‘ඒක ඇත්ත ආදරයක්’ – සමන් ඩී වඩුගේ

Share post:

දවසින් දවස අපේ ජීවිත ඉතා කෙටි නැතිනම් ක්ෂණික දේවල කෙරේ යොමු කෙරෙන සහ හුරු කෙරෙන බියකරු පද්ධතියක සිරගත කරමින් පවතියි. අප ගන්නා ආහාර පානයන්ගේ සිට මානව සම්බන්ධතාවන් පවා කෙටි නැතිනම් ක්ෂණික දේවල් බවට හැරවෙනුයේ ඒ සමගම මිනිසාගේ වින්දනය මෙන්ම නිර්මාණ ශක්තිය පවා මේ උගුලෙහි සිර කරමින් පවතී. වෙසෙසින්ම තාක්ෂණයේ දියුණුව සමගින් මාධ්‍ය කලාවන්හී ඇතිව තිබෙනා වෙනස්කම්, සමාජ මාධ්‍යයන් විසින් ජන ජීවිතය ආක්‍රමණය කිරීමත් සමගම මිනිසාගේ ලිවීම් බෙහෙවින් කෙටි බවට හැරවී හමාරය. කලකට ඉහත කෙරුනු දීර්ඝ ලිඛිත සංවාදයන්, විචාරයන් වෙනුවට ඇත්තේ හුදු වදන් දෙක තුනකින් සියල්ල පවසන්නට තැත් තරකා කෙටි කොමෙන්ටු පමණි.

එවන් සමයෙක වඩා දීර්ඝ රචනා විශේෂයක් ලෙසින් කෙටි කතා රචනා කිරීම අනතරුදායක මෙන්ම අභියෝගාත්මක කාර්යයකි. ඊට හේතුව කෙටි ලියවිලි වලට තදින්ම ඇබ්බැහි කරන ලද පාඨක පිරිසක් එවන් දීර්ඝ ලියවිලි වලින් ඈත් වීමට දක්වන කැමැත්ත වැඩි වීමයි. සමන් ඩී වඩුගේ සිය ඒක ඇත්ත ආදරයක් කෙටි කතා එකතුව මගින් කරනුයේ එකී අභියෝගයට මුහුණ දීමයි. ඒ ප්‍රයත්නය ගැන කෙටියෙන් පවසන්නේ නම් කිව යුත්තේ එහිලා ඔහු සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කරගෙන ඉන්නා බවය.

සාහිත්‍ය යනු වඩුකර්මය හා සමාන යයි ගාර්ෂියා මාර්කේස් පවසයි. ඔහු කියන්නේ මේ කාර්යයන් දෙකෙහිදීම යමකු හට දැව මෙන් තදැති ද්‍රව්‍යයක් එනම් යථාර්තය සමග වැඩ කරන්නට සිදුවන බවයි.

සමන් වඩුගේ සිය කෙටිකතාවන්හිදී පළමුකොටම සනාථ කර සිටිනුයේ තමන් දක්ෂ කතන්දර කියන්නකු ය යන්නය. මේ කතන්දරකීමේ කලාව තුළ ඔහු ඉතා සාර්ථක ලෙස සිය වියමන ගොඩ නංවන්නේ පාඨකයාහට වෙහෙස නොදැනෙන අයුරින් දිගටම සිය කතන්දරය සමගින් රැඳෙන්නට පසුබමි නිර්මාණය කරමිනි. සරල සේ පෙනෙන කථන බසකින් සිය නිර්මාණයන් ගොඩ නංවන ඔහු ඒ සරල වැකි තුළ මනුෂ්‍යත්වයේ විවිධ අංශ විච්ඡේදනය කරයි.
ඔහුගේ කෙටි කතා එකතුවට කථා පහක් අඩංගුය. ඒ සෑම කථාවක්ම අවම වශයෙන් පිටු විසි පහ ඉක්මවා යයි. එහෙයින් ඒ සෑම කතාවක්ම ඉවසිලිමත්, කාලය වැඩියෙන් වැය කරන පාඨකයෙක් අපේක්ෂා කරයි. නමුදු ඔහු සිය කථා ඉදිරිපත් කරන සැහැල්ලුවට දැනෙනා රචනා විලාශය පාඨකයා ඔහුට නොදැනෙන සේ කථාවෙහි අභ්‍යන්තරයට කැටුව යයි.

ඔහුගේ සෑම කතාවකටම පාහේ ආදරයේ චිචිත්‍ර පැහැයන් අන්තර්ගතය. ස්ත්‍රී පුරුෂ පෙමෙහි සිට මව්පිය දූ දරු සබඳතා දක්වා ඒ සෙනෙහවන්ත බව විහිද යයි. ඔහුගේ කතාවන්හී විශේෂත්වයක් වනුයේ මේ මානව පෙම ගැන අවධානය යොමු කරන අතරම ඒ තුළින් ඔහු දිනපතා ඛේදයක් බවට පත්වන ජීවිතවල අසරණබව මෙන්ම හිස් බව, ගැලවීගත නොහැකිව මිනිසා එහිම ගොදුරක් බවට පත්වන ආකාරය විස්තර කරනා ආකාරයයි.

ඔහු මාර්ග බාධකය නම් පළමු කතාවෙහි මතු කර දක්වන ප්‍රේමය සමාජ සම්මතයන්, ආකල්ප, මෙන්ම දේශපාලනය යනාදී විවිධ කලාපයන් තුළ වන ගැටුම් හරහා ජීවිතය විමසන්නට තැත් දැරීමකි. දේශපාලන මිනීමැරුමක විත්තිකරුවකු වන පුද්ගලයකු හා පෙමින් බැඳෙන කතක වටා ගෙතෙන මේ නිර්මාණය දේශපාලනයේ පිලිකුල් සහගත බව මෙන්ම ඒ පිලිකුල් සහගත පැවැත්මෙහි ආරක්ෂකයකු බවට පත් පුද්ගලයකු හා පෙමින් බැඳෙන සමාජ ආකල්ප හමුවේ පීඩනයට ලක් කරන ලද කතක ගේ හැඟුම් විදාරණය කරයි. ඔහු මේ කුඩා සිදුවීමක් පුළුල් සමාජ කියවීමක් බවට පරිවර්තනය කරන අතරම චරිත ගණනාවක් හරහා මනුෂ්‍ය ආදරය යන සංකල්පය සහ එහි විවිධත්වය විමසන්නට උත්සුක වෙයි.

බිල්ලා නමින් එන කතාවද මෙපරිද්දෙන්ම මනුෂ්‍ය සබඳතාවන්හී සියුම් නිල අල්ලන්නට තැත් දරන්නකි. මේ කථාව තුළ ඔහු එහි අවස්ථා සහ සබඳතා ගොඩනංවන ආකාරය බෙහෙවින් සාර්ථක මට්ටමක පවතී. ඔහුගේ කතාවන්හී දක්නට ලැබෙනා එක් විශේෂත්වයක් වන්නේ පාඨකයා කතාව මගින් ගෙන යනු ලබනා දිශාව එක් වරම වෙනස් කර පාඨක අනුමානයන් බිඳ දමා ඔහුට වෙනස් අවසානයක් යෝජනා කිරීමය.

ඔහුගේ කතා අතර බෙහෙවින් සියුම් එමෙන්ම සිත් ඇදගන්නා සාර්ථකම කතාව වනුයේ ඒක ඇත්ත ආදරයක් නමින් එන කතාවයි. වර්තමාන සමාජයේ සියළු මානව සබඳතාවන් විකෘතින් බවට පත්වන ආකාරයත්, පාරිභෝජනවාදී පැවැත්මක ගොදුරු බවට පත් වන්නවුන් හට ඉන් ගැලවීමට ඇති අසීරුව මෙන්ම සැබැවින්ම ඉන් ගැලවී සැබෑ ජීවිතය සොයන්නට සූදානම් වන නිමේෂය ඔවුන්ගේ පැවැත්මේ අවසානය නැතිනම් විනාශය බවට පත්වන ආකාරය සමන් මෙහිදී අපූරුවට කෙටිකතාවක් තුළ ප්‍රතිනිර්මාණය කරයි. දීර්ඝ කාලීන රාජ්‍ය සේවය තුළ ලද විවිධ අත්දැකීම් සිය නිර්මාණයේ ආම්පන්න බවට පත් කරන ඔහු මේ කතාව තුළ අපේ නෛතික පද්ධතිය, සමාජ ශෝධන නැතිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ එහි ඇති උච්චාවචනයන්ද කතාව හරහා සාකච්ඡාවට ගනියි. තමා මෙන්ම තම මව සහ ඇගේ දෙවන සැමියාගේ ජීවිත පෝෂණය වෙනුවෙන් වැඩිහිටි ලෝකයේ ආර්ථික යුද්ධයේ ගොදුරක් බවට පත්වන යුවතියක සහ ඇයට සැබෑ ජීවිතය හමුවීම යන අවස්ථා වටා රචනා කෙරෙන මේ කෙටි කතාව සමන් තුළ සිටිනා නිර්මාණකරුවාගේ මානුෂවාදී එළඹුම අපට දකින්නට ඉඩ සලසයි. මේ කතාවෙහි මා දකිනා අඩුපාඩුව වනුයේ ඒ කතාව අපූරු අවසානයකට ගෙනා පසුව යළි කතන්දරය ගෙන යාමේ සහ රචකයාගේ මැදිහත්වීමට ඇති උද්යෝෙගය විසින් මුල් අවසානයෙහි ඇති ප්‍රබල බව හීන කිරීමය. මිනීමැරුමකට සැක කරනු ලබනා යුවතියක ගේ මානසික තත්වය මෙන්ම ඇය රඳවනු ලබනා නිවාසයේ අනෙක් රැඳවියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ ආශාවන්, හැසිරීම් යන මේ විවිධ කරුණු වෙත එළඹෙමින් රචකයා නිර්මාණය කරන පසුබිම සියුම් සමාජ කියවීමක් බවටද පත්වෙයි. සැකකාර යුවතිය නිවාස පාලිකාව සමගින් කරනා අනාවරණයෙහ් උච්චතම අවස්ථාව වනුයේ ඇය තමන් මිනීමරීමේ සිදුවීම ගැන කරන ලද පළමු ප්‍රකාශයෙහි අන්තර්ගත කරනා විකෘතියයි. ඒ මගින් ඇය සිදුවීම චේතනාන්විත මිනීමැරුමක් බවට පත් කර සිය බාප්පා සහ මවගේ ජීවිත අගාධයට ඇද හෙලන්නී ය. එහෙත් ඇය ඒ සියල්ලම කරන්නී තමන් හට ජීවිතයේ හමුවූ ප්‍රථම පෙම අහිමි කිරීමේ වාඩුව ගැනීමට බව කතාවෙහි ගොඩ නැංවීම මගින් අපට අපූරුවට පැවසෙන අතරම ඒ පිටුපස ඇති ආදරයේ බලවත් බවද පාඨකයාහට නිතැතින්ම දැනී යයි. එහෙයින් කතාවේ අවසානයට සිදුවන කතුවර මැදිහත්වීම නොවුනා නම් මේ නිර්මාණයෙහි ප්‍රබලත්වය තවක් ඉහල යනු නිසැකය.
තහනම් වචනයක් නමින් එන කතාවද මෙහි ඇති සාර්ථක නිර්මාණයකි. ඒ කතාව තුළ ඔහු අනුමානයන්, සැකය ආදී විවිධ අංශ මගින් පුද්ගල සබඳතා කිහිපයක සියුම් වියමනක් නිර්මාණය කරන්නේ නිශචිත නිගමනයන් ඉදිරිපත් කිරීමකින් තොරව චරිත විකාශය හරහා පාඨකයාහට සිය පරිකල්පනයට ඉඩ සලසන ආකාරය වැදගත්ය. මේ කෙටි කතාව එඩ්ගා ඇලන් පෝ ගේ කෙටි කතාවන් සිහියට නංවන්නකි.

තාත්තලයි දූලයි යන කෙටි කතාවද පාඨක අවධානයට ලක් විය යුතු නිර්මාණයකි. ඒ හරහා ඔහු කුටුම්බගත ජීවිතය සහ අධි වේගී ජීවන පැවැත්ම තුළ අර්බුදයට යන මා පිය දූ දරු සබඳතා මෙන්ම පවුල් සබඳතාවන්ද සාකච්ඡාවට ගනියි. ඔහු ඒ ඉදිරිපත් කිරීමට ගොඩ නංවන ව්යුමහය කතාවෙහි සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වෙයි.

සමන් ඩී වඩුගේ සිය පළමු කෙටිකතා එකතුවෙන් කෙටිකතා කලාවෙහි තමන්ටද ඉදිරි ගමනක් යා හැකි බව සනාථ කර සිටියි. මා මුලින් හඳුනාගත් සමන් යනු අසූව දශකයේ චිත්‍ර කලාවෙහි සමත්කම් පෑ සරසවි සිසුවෙකි. ඒ අතරම අංකුර කවියෙකු ලෙස මතුවන්නට තැත් දැරුවෙකි. තමන් තුළ ඇති නිර්මාණ කෞෂල්යුය හරහා දිගු ගමනක් යා හැකිව තිබූ ඔහු පසුව පරිපාලන සේවයේ නිලධාරියෙකු ලෙස එම ශක්‍යතාවන් ආයතන සංග්‍රහය මුදල් නීති සංග්‍රහය වැනි කඨෝර ලියවිලි තුළ සහ ඒකාකාරී රාජකාරි දිවියක් තුළ මිහිදන් කරන්නට පෙළඹීම ඛේදයකි. එහෙත් සිය රාජකාරි දිවිය තුළ කශේරු භංගයට ඉඩ නොදී යහපත් නිලධාරියෙකු ලෙස අසීරු ගමනක යෙදීම මෙන්ම තම පරම්පරාවේ බොහෝ නිලැත්තන් මෙන් දේශපාලන වන්දනා නඩයක හරෝ හරා කියන්නෙකු ලෙස වලාකුළු අරතර සරන්නට තැත් නොදැරීම ගැනද ඔහු අගය කල යුතුය. ඉදින් දැන් ඔහු යළි තමන් විසින් වල දමන ලද නිර්මාණ ශක්තිය ගොඩ ගනිමින් සිටී. ඒ සුබ ලකුණකි. සමන් ඒක ඇත්ත ආදරයක් මගින් කරන ලද ඇරඹුම පසුගිය කාලයේ අපතේ හැරි ශක්තියද කැටි කර ගනිමින් තවත් ඉදිරියට ගෙන යනු ඇත යන්න අපේ අපේක්ෂාවයි.

චූලානන්ද සමරනායක

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...