ජීවිතයේ ප්‍රධාන සහ අතුරු මාවත් අතර දෝලනය වන මිනිසුන් වෙත තුලනාත්මක බැල්මක් හෙලන ‘අතුරු වීදිය’

Share post:

ජීවිතයේ ගමන්මග වැටී ඇත්තේ ප්‍රධාන මාවත් මෙන්ම අතුරු මාවත්ද ඔස්සේ බව රහසක් නොවේ. අතුරු මාවත්වල සිටින්නෝ ප්‍රධාන මාවතට පිවිසීමට නිරන්තරයෙන් වෙර දරති. ස්වකීය පංතිමය ෆැන්ටසිය සපුරා ගැනීමේ ආශාව මෙකී උත්සාහය සමඟ අවියෝජනීයව බැදී තිබේ. ඇතැම් විට අතුරු මාවතේදී ලද සතුට සහ සැහැල්ලුව ප්‍රධාන මාවතට පිවිසි පසු වියැකී යාමට පුළුවන. එසේ නොවීමටද ඉඩ ඇත.

දිමුතු සමුද්‍ර ලියනගේ විසින් රචනා කරන ලද අතුරු වීදිය ජීවිතයේ ප්‍රධාන සහ අතුරු මාවත් අතර දෝලනය වන මිනිසුන් වෙත තුලනාත්මක බැල්මක් හෙලන නවකතාවකි.ළමා අවධියේ සිට වැඩිහිටි විය දක්වා දිවෙන එහි ප්‍රධාන චරිතය (සේපාල) මුහුණ දෙන සිද්ධිදාමය ඔස්සේ කතාපුවත දිගහැරේ. විධිමත් ඉගෙනුම මෙන්ම අවිධිමත් ඉගෙනුම ජීවිතයට බලපාන ආකාරයත් පංති භේදයකින් තොරව මිනිසුන් ජීවිතයේ අලුත් රසක් සෙවීමට තැත් කරන ආකාරයත් ජීවිතයේ වසා දමා ඇති පාරවල් විවර කර ගැනීමට දරන වෙහෙසත් මිනිසුන්ට අතීතයේ විෂ සමඟ දිවි ගෙවීමට සිදු වන අයුරුත් අතුරු වීදියේ අත්දැකීම් ජීවිතය දරා ගැනීමට සහාය වන අයුරුත් (පෝසිලේන් පිඟන් මෙන් බෙලෙක් පිඟන් බිඳී නොයෑම) මෙම කතාපුවතින් නිරාවරණය වේ. එමෙන්ම ඊඩිපස් බැඳීම ඛණ්ඩනය නොවීමේ අනතුරද නවකතාව පුරාම නොමදව දිස් වේ.

මෙය නවකතාවකට ආගන්තුක තේමාවක් හෝ කතාපුවතක් නොවුවද අතුරු වීදිය නවකතාවේ විශේෂත්වය රැඳී ඇත්තේ කතාපුවත ඉදිරිපත් කරන ආකාරය තුළය. මෙහිදී කතුවරයා නවකතාවේ ආකෘතිය වෙතට නාට්‍ය සහ පද්‍ය ශානර සමෝධානය කරයි.එමෙන්ම ප්‍රධාන චරිතයේ ළමා විය සහ වර්තමානය අන්තර්ඡේදනය වන ආකාරයට ආඛ්‍යානය නිමවයි. මෙයට අමතරව කතුවරයා අන්තර්පඨිතමය ඉදිරිපත් කිරීමක් වෙතටද යොමු වේ. මේ අනුව මනමේ නාට්‍යයද හුණුවටයේ කතාව නාට්‍යයද සේපාලගේ ආත්මීයත්වය සමඟ මුසු වෙයි. මෙම ආඛ්‍යාන රටාව නිසා පාඨකයාට සේපාලගේ සවිඥානය සහ අවිඥානය අතර සිග්සැග් ආකාරයේ සැරිසැරීමකට අවකාශ සැලසේ. ජීවිතයේ යථාර්ථය යනු අප අත්දකින දේම නොව ඊට වැඩි යමක් බව එයින් අවධාරණය කෙරේ. ඇතැම් විට කතුවරයා භාවිත කරන තිරරචනාමය භාෂාව යථාර්ථයෙන් පිටත සිට යථාර්ථය දෙස බැල්මක් හෙලීමට පාඨකයාට අවස්ථාව සපයයි. මෙම උපක්‍රමය සමඟ ඒකාබද්ධ වන පාරිසරික හැඟවුම්කාරක මගින් නිමවන හැඟවුම් ජීවිතය පිළිබඳ තෙවන මානයක් නිරාවරණය කරයි. අතුරු වීදියේ අඳුර ඊට එක් නිදසුනකි. මේ අනුව ” පැල්පත්වල අඳුර වීදියට වැටී වීදිය තවත් අඳුරු වෙයි.” එමෙන්ම සේපාල සහ සමනලී නම් යෞවනිය අතර ගොඩනැඟෙන සබඳතාව පාඨකයා තවත් ප්‍රබන්ධමය දිශානතියක් වෙතට රැගෙන යයි. එය සතුට , ශෝකය , සැහැල්ලුව , විනෝදය මෙන්ම අවිනිශ්චිතතාව ද හඟවන නිදහස්කාමී කලාපයකි.

කතුවරයා ස්වකීය චරිත ගොඩනැංවීමේදී ඒවා කළු සහ සුදු ලෙසින්ම පින්තාරු කළේ ඇයිද යන්න ගැටලුවකි. ඒවායේ අළු පැහැය මතු කිරීමට තැත් කළේ නම් නවකතාවේ ප්‍රබලත්වය තවදුරටත් තීව්‍ර වනු නියතය. මේ නිසා ඇතැම් චරිත අනවශ්‍ය පරමාදර්ශීකරණයකට ලක්ව තිබේ. එමෙන්ම කතාවේ මුල්භාගයේදී අතිශය නිර්මාණාත්මක අයුරින් යොදා ගන්නා ශානරීය සංකලනය කෘතිය අවසානයට සමීප වන විට හුදු කෘත්‍රිම සැරසිල්ලක් බවට පත් වනු පෙනේ.
කෙසේවෙතත් , සාම්ප්‍රදායික තේමාවක් හෝ කතාපුවතක් පවා නැවුම් ආඛ්‍යාන රටාවකින් හෝ ආකෘතියකින් ඉදිරිපත් කළවිට එය ප්‍රබන්ධානන්දයක් බවට පත් කළ හැකි බව දිමුතු සමුද්‍ර ලියනගේ අපට අතුරු වීදිය හරහා යළි යළිත් පසක් කර දෙයි.

උදිත අලහකෝන්

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...