෙකක් පමණි.
එය T20 තරගයකට තබා කිසිඳු ජාත්‍යන්තර තරගයක පහසුවෙන් දැකගත නොහැක්කකි.
තරගයේ 13 වන පන්දුවාරයේ දී ඇන්ජලෝ මැතිවුස් විසින් ප්‍රථම හයේ පහර එල්ල කරද්දී, පිටිය පිරී සිටි ශ්‍රී ලංකා රසිකයන්ගෙන් නැගුනේ විශාල ජය ඝෝෂාවකි.
සිය කාලය, ශ්‍රමය සහ මුදල් වැය කරමින් කිලෝමීටර සිය දහස් ගණන් දුර ගෙවා තරගය නැරඹීමට පැමිණි ශ්‍රී ලංකා රසිකයන් එතරම් අසරණ වී තිබුණි.
අවම වශයෙන් ඇමෙරිකාවේ ගත කළ සති දෙකක කාලය තුල ප්‍රමාණවත් අයුරින් සුදානම් වූවා නම් අද සිදු වූ විපත සිදු නොවීමට තිබුණි.
පුහුණු දැල් තුල ප්‍රමාණවත් කාලයක් ගත කළා නම් මෙතරම් අසරණ නොවීමට තිබුණි.
අවසන් සති දෙක තුලම ක්‍රීඩකයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පිරී තිබුණේ පුහුණුවීම් කරනා අවස්ථාවන් හි ඡායාරූප වලින් නොවේ.
සාප්පු සවාරියේ සහ විවිධ තැන් වල සංචාරය කරනා අවස්ථාවන් හි ඡායාරූප වලිනි.
ඇතැම්විටෙක ඔවුන් කදිම නිවාඩුවක් ගත කරන්නට ඇත.
ඒ අර්ථයෙන් ක්‍රීඩකයන් සහ කණ්ඩායම පරාජය වී නැත.
තරග ජය ගැනීමටම අවශ්‍ය නොවේ.
එනමුත් ලැජ්ජා සහගත, අන්ත පරාජයකින් වැළකීම පවා ශ්‍රී ලංකා රසිකයන්ට ජයග්‍රහණයක් වීමට තිබුණි.
අවසානයේ අසාධාරණයටත්, සිත්තැවුලටත්, පරාජයටත් පත් වූයේ කිලෝමීටර දහස් ගණන් දුර ගෙවා තරගය නැරඹීමට පිටියට ගිය රසිකයාත්, සියලු වැඩ අතහැර රූපවාහිනි තිරය ඉදිරියේ තරගය නැරඹීමට වාඩි වූ රසිකයාත් පමණි.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

        2024. 06. 03

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...