රෙඩ් කොම්රේඩ් – සුදත් මහදිවුල්වැව

Share post:

සිනමා පටයක් සම්බන්ධයෙන් මෑතකාලීනව ඇතිවුන අදහස් හුවමාරු සම්බන්ධයෙන් කැපී පෙනෙනම මැදිහත්වීම් අත්කරගත් සිනමාපට දෙකක් තිබේ. ඒ සිංහබාහු සහ රෙඩ් කොම්රේඩ්ය. සිංහබාහු සම්බන්ධයෙන් සිදුවන අදහස් හුවමාරුවේදී වැඩි වශයෙන්ම සිදුවනුයේ එහි ඇතුලත් දෙබස් ඇසුරින් නිර්මාණය වන විහිලු බෙදා හදා ගැනීමය. රෙඩ් කොම්රේඩ් සම්බන්ධයෙන් සිදුවන වැඩිම කතාබහ කේන්ද්‍රගත වනුයේ ඒ සිනමා පටය සහ you will never find me සිනමාපටය අතර සමානකම් මතුකරමින් කොපි කිරීම පිළිබඳව අදහස් මතු කිරීමටය.

රේඩ් කොම්රේඩ් සහ you will never find me සිනමා පටය අතර වන සමානකම් ගැන කතා කිරීමෙන් මේ නිර්මාණ දෙකටම නොසිතූ ආකාරයක ආකර්ශණයක් ඇතිව තිබේ. ඒ මේ දෙක සම්බන්ධව ඇති වන කතාබහ සමගින් ඒ දෙකම නැරඹීමට පිරිස් උත්සුක වීමය. එයද එක්තරා ආකාරයක යහපත් වර්ධනයක් සේ සැලකිය හැකිය. එහෙත් ඒ අතරම මේ සිනමා පට දෙකෙහි සමානකම ගැන සිදුවන කතා බහට එකී නිර්මාණයන් බිහි කරන ලද කාල වකවානු සහ එහි සංදර්භයන් මෙන්ම එකී නිර්මාණයන් අතර වන සමාන අසමානකම්, ප්‍රබලත්වයන් සහ දුබලතා ගැනද සිනමාව පිලිබඳ ප්‍රවීණයන් අතින් විමසුමක් කෙරෙන්නේ නම් එය මේ මොහොතේ කාටත් ඉතා වැදගත් වනු ඇත.

රෙඩ් කොම්රේඩ් සිනමා පටය ප්‍රදර්ශණය සඳහා එන්නේ සමාන තේමාවක් රැගත් තවත් සිනමා පට දෙකක ආගමනයට පසුවය. ඉන් පළමුවැන්න වනුයේ රෝහණ වීජේවීර චරිතය සහ ජවිපෙ දේශපාලනය අරභයා නිර්මාණය කරන ලද ගින්නෙන් උපන් සීතල කෘතියයි. ඉන්පසුව අපට හමුවන්නේ රහස් කියන කඳු සිනමා පටයයි. රෙඩ් කොම්රේඩ් එහි තෙවැන්න ලෙස ගත හැකිය. රටෙහි ඉතාම තීරණාත්මක දේශපාලන අරගල දෙකකට නායකත්වය සැපයූ සහ එහිදී අන්තම දරුණු මර්ධනයට මුහුණ දීමට සිදුවූ දේශපාලන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් රටෙහි නිර්මාණ ක්ෂේත්‍රයේ ඇති උදාසීනබව මධ්‍යයේ- උතුරේ අරගලය සම්බන්ධයෙන්ද තත්වය එයමය- මෙලෙස නිර්මාණ තුනක් කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂකයා හමුවට පැමිණීම ඉතා වැදගත් ය.

ගින්නෙන් උපන් සීතල කේන්ද්‍රගත කරගනුයේ රෝහණ විජේවීර චරිතය සහ ජවිපෙ අසූව දශකයේ ගෙනගිය අරගලය විජේවීර ඝාතනයෙන් අවසන් කරන ලද පරිච්ඡේදය සිත්තම් කිරීමටය. එහිදී දීර්ඝ ඉතිහාසයක් සිනමා පටයක් තුළට ගෙන ඒමට දරන ලද උත්සාහය හේතුවෙන් අර්ධ වෘත්නාත සහ වාර්තාමය ස්වරූපයක් ගන්නා සිනමා පටය කතන්දරයක් නිර්මාණය කරමින් එහි කේන්ද්‍රීය චරිතය වන විජේවීරගේ සංකීර්ණත්වයන් මෙන්ම දුර්වලතාවන්ද විමසුමට ලක් කිරීමට සහ ඒ යුගයේ ජවිපේ දේශපාලනය විචාරයට ලක් කිරීමට තිබූ අවස්ථාව මග හැර ගනියි.

රහස් කියන කඳු මීට වඩා වෙනස්ව යමින් එකී යුගයෙහිම නියෝජනයකට පිවිස වඩා සාර්ථක නියෝජනයක් සිදු කරයි. එහිදී දැනෙන විශේෂත්වය වනුයේ මර්ධනයට ලක් කරන ලද සටන්කාමීන් පිළිබඳව නිර්මාණය කෙරෙනා සිනමා පටයක් හරහා වධකයාගේ භූමිකාවෙහි සංකීර්ණත්වයන් මතු කිරීමට සිනමාකරුවා සමත්වන ආකාරයයි. වීරයා සහ දුෂ්ටයා වෙනුවට එහිදී අපට එකී අවධිය මෙන්ම එහි ජීවත්වූ ගැටුණු මිනිසුන්ගේ ජීවිත පිළිබඳව පුළුල් කියවීමකට ඉඩ විවර වෙයි. අසූව දශකයේ මෙවන් චරිත සමග ගැටෙන්නට, ඔවුන් ගේ වධයන්ට පාත්‍ර වන්නට සිදුවුන අතීතයක් විමසන විට මේ චරිතයන්හී සංකීර්ණත්වය මෙන්ම ඒ චරිතයන්හී ප්‍රලත්වයන් සහ දුබලතා යළි කියවන්නටද ඉඩ සැලසෙයි. ( කන පැලෙන්නට බොන විටද රතු පැහැය වැඩියෙන් ඇති ඩෙවල් චිකන් කන්නට තබා පලාතේවත් ගේන්නට එපා යයි කියන, මුං ඇට සීනි සමග කමින් බාගේ බෝතලයක් නිතරම ළඟ තබාගන්නට පෙළඹුණ චරිත මට මගේ ජීවිතයේදී හමුව තිබේ. එසේම වධක කොක්කෙහි එල්ලා හොඳ පණ යන්නට බැට කෑ පසුව දෑතට මාංචු දමා තිබියදීත් අඩෝ තෝ ලියන්න දන්න එකා මගෙ කෙල්ලට ලව් හිතෙන විධිහට කවි ටිකක් ලියලා දීපන් යයි අහිංසක තාලෙන් ඉල්ලීම් කල වධකයන්ද මට හමුව තිබේ.)

රෙඩ් කොම්රේඩ් යොමු වනුයේ පරම්පරා දෙකක එකම අරගලය ගැන සිතන, සිහින දකින එසේම ක්‍රියාකාරීව සිටින චරිත දෙකක් එකිනෙකා මුණගැස්වීමටය. එක් චරිතයක් අසූව දශකය නියෝජනය කරන විට අනෙක් චරිතය ඒ පරම්පරාවේ දරුවන් නියෝජනය කරයි. අහඹු පරිසරයක හමුවන දෙදෙන එකිනෙකා හඳුනාගන්නට එකිනෙකා අතර වෙනස්කම් දකිමින් ගැටෙන්නට දරන උත්සාහයන් අතරින් මහදිවුල්වැව අප රටේ වාමවාදී දේශපාලනයේ අතිශය සංකීර්ණ, විවාදාපන්න, එසේම නොවිසඳුනු වංකගිරි බහුල, අද පවා යළි යළි තුරුම්පු කොල සේ අවස්ථාවාදී ලෙස ඇදෙන නෙක සිදුවීම් වලින් ගහන කලාපයක් ගැන අලුත් කතාබහකට මගක් පාදා ගන්නට උත්සාහ දරයි.

අද වන විට අප සිටිනුයේ වාම ලෝකය මුළුමනින්ම බිඳ වැටුනේ යයි ඊට එරෙහි ලෝකය උදම් අනනා පසුබිමකය. සිය රටෙහි සීනි කර්මාන්තය ඉහලම තැන තබාගෙන සිටිනා කියුබාව මේ වන විට උක් වගාවේ දරුණුතම අර්බුදයට මුහුණ දෙමින් සිටිනුයේ එකී කර්මාන්තයේ නියැලෙන්නන් පමණක් නොව සමස්ත රටම අර්බුදයෙන් අර්බුදයට යවමිනි. සෝවියට් දේශය බිඳ වැටී ගෙවුන දශක කිහිපය තුළ චීනය ඩෙන් ෂියාවෝ පින් ගේ නායකත්වය යටතේ රාජ්‍ය බලය සහ විවෘත ආර්ථිකය අතර තනාගත් පාලමක් හරහා ලෝකයේ බලවතෙක් බවට පත් වෙද්දී ඉන්දියාව ජාතිකවාදයේ පහුර මත නැග යයි. උතුරු කොරියාව තවමත් ලෝකයට වැසුනු කලාපයක් සේ චීනය සහ රුසියාව මත රැඳෙමින් ලෝකයට කම්පන තරංග නිකුත් කරයි. අනෙක් අතින් පලස්තීනය මුල් කරගත් අර්බුදය මෙන්ම ඉරාන නායකයාගේ මරණයද යුක්රේන යුද්ධයද ලෝක සිතියම වෙනස් කිරීමට නියතවම බලපාන සාධක බවට පත්ව තිබේ.

ලංකාවේ වාම ව්‍යාපාරයද මේ වන විට පසුවනුයේ සංකීර්ණ තත්වයන් රැසකට මුහුණ දෙමිනි. පැරණි වාමාංශය ජාතිකාවදී ලෙස පෙනී සිටි ජාතිවාදී කඳවුරක පාර්ශවකරුවන් බවට පත්වීම මෙන්ම ලෝක දේශපාලන න්‍යාය පත්‍රයන් හමුවේ මේ සියළු පාර්ශව මුහුණ දෙන අර්බුද එක් පසෙකය. අනෙක් පසින් ගොල්ෆේස් අරගලය සහ ඉන් ඇතිවූ පශ්චාත් ප්‍රතිපල හමුවේ රටෙහි දේශපාලනය දිගහැරෙමින් පවතින ආකාරයද වියවුල් සහගතය. තම දේශපාලන පක්ෂය වෙනුවට පෙරමුණක් නිර්මාණය කරමින් බලය උරගා බලන්නට සැරසෙන ජවිපෙ තමන් තවදුරටත් සමාජවාදී සංකල්පය වෙනුවට පොදු පෙරමුණක් හරහා (ලාල්කාන්ත වරෙක මෙවන් අදහසක් පල කර සිටියේය) ප්‍රතිතිසංස්කරණවාදී මාවතක දූෂණයෙන් තොර දේශපාලන භාවිතාවක් ගැන කතා කරන විට එයින් කැඩී ගිය පෙරටුගාමී පක්ෂය වාමවාදී කතිකාවක් සහ ජන අරගල භූමිකාවක් පෙරට ගනිමින් තිබේ. ඒ අතර පශ්චාත් මාක්ස්වාදී කතිකාව තවත් පසෙකය. මේ සියලු සංවාද එක් දෙයක අවශ්‍යතාව නොනැවතී මතු කරමින් තිබේ. ඒ අද දවසේ දේශපානය කෙසේ විය යුතුද යන සංවාදයක අවශ්‍යතාවයි.

රෙඩ් කොම්රේඩ් සිනමා කෘතිය පිවිසෙනුයේ මෙවන් ගිනි පුළිඟු මතු වෙමින් පවත්නා පරිසරයකය. එකම දේශපාලන මගක් ගැන සිහින දකින පරම්පරා දෙකක හමුවීම තුළින් මතුකරගත හැකිව තිබූ සියුම් එමෙන්ම සංකීර්ණ සංවාදයක් සිනමාකරුට නියම ලෙස මතු කරගැනීමට නොහැකි විණැයි මට හැඟෙයි. වෙසෙසින්ම පෙර පරම්පරාවේ සහ පසු පරම්පරාවේ චරිත ද්වයෙහි සංවාද දේශපාලන පාඩමක් බවට පත් වන ආකාරයේ දෙබස් නිර්මාණය මෙන්ම පිරිමියාගේ ඕලාරික සේ ගැනෙන හැසිරීම හරහා මේ චරිතය ඔහු මුහුන දෙන පසුබිම තුළ දියව යන සෙයක් දැනීම සහ ඇතැම් අවස්ථාවන්හී සිනමා නිර්මාණය වෙනුවට නාට්‍යයක ලක්ෂණ මතුවීම ද සිනමාපටයෙහි මැද හරියේදී දැනෙන ඇදෙන ස්වභාවය මේ සිනමා පටය නරඹද්දී මට දැනී ගිය දුබලතා ලෙස සටහන් කල යුතුය.

ඒ සියල්ල මැද වුව රෙඩ් කොම්රේඩ් ඉන් කතා කරනා දේශපාලනය කොන්දේසි විරහිතව මෙන්ම විවේචනාත්මකව අගයන, ඊට නිර්දය ලෙස පහර දෙන සියළු පාර්ශවයන්ට සංවාදය පිණිස වේදිකාවක් තනයි. අප රටේ දේශපාලනයේදී සැමදාම සිදුවූවේ සිද්ධි ඉදිරියට ගෙන සමස්තය අමතක කර ඇගයීම හෝ පහර ගැසීම මිස පැවති තත්වයන් තුළ දේශපාලනය අවධානයට ලක් කිරීම නොවේ. පුරා වසර හැත්තෑ හයක කාලයක් තිස්සේ මේ රට මේ තත්වයට පත් කිරීමට විවිධ අයුරින් දායක වූ සියළු දේශපාලන බලවේගයන්ට ඒ ගැන කිසිදු විවේචනයකින් තොරව හැත්තෑ එක අසූව දශකය සහ ජවිපේ ප්‍රශ්ණ කරන්නට හැකි වන්නේත් එහෙයින්. උතුරටද මෙය අදාලය. එහෙත් මින් ජවිපේ විවේචනයට ලක් නොවිය යුතුය යන්න අදහස් නොවෙයි. විය යුත්තේ දේශපාලනික විවේචනයට එලඹීමය.

මට හැඟෙන ආකාරයට නම් රෙඩ් කොම්රේඩ් පිළිබඳ සංවාදයද යොමු විය යුත්තේ ඒ දිශාවටය. නිර්මාණ කොල්ලය, කොපි කිරීම, ප්‍රචාරක ව්‍යාපෘති ගැන කතා කිරීමට පවත්නා ඉඩ එලෙසින්ම තබාගෙන වුව මේ සංවාදය ඇරඹීම මගහැර යාම යනු නොකල යුත්තකි. මෙවන් චෝදනා මීට පෙරද ධර්මසිරි බණ්ඩාරනායක මෙන්ම ප්‍රසන්න විතානගේටද එල්ල වූවා අපට මතකය. එහෙත් ඒ කිසි විටෙකත් එයින් නිර්මාණය සහ එහි බලපෑම් ගැන වූ සංවාදයට වැටක් බැඳුනේ නැති. අප රෙඩ් කොම්රේඩ් සිනමා පටය හරහා මතු කරගත හැකි දියුණු සංවාදය මග හරින්නේ නම් එයින් පාඩුව වනු ඇත්තේ මහදිවුල්වැවට නොව අප සමාජයටය.

චූලානන්ද සමරනායක

Related articles

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...

‘මන්දාකිනියක කීපදෙනෙක්’ – කසුන් සමරතුංග

මේක මේ මන්දාකිනියෙ ජීවත්වෙන බහුතරයක් නියෝජනය කරන්නට සමත් නියැඳියක කතාවක්.කවරයේ කළුපාටින් පේන ගැහැණු රූපයයත් පාට තුනකින් තියෙන පිරිමි...