ඉන්දීය රහස් ඔත්තු සේවය වන රෝ : RAW – Research and Analysis Wing හි ප්‍රධානී සමන්ත් කුමාර් ගෝල් (Samant Kumar Goel) සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර කොළඹදී සාකච්ඡාවක් පැවැත්වීමත්, ඉන්පසු රෝ ප්‍රධානියා බැසිල් රාජපක්ෂ හමුවීමත් දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වෙමින් තිබේ.
ජනාධිපතිවරයා සහ රෝ ප්‍රධානියා අතර පැවති සාකච්ඡාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ද සහභාගී වී ඇත. පසුගිය 21දා මෙසේ රෝ ප්‍රධානියා ලංකාවට පැමිණ තිබේ. ඊට දිනකට පෙර, 20දා බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණියේය.
සාගල නිහඬයි
මෙම සාකච්ඡා සම්බන්ධයෙන් විමසීමට, ඊට සහභාගී වූ සාගල රත්නායක සම්බන්ධ කර ගැනීමට thetime.lk දින දෙකක් තිස්සේ අවස්ථා 12කට වැඩි වාර ගණනක් උත්සාහ කළේය. අපට දැනගැනීමට අවශ්‍ය කාරණය කුමක්දැයි විමසීමෙන් පසු, ඔහු දිගටම අප සමග කතා කිරීමෙන් වැලකි සිටියේය.
කාලයික්කතිර් පුවත්පත
මෙවැනි සාකච්ඡාවක් පැවති බව මුලින්ම වාර්තා කර තිබුණේ යාපනයේ ‘කාලයික්කතිර් – Kalaikkathir’ පුවත්පත මගිනි. ඒ, 23දා එම පුවත්පතේ 01 පිටුවේ සහ 10 පිටුවේ ය. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ද ළඟදීම මෙරට සංචාරයක යෙදීමට නියමිත බව ද එම පුවත්පත ඊට පෙර, 20දා වාර්තා කර තිබිණි.
ඉන්දියාවේ කැබිනට් ලේකම් (පර්යේෂණ) වන්නේ ද සමන්ත් කුමාර් ගෝල් ය. රෝ ක්‍රියාත්මක වන්නේ සෘජුව ම එරට අගමැති යටතේ වන ඒකකයක් ලෙස ය. එය, එරට පාර්ලිමේන්තුවට වගකියනු ලබන ආයතනයක් නොවේ. සමන්ත් කුමාර් ගෝල් මෙම තනතුරට පත්වූයේ 2019 ජුනි මාසයේදී ය.
මෙම සාකච්ඡා පිළිබඳ විධිමත් තොරතුරක් මෙතෙක් මාධ්‍යයට නිකුත් කිරීමට දෙපාර්ශ්වය ම කටයුතු කර නැත.
ස්වාමිගේ කතාව අවසන් වුවා පමණි !
මේ අතර පසුගිය සැප්තැම්බර් 28දා, ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන හින්දු අන්තවාදී දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් පැවැත්වීම ද දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට යොමු විය. මෙම හමුව සිදු වී තිබුණේ ද කොළඹදී ය.
ගෝඨාභය රාජපක්ෂ මුණගැසීමට පෙර ඔහු මහින්ද රාජපක්ෂ ද හමු වී තිබිණි.
ඉන්දියාවේ වර්තමාන ආණ්ඩු බලය හිමි භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන සුබ්‍රමනියම් ස්වාමි රාජපක්ෂ පවුල සමග සමීප සම්බන්ධතා පවත්වන්නෙකි. රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් සිදු කරන ලද බවට චෝදනා එල්ල වී ඇති අපරාධ සම්බන්ධයෙන් ද ඔහු අවස්ථා කිහිපයකදී අදහස් දක්වා තිබිණි. ඒ, අදාළ චෝදනා පදනම් විරහිත බව සඳහන් කරමිනි.
ස්වාමි පවුල
මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයන් සමග ‘ද හින්දු’ පුවත්පත වෙනුවෙන් වැඩිපුරම සම්මුඛ සාකච්ඡා ප්‍රමාණයක් මෙහෙයවා ඇත්තේ මාධ්‍යවේදී සුහයිසිනී හයිදර් ය. ඇය සුබ්‍රමනියම් ස්වාමිගේ දියණියකි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වුවද, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිසට පක්ෂපාතී බවක් පෙන්වන්නේ යැයි අදාළ සම්මුඛ සාකච්ඡා සබන්ධයෙන් ඇයට චෝදනා එල්ල විය.
සුහයිසිනී හයිදර් විවාහ වී සිටින්නේ නදීම් හයිදර් සමග ය. නදීම් හයිදර් යනු ඉන්දියාවේ සිටි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන සල්මන් හයිදර්ගේ පුත්‍රයා ය. සල්මන් හයිදර්ගේ රාජ්‍ය තාන්ත්‍රික රාජකාරි සම්බන්ධයෙන් මුලදී ඇගයුමක් තිබුණද, පසුව ඔහු අන්තවාදයට සහාය දක්වන බවට චෝදනා ද එල්ල විය.
‘අපි යන්නේ කොයි පාරේ’
හිටපු ඇමති බැසිල් රාජපක්ෂ 2020 ජූලි මාසයේදී ඩේලි එෆ්ටී පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ පොදුජන පෙරමුණේ දැක්ම භාරතීය ජනතා පක්ෂයේ සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ආකෘතියට ගොඩනැගිය යුතු බවයි. බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් ඊට අදාළ සාකච්ඡා කිහිපයක් ද පවත්වා තිබිණි.
රාෂ්ත්‍රීය ස්වායම්සේවක් සංග්
ඉන්පසු සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණේ භාරතීය ජනතා පක්ෂයේ දාර්ශනික ව්‍යාපාරය ලෙස හැඳින්වෙන රාෂ්ත්‍රීය ස්වායම්සේවක් සංග් (Rashtriya Swayamsewak Sangh – RSS) ප්‍රධානියෙකු සහ එම පක්ෂයේ ජාතික මහ ලේකම් රාම් මාධව් මෙරටට පැමිණීමට නියමිත බවයි. එම සංචාරය නියමිත පරිදි සිදු නොවූයේ අරගලය සහ ආණ්ඩුවට එල්ල වූ ජනතා විරෝධය නිසා ය.
රාම් මාධව්ගේ ප්‍රකාශය
මෙම රාම් මාධව් 2022 ජුනි මාසයේදී ‘ද ප්‍රින්ට්’ සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී දැක්වූ අදහසක් බරපතළ ආන්දෝලනයට තුඩුදුන්නේය. ඔහු එහිදී පවසා තිබුණේ ඉන්දීය මුස්ලිම් ජනතාව තමන් අදහන කොටස් කිහිපයක් ඉවත් කරගත යුතු බවයි.
පසුබිම හැදෙන හැටි
මේ අතර ජනතා විරෝධය වර්ධනය වන විට සුබ්‍රමනියම් ස්වාමි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේ රාජපක්ෂලාගේ ආරක්ෂාවට ඉන්දීය හමුදා යෙදවිය යුතු බවයි. ඒ සමග ම හින්දු පුවත්පත ප්‍රවෘත්තියක් පළකළේ මෙරටට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ බරපතළ අනතුරක් ඇති බවටයි.
දේශපාලන විශ්ලේෂකයන් අවධාරණය කරන්නේ සුබ්‍රමනියම් ස්වාමි සහ රාජපක්ෂ පවුල අතර පවතින මේ සම්බන්ධතාව සරල ව ගත නොහැකි බවත්, භාරතීය ජනතා පක්ෂයේ එක් අන්තයක් එමගින් නියෝජනය වන බවත් ය.
තීරණාත්මක හැරවුමක්
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වන රාජ්‍ය තාන්ත්‍රික විශේෂඥයන් පෙන්වා දෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය තීරණාත්මක හැරවුමක් සටහන් කළ බවයි. දෞපදී මුර්මූ ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත්වූයේ එම මැතිවරණයෙන් ය.
මුර්මූ ආවේ ඇයි?
භාරතීය ජනතා පක්ෂයේ දේශපාලන හැසිරීම ප්‍රධාන වශයෙන් කොටස් 03කට බෙදිය හැකිය. 1967 සිට 1995 දක්වා සහ 1995 සිට 2014 දක්වා එහි මුල් අදියර වේ. ඉන්පසු ක්‍රමයෙන් සිය අන්තවාදී ඡන්ද පදනම තබාගනිමින් පක්ෂය පුළුල් කිරීමේ කටයුතු ඔවුහු ආරම්භ කළහ. එහි තීරණාත්මක පියවරක් ලෙස ආදිවාසී කණ්ඩායම් නියෝජනය කරන මුර්මූ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට භාරතීය ජනතා පක්ෂය කටයුතු කළේය.
පිළිගත හැකි පක්ෂයක්
මීට පෙර 2002 වසරේදී අබ්දුල් කලාම්, 2017 වසරේදී රාම්නාත් ගෝවින්ද් ජනාධිපති ධුර අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරමින් ද එම පක්ෂය වරින්-වර තමන් සියල්ලන්ට පිළිගත හැකි පක්ෂයක් බවට සංඥා නිකුත් කළේය. එහෙත් ඒ සියලු අවස්ථාවලදී තමන්ගේ හින්දු අන්තවාදී පදනම ද සුරක්ෂිත කළ ගැනීම සඳහා සුබ්‍රමනියම් ස්වාමිලා දිගටම වැඩ කළහ.
ඉලක්කය
දැන් භාරතීය ජනතා පක්ෂයට අවශ්‍ය ව ඇත්තේ දකුණු දිග ඉන්දියාවට, එනම් කේරළ / තමිල්නාඩු වෙත සිය පක්ෂයේ කටයුතු පුළුල් කිරීමට ය. ආදිවාසී ගෝත්‍ර වැඩි ප්‍රමාණයක් සිටින ඊසාන දිග ඉන්දියාව නියෝජනය කරන මුර්මූ ඉහළට එසවෙන්නේ මේ තත්ත්වය තුළ ය. අසාම්, ත්‍රිපුර් හරහා ඊසාන දිග ඉන්දියාවත්, ඉන්පසු කේරළ / තමිල්නාඩු බලයත් තමන් අතට ගැනීම භාරතීය ජනතා පක්ෂයේ උපායමාර්ගය බව පෙනෙන්නට තිබේ.
කොංග්‍රස් පක්ෂයේ උදාසීන තත්ත්වය ද ඔවුන්ට මේ අවස්ථාවේ වාසිදායක වී ඇත.
අලුත් උපායමාර්ගය
මේ උපායමාර්ගය සඳහා වන තවත් මාර්ගයක් ලෙස ඔවුහු ඉස්ලාම් සහ හින්දු ආගම් අතර අර්බුදය ඉස්මතු කිරීමට ද උත්සාහ දරමින් සිටිති. රාෂ්ත්‍රීය ස්වායම්සේවක් සංග්හි මේ දිනවල කාර්යභාරය වී ඇත්තේ එයයි. එහි ප්‍රධානී, භාරතීය ජනතා පක්ෂයේ ජාතික මහ ලේකම් රාම් මාධව් ඉන්දීය මුස්ලිම් ජනතාව තමන් අදහන කොටස් කිහිපයක් ඉවත් කරගත යුතු බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ ද මෙහි ම පියවරක් ලෙස ය.
අන්තවාදී ගමන
බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධාන නියෝජනය කරන ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සෞදි නිදහස් සැමරුම වෙනුවෙන් කොළඹ පැවති උත්සවයකට ආරාධනා ලබා යන්නේත්, එම සංවිධානයේ පිරිස් කිලිනොච්චිය, මන්නාරම වැනි ප්‍රදේශවල පුළුල් ව්‍යාපෘති ආරම්භ කරන්නේත් එක්වරම නොවේ.
ගෝලීය උපක්‍රම
දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ගෝලීය දේශපාලන උපක්‍රම මතුපිටින් පෙනෙන තරම් සරල හෝ සාධාරණ හෝ නැති බවයි.