සැබවින්ම “ශේෂ” චිත්‍රපටය ලද ජාත්‍යන්තර ජයග්‍රහණය කුමක්ද ?

Share post:

ශ්‍රී ලාංකේය චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන ඉසුරු ගුණතිලක මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද “ශේෂ” – 2024 චිත්‍රපටය පසුගියදා ලද ජාත්‍යන්තර ජයග්‍රහණයත් සමගින් වත්මන් සමාජය තුළ ඒ පිළිබදව හරිහැටි කරුණු-කාරණා නොදත් නිසාම කිසියම් වූ උණුසුම්
කතාබහක් ඇතිවී තිබේ.

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙල ( INTERNATIONAL CANNES FILM FESTIVAL) වූ කලී ලෝක සිනමාවේ “රන්දෙවොල” යැයි සාමාන්‍ය ව්‍යහාරයේ දී කියැවේ. එහිලා කිනම් හෝ චිත්‍රපටයක් ඇතුළුව කිනම් හෝ සිනමා ශිල්පියකු හෝ ශිල්පිනියක් එහි කිනම් හෝ සම්මානයට පාත්‍ර වෙත්ද ඔහු හෝ ඇය ලොව විශිෂ්ටතම සිනමා නාමකරණයට අයත් වන්නේ ය . වාර්ෂිකව පැවැත්වෙන මෙම අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලට තම චිත්‍රපටය නිර්දේශ වීම හා එහිලා එම චිත්‍රපටය තිරගතවීම ද ලොව ඕනෑම චිත්‍රපටය අධ්‍යක්ෂකවරයකුගේ එකම සිහිනය වන අතර අවම වශයෙන් එහි වූ “රතුපලස” ( Red Carpet ) පෑගීමට ලැබීම වුවද ලොව සිනමා ක්ෂේත්‍රය සම්බන්ධ ඕනෑම තරාතිරමක අයකුට වුවද තම ජීවිතයේ ලැබෙන අනභිභවනීය අවස්ථාවක් ද වන්නේ ය. එපමණක්ද නොව ලොව ඕනෑම චිත්‍රපටය අධ්‍යක්ෂකවරයකුගේ ඒකායන පැතුම වනුයේ තම චිත්‍රපටය එහි මුල්පෙලේ සම්මාන දෙකෙන් ( එනම් Palmer Do’r / Grand Prix ) එකකට හෝ පාත්‍රවනු දැකීමයි. තවත් ආකාරයකින් කිවහොත් තම චිත්‍රපටය එකී සිනමා සම්මාන උළෙල නියෝජනය කිරීමත් එහි ලාංඡනය තම චිත්‍රපට පෝස්ටරයේ ඉහළින්ම සනිටුහන් කිරීමත් එක්තරා ජයග්‍රහණයක් බව කිවයුතුය.

කාන් වූ කලී ප්‍රංශයේ කිලෝ මීටර් 19.62 ක භූමි වපසරියන් යුතු වෙරළබඩ අති-සුන්දර නගරයක් වන්නේ ය . එසේම එය යුරෝපීය සංචාරකයන්ගේ කදිම සංචාරක නවාතැනපොළක් ද වන්නේ ය .

එහි වූ අතිසුන්දර Palm Tree Beach වෙරළ කේන්ද්‍රගතව එදාමෙදාතුර පැවැත්වෙන ලොව විශිෂ්ටතම අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල නම් අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙල යි .

Cannes – Palmer Do’r Award
( ප්‍රධාන සම්මානය )

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙල 1946 දී ප්‍රංශයේ ජාතික අධ්‍යාපන දෙපාර්තමේන්තුව ( Ministry of French National Education ) විසින් ආරම්භ කරන ලදි. ඊට පුරෝගාමීන් වූයේ රාජ්‍යතාන්ත්‍රිකයකු වූ ප්ලිප් එර්ලන්ගර් ( Phillipe Erlanger ) හා ප්‍රකට ප්‍රංශ සිනමා විචාරකයකු වූ රොබට් ෆාරේ ලා බ්‍රිට් ( Robert Farre Le Bret ) යන දෙදෙනා ය . 1950 වන විට අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලේ පරිපාලන හා එය නොකඩවා වාර්ෂිකව පවත්වාගෙන යෑම පූර්ණ වශයෙන් “කාන් සිනමා පදනම ” ( Cannes Cinama Foundation ) වෙත පැවරුණි. එදා සිට වර්තමානය එනම්, 2024 දක්වාම එනම් පුරා වසර හැත්තැහතරක්ම එහි පරිපාලන කටයුතු කරනුයේ මෙම පදනම විසිනි.

2020 / 2021 වර්ෂ වූ කලී පියවි ඇසට නොපෙනෙක ක්ෂුද්‍ර විෂ-බීජයක් ( කොවිඩ් 19 / Covid 19 ) විසින් ලෝක පාලනය කිරීමට සියයට ගත් දෙවර්ෂයක් බව කාටවත් මා අමුතුවෙන් කිවයුතු නැත. මානව ඉතිහාසය තවත් බියකරු කාලවකවානුවක් වූ එමගින් ලෝකයේ එක තැනක නැවතුනාක් මෙන් දැනුණි. ලෝකයේ දසත සිනමාශාලා දින නියමයකින් තොරව වැසී ගියේ ය . එම කාරණාව නිසාම ලෝක සිනමාවට
තම පැවැත්ම අරබයා Platform Cinama වෙත පරිවර්තනය වීමට සිදුවිය. මෙය අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙල ඇතුළුව ලොව දසත ක්‍රියාත්මක වන සෙසු අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලවල්වල අනාගත පැවැත්ම හා ක්‍රියාකාරීත්වය අතිශයින්ම තීරණාත්මක හා අභියෝගාත්මක වූ බව පෙනේ.

ඒ වනවිට ලෝක සිනමාවේ චිත්‍රපට ප්‍රදර්ශන ආධිපත්‍යය Digital Platforms කීපයක් විසින් අත්පත් කරගෙන තිබුණි. ඒවා අතර Netflix / Amazon/ Apple TV යනාදී Digital Platforms ඉදිරියෙන්ම සිටියේ ය. මේ අතර Netflix/ Digital Platform එක වඩාත් ප්‍රබල තත්ත්වයක පසුවූ බව පෙනේ.
මෙවන් වාතාවරණයක් හමුවේ 2020 / 2021 යන වර්ෂවල අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙල පැවැත්වීම එහි
සංවිධායකයන්ට අතිශයින්ම තීරණාත්මක හා අභියෝගාත්මක විය. එතෙක් කිසියම් වූ චිත්‍රපටයක් මෙම සිනමා සම්මාන උළෙල නියෝජනය කිරීමට නම් අනිවාර්යයෙන්ම එය ලෝක ප්‍රදර්ශනයට සූදානම් කළයුතු චිත්‍රපටයක් විය යුත්තේ ය . මෙය එහි මුලික කොන්දේසියක් බවද පෙනේ. එනමුදු 2020 වර්ෂයේදී Netflix / Amazon/ Apple TV යන ( විද්‍යුත් ) Digital Platform හි විකාශනය කරන ලද එම වසරේ නවතම චිත්‍රපට අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලේ තරගකාරීත්වය සදහා සුදුසුකමක් වශයෙන් අනිවාර්යයෙන්ම සැලකිය යුතු බවට Netflix විසින් කාන් පදනම වෙත දැඩිව බලපෑම් කරනු ලැබීය. එම අවස්ථාවේ දී කාන් සිනමා පදනමට කිසිවක් කරකියා ගත නොහැකි වන තැනට කරුණු-කාරණා ඉෂ්ට-සිද්ධ විය. එහි ප්‍රතිඵලය වූයේ තම චිත්‍රපට ප්‍රදර්ශන ඒකාධිකාරිය නිසාම Netflix ජයග්‍රහණය කිරීමයි .

ශේෂ චිත්‍රපටය ලද සහතික පත්‍රය 2024

ඉහත කාරණාව සමගින් එතෙක් පැවති අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලේ කොන්දේසි ( Cannes Conditions )
පිළිබඳව හා එහි ඉදිරි පැවැත්ම පිළිබඳව එහි සංවිධායකයන්ට නව්‍යමය වූ ආකාරයට සිතන්නට සිදුවිය. එහිලා ඔවුන් විසින් තීන්දු-තීරණය කීපයක්ම ගන්නා ලදි . අන්න … එහි එක් තීරණයක් අනුව තමයි 2020 දී පමණ අන්තර්ජාලය ඇසුරුකර ගනිමින් REMEMBER THE FUTURE WORLD FILM FESTIVAL ආරම්භ කරන ලද්දේ !! .

REMEMBER THE FUTURE WORLD FILM FESTIVAL යනු කුමක්ද ?

ඉහත සදහන් කරන ලද REMEMBER THE FUTURE WORLD FILM FESTIVAL ප්‍රධාන අරමුණු වූයේ ලෝකයේ සම්භාව්‍ය ( කලාත්මක ) සිනමාව වර්ධනය කිරීම හා ලොව දසත විසිරී සිටින නවක සිනමාකරුවන් දිරිමත් කිරීමයි. එහිලා ඔවුන් විසින් විවිධ අංශ සියයකින් පමණ මෙම තරගාවලිය සංවිධානය කරන ලදි.

එනම් ඒ හොදම වෘතාන්ත චිත්‍රපටය , හොදම කෙටි චිත්‍රපටය, හොදම මනෝවිද්‍යාත්මක චිත්‍රපටය, හොදම වාර්තාමය චිත්‍රපටය, හොදම සජීවීකරණ චිත්‍රපටය, ජංගම දුරකථනය උපයෝගි කොටගෙන නිර්මාණය කරන ලද හොදම චිත්‍රපටය සේම පශ්චාත් කොවිඩ් හොදම චිත්‍රපටය යනාදිය වශයෙනි. මෙය තරගාවලිය මාස්පතා ( Monthly ) හා වාර්ෂිකව ( Annual ) අන්තර්ජාලය කේන්ද්‍රගතව පැවැත්වෙන අතර ඊට ඇයදුම් කළ හැක්කේ ලෝප්‍රකට Film-freeway වෙබ් අඩවියට හරහා වීම විශේෂත්වයකි.

REMEMBER THE FUTURE WORLD FILM FESTIVAL හි මාසාපතා තරගාවලියට වඩා වාර්ෂිකව පවත්වන ලද තරගාවලිය අතිශයින්ම තරගකාරී ස්භාවයක් ගන්නේ ය . එහිලා විශේෂයෙන්ම වසරේ හොදම වෘතාන්ත චිත්‍රපටය ( Best Feature Film of the Year ) වෙනුවෙන් 𝙇𝙪𝙘𝙞𝙤𝙡𝙚 𝙙’𝙊𝙧”( 𝙂𝙤𝙡𝙙𝙚𝙣 𝙁𝙞𝙧𝙚𝙛𝙡𝙮 ) විශේෂ සම්මානක් පිරිනමනු ලැබේ. මෙම සම්මානයෙන් පිදුම් ලබන චිත්‍රපටය වාර්ෂිකව පැවැත්වෙන අන්තර්ජාතික කාන් සිනමා සම්මාන සතියේ ( International Cannes Film Week ) දී ප්‍රදර්ශනය කිරීම සුවිශේෂී කාරණාවක් බව පෙනේ.

REMEMBER THE FUTURE
WORLD FILM FESTIVAL / E : 2020

( REMEMBER THE FUTURE WORLD FILM FESTIVAL හි නිල-ලාංඡනය ( Official Logo ) යනු අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලේ නිල ලාංඡනය නොවන බව හොදින් අවබෝධ කරගනු වටී. එහිලා ඔවුනට වෙනමම වූ අනන්‍යතාවයක් සහිත නිල ලාංඡනයක් ඇත්තේ ය . කරුණාර මෙහි අමුණා ඇති සිව්වැනි ඡායාරූපය බලන්න – කර්තෘ .) මෙන්න.. මේ REMEMBER THE FUTURE WORLD FILM FESTIVAL මාසිකව එනම් , පසුගිය අප්‍රේල් මාසයේ පවතින ලද තරගාවලියේ Best Dance Film යන අංශයෙන් තමයි ශ්‍රීලාංකේය චිත්‍රපට අධ්‍යක්ෂක ඉසුරු ගුණතිලක මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද “ශේෂ” චිත්‍රපටය ජයග්‍රහණය කරන ලද්දේ … !!

අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලේ Best Dance Film යනුවෙන් කිසිදු අංශයක් නොමැත. එහෙයින් එය හා ශේෂ චිත්‍රපටය අතර කිසිදු සම්බන්ධවයක් නොමැති බව අප මැනවින් අවබෝධ කරගෙන රටක් වශයෙන් ලද මෙම ජයග්‍රහණය පිළිබඳව හදවතින්ම සතුටුවිය යුත්තේ ය. කිසිවකු විසින් මෙය තම නොදැනුවත්කමට අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට සම්බන්ධ කරත්ද , එය මේ ලද ජයග්‍රහණය හිතාමතාම අවඥාවට හෝ අවතක්සේරුවට ලක් කිරීමක් බවද විශේෂයෙන් සදහන් කරනු වටී.

ශ්‍රීලාංකේය සමස්ත කලාව එදාමෙදාතුර කොදෙව්ගතව ( කොටුවී ) ඇත්තේ ය . එහිලා ශ්‍රීලාංකේය සිනමාව පිළිබඳව ද කිවහැක්කේ එයම පමණි. ආසියාතික රටවල් කීපයකම එනම් , ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශය යනාදී රටවල් චිත්‍රපටය විවිධ අවස්ථාවල දී
විදේශීය මුල්පෙලේ සිනමා සම්මාන උළෙලවල්වලදී ජයග්‍රහණය ලැබ ලෝක ( විශ්ව ) සිනමාවට ( World or Universal Cinama ) එකතු වී සිටිය ද අපට තවම එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වී ඇත්තේ ය. මෙය තව ආකාරයට කිවහොත් පුරා හැත්තෑහත් වියැති මහලු ශ්‍රීලාංකේය සිනමාවට තවමත් එහි සැබෑ අනන්‍යතාවය ( මුද්‍රාව ) ලෝක සිනමාව හමුවේ තබන්නට නොහැකි වී ඇත්තේ ය . මෙය තමයි අප කොන්දේසි විරහිතව අවබෝධ කරගත යුතු යුගයේ යථාර්ථය වන්නේ ය.

එවන් වූ වාතාවරණයක් හමුවේ ශේෂ චිත්‍රපටය ලද මෙම ජයග්‍රහණය හදවතින්ම ඇගයීමට අපි නිහතමානි වෙමු . ජාතික චිත්‍රපට සංස්ථාවේ හෝ වෙනත් කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක පිහිටක් හෝ සරණක් නොමැතිව අන්තර්ජාලය පිරික්ෂමින් තමුන්ගේ ස්වෝත්සාහයෙන් REMEMBER THE FUTURE WORLD FILM FESTIVAL තම චිත්‍රපටය යවා ලද මේ ජයග්‍රහණය සැබවින්ම අවංක හා නිර්ව්‍යාජ ජයග්‍රහණයක් බව මට සිතේ. ඒ මොකද … පසුගිය කාලයේ ඇතැම් ඉතා පහළ මට්ටමේ සිනමා සම්මාන උළෙලවලට තම චිත්‍රපටය යවා එහිලා කිසිදු අංශයකින් ජයග්‍රහණයක් නොලැබ නියෝජනය කිරීමට වෙනුවෙන් ලබාදෙන ලද සහතිකය මහා ජාත්‍යන්තර ජයග්‍රහණයක් වශයෙන් මෙරටේ නොමේරු මාධ්‍යය හා ඇතැමුන් විසින් පුම්බන ලද අතීතයක් හිමි රටකට මෙම අව්‍යාජ ජයග්‍රහණය සැබවින්ම වටී.

එනමුත් මෙම ජයග්‍රහණය පිළිබඳව අපට හදවතින්ම සතුටුවීමට මහත් බාධාවක් වන්නේ ද මෙම ජයග්‍රහණයේ ගෞරවනීයත්වය කෙලෙසෙන්නේ ද
මෙම ජයග්‍රහණය අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලේ එක් අංශයකින් ලද ජයග්‍රහණයක් ලෙස ඇතැමුන් විසින් හුවා දැක්වීමට දරණ ලද ඔලමොට්ටල ප්‍රයත්නය නිසා බව පෙනේ. එහිලා ඊට මෙරට එක්තරා පාදඩ රූපවාහිනී නාලිකා දෙකක් මුලුමනින්ම වගකි යුතු-බව පෙනේ. ඔවුන් මෙම ප්‍රවෘත්තිය අමු-අමුවේ කිසිදු සොයා බැලීමකින් තොරව මහජනතාව හමුවේ තැබීය. එය මෙරට ජනමාධ්‍යකරණයේ ජාත්‍යන්තර දැනුමෙහි වූ සාක්ෂරතාවයේ ප්‍රාථමිකත්වය හා වගකීම් විරහිත මාධ්‍යකරණයි තත්ත්වය කොතරම්දයත් රටට හමුවේ ප්‍රකට කිරීමක් වන්නේ ය.

කරුණු කාරණා කොයිහැටි වෙනත් මතුයම් දිනෙක අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලේ ඉහළම සම්මාන යුගල වන Palmer Do’r / Grand Prix දිනාගැනීම හැකි දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් මෙරට අතරින් පතර හෝ සිට්න බව පෙනේ . එහිලා මා වඩාත්ම විශ්වාසය තබනුයේ මෙරට සිනමාවේ තාරුණ්‍යය නොහොත් සිව්වැනි පරපුර කෙරෙහි ය. එනමුත් අවාසනාවකට එවන් සිනමා තාරුණ්‍යය නිර්මාණය කරනු පිණිස නිශ්චිත වැඩපිළිවෙළක් මෙරට නිසි බලධාරීන්ට තවමත් නොමැත. අන්න .. ඒ නිසා තමයි ලෝකය දිගු ගමනක් යත්ද අප තවමත් මල ආත්ම මෙන් ඔබමොබ සැරිසරමින් එක තැනම ජරාජීර්ණය වන්නේ. එසේ නොවී කිසියම් වූ ස්ථිරසාර වැඩපිළිවෙළක් මතින් මෙරට අනාගත සිනමාව ගමන් කරත්ද අපට ලෝකයේ ඉහළම සිනමා ජයග්‍රහණ අත්පත්කර ගැනීම එතරම්ම අසීරු ඉලක්ක නොවනු ඇත.
එසේ නොවන තාක් කල් තව සියවසක් ගියද ශ්‍රීලාංකේය සිනමාව එකතැනය .
ශේෂ චිත්‍රපටයට ජාතියේ ප්‍රණාමය !!

නොලියාම බැරි මගේ සටහන …

77 වැනි අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙල පිළිබඳව මගේ අවධානය අන්-කවදරදාටවත් වඩා මා යොමුකළ බව සිතේ . එහිලා කාන් සතියෙන් දින පහක් පමණ මා සජීව එය නරඹා අවසන් දින එනම් , මැයි 25 වැනි දින පැවති සම්මාන රාත්‍රිය ඉතා නොඉවසිල්ලෙන් හා ආසාවෙන් නරඹන ලදි . එසේ නරඹා මා නිහඬව සිටියේ නැත. එම නව්‍යමය තොරතුරු ඉතා ඉක්මනින්ම මුහුණු-පොත මගින් මෙරට සිනමා ප්‍රේක්ෂකාගාරය දැනුවත් කරන ලදි . ඊට මගේ Profile එක සාක්ෂි දරනු ඇත. සැබවින්ම මෙවන් කාර්යය කළ යුත්තේ මෙරට සිනමා විචාරකයන් මිස අපවන් කුඩා චරිත නොවේ. එහෙත් පෙර කරුමයක් ගෙවවන්නා සේ මම මගේ ශක්ති-ප්‍රමාණයට අනුව එම වගකීම නොපිරිහෙළා ඉටු කලෙමි.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...

‘මන්දාකිනියක කීපදෙනෙක්’ – කසුන් සමරතුංග

මේක මේ මන්දාකිනියෙ ජීවත්වෙන බහුතරයක් නියෝජනය කරන්නට සමත් නියැඳියක කතාවක්.කවරයේ කළුපාටින් පේන ගැහැණු රූපයයත් පාට තුනකින් තියෙන පිරිමි...

වැදගත්ම ආර්ථිකය : නීතිය ඊට පස්සෙ : අපේක්ෂකයන්ගෙ ජනවර්ගය අදාළ නෑ : පවුලේ කැමැත්ත පස්සට දමයි – වෙනස් හැඩයේ සමීක්ෂණයක ප්‍රතිඵල මෙන්න !

ජනාධිපතිවරණය පිළිබඳ සමීක්ෂණයක් කියූ සැණින් අපට මතක් වන්නේ ප්‍රධාන අපේක්ෂකයන් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය පිළිබඳ ඉලක්කම් කිහිපයකි. මෙවැනි සමීක්ෂණ...