මට ඇවැසි වනුයේ මගේ කතන්දරයක් ‘නෑ, ඔහ්, ඇත්ත ඒක නෙවෙයිනේද යනුවෙන් පාඨකයාහට හදු අදහස් පවසන්නට මග සලසන්නක් නොවී ලේඛණය තුලින් තමනට එක්තරා ආකාරයක ප්‍රතිලාභයක් ලැබෙන්නේය යන හැඟුම ඔහු තුළ උපදින ආකාරයේ ජීවිතය පිළිබඳ වැදගත් යමක් වනු දැකීමය. එහෙත් එහි අරුත නිර්මාණය තුළ කෙසේවත් සතුටුදායක අවසානයක් වැනි දෙයක් තිබිය යුතුය යන්න නොවේ. කතන්දරය කියවා හමාර කරනා විට එමගින් ඉදිරිපත් කරනු ලබන සියළු දෙයින් තමා වෙනස් පුද්ගලයකු බවට පත්ව සිටින්නේ යයි පාඨකයා තුළ හැඟීමක් ඇති කිරීමය.
2024 මැයි 13 වන දින සිය දිවිසැරිය හමාර කළ පරසිදු කෙටිකතාකාරියක වන ඇලිස් මුන්රෝ නිර්මාණකරනය ගැන වරෙක පැවසූ අදහසක් ඉහත දැක්වෙයි. ඇය කියනුයේ නිර්මාණයකට පුද්ගලයකු තුළ වෙනසක් ඇති කිරීමට සමත්කමක් ඇති බව තමන් විශ්වාස කරනා බවයි.
කෙටිකතාව නම් නිර්මාණ ප්‍රභේදය හඳුනාගත් දා පටන් ඒ පිළිබඳව ඉදිරිපත්ව ඇති නිර්වවනද බොහෝය. මෙසේ විවිධ නිර්චවන කෙටිකතාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන විට ඒ සියල්ල අතරින් කෙටිකතාවද නව්‍යභාවයක් අත්කරගනිමින් ඉදිරියට ඇදෙයි. නැතිනම් කරනු ලබනා නිර්වචන ඉක්මවා මතුව පෙනෙන්නට ගනියි. මේ මතුවීම යනු කෙටිකතාකරුවාගේ අනවරත අභ්‍යාසයෙහි පලයයි. මෙසේ කෙටිකතාව සහ ඒ වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබනා නිර්වචන අතර ගනුදෙනුව දිගු නවකතාවක් වැනිය. තරංගා රණසිංහ යනු ඒ දිගු නවකතාවේ අමතක කර දමන ලද පරිච්ඡේදයකි.
ඇය නිර්මාණ දිවියට පිවිසෙන්නී චින්තක රණසිංහ සමගින් කටුස්සකුගේ මලගම නම් කාව්‍ය එකතුව පලකරමිනි. ඒ 2000 වසරේදීය. එතැන් පටන් ඇය විසින් කරන ලද නිර්මාණ සංඛ්‍යාව පහකි. ඉන් එකක් ශාස්ත්‍රීය කෘතියකි. ඒ කුමාරතුංංග මුනිදාසයන්ගේ කවි මග පිළිබඳවය.
මේ කාලය මුළුල්ලේ ඇය විසින් රචනා කරන ලද කෙටි කතා එකතු සංඛ්‍යාව තුනකි. ඇය තම නවතම කෙටිකතා එකතුව පල කරන්නී මෙමා හැර ලියෝ කෙටිකතා එකතුව පල කර වසර දහසයක විරාමයකින් පසුවය. ඒ 2022 වසරේදීය.
තරංගා ගේ කෙටිකතාවන්හී දක්නට ලැබෙනා විශේෂත්වය වනුයේ ඇය කාන්තාවන්ගේ ජීවිතය සමාජ දේශපාලන සංස්කෘතික පසුබිම් තුළ තබා විචාරයට ලක් කරන්නට දරනා තැත ය. පරිභෝජනවාදයේ කරවටක් ගිලී, යල්පිනූ අදහස්හී ගැලවීගත නොහෙන ආකාරයට වෙලී, කිසිදාක හෝ අත්කරගත නොහෙනා භාණ්ඩ පසුපස දුවන්නට බල කෙරෙනා පද්ධතියක ගොදුරු බවට පත්වී, දේශපාලනය ඇතුළු බොහෝ කලාපයන්ගෙන් පිටමං කරනු ලදුව, අවමන් සහ අපහාස විඳීම සිය උරුමය කරන ලද, එරෙහිව නැගීම පාපයක් සහ වරදක් කරබාගෙන සිටීම අතුම් ගුණයක් ලෙසද වර නගමින් කාන්තාවන් දිගින් දිගටම අමතක කර දැමෙන සමාජයක තරංගා මේ ජීවීන් කෙරේ අවධානය යොමු කරයි. ඇගේ කෙටි කතා හැඟුම්බර ප්‍රකාශයන්ගෙන් බොහෝ විට තොරය. දිගු වාක්‍යයන් වෙනුවට ඇය බොහෝ විට කෙටි වාක්‍යයන් තෝරා ගනියි. වර්ණනා වෙත එළඹීම වෙනුවට ඇය තම චරිතයන් සෘජුවම පාඨකයා හමුවට කැඳවයි.
අගේ චරිත බොහෝ කොටම මධ්‍යම, පහල මධ්‍යම සහ පීඩිත පංතීනට අයත්ය. එසේම ඇය තම කෙටිකතාවන් හරහා අගනාගරික දිවියේ මෙන්ම අන්ත දුෂ්කර ගැමි කලාපයන්හිද ජීවිතය විමසයි. මේ විමසුමෙහි පොදු සාධකය වනුයේ තාක්ෂණයෙන් අනූන සේ පෙනෙනාන නගරයේ මෙන්ම පහසුකම් ඉතා අඩු යයි සැලකෙන ඈත පරිධියෙහිද කාන්තාවන් සම්බන්ධයෙන් පවත්නා තත්වයෙහි ඇති සාම්‍යයයි. සැමවිටම පිරිමි ආකල්ප තුළ තම කවුළු විවර කරන්නට හෝ වසා දමන්නට බල කෙරෙන, තමන් මත පැටවෙන් නෙක අඩයාලම් දරා සිටිමින් උතුම් මව, පතිනිය වැනි වියගස් මැද හුදෙකලා වන්නට සිදුවන කාන්තාවන් ඇගේ කතාවන්හී අපට හමුවෙයි. තමන්ගේ ජීවිතයම වදයක් බවට හරවනු ලැබ, දරුවන්ගේ ජීවිත රැකගැනීම පිණිස කවර කැපකිරීමක් වුව කිරීමට බලකෙරෙන පසුබිමක සැමියාගේ උකටලීබව නැතිනම් තමන්ගේ පාඩුවේ සිටීමේ පිලිවෙත හමුවේ බිලිවෙන්නට බලකෙරෙන කාන්තාවක ගේ දුෂ්කර හෝරාව ඇය ගෝල්ඩන් කී නම් කෙටිකතාවෙහි නිරූපණය කරනුයේ මෙලෙසිනි.
කොණ්ඩය ඉහලට කරගෙන බැඳගෙන නිශාරා කෙටි තුවාය පිටින් එළියට ආවා ය. වැරැන්ඩාවේ රෙදි රැක් එක ළඟට ගොස් රෙදි දෙපැත්ත වැනුවාය. රන ගමන් අංකල් බී අවසන් කොට තිබූ තේ බඳුන ගැනීමට නතර විය. ටීපෝව මත ඇති තේ බඳුන ගැනීමට ඇය හොඳ හැටි ඔහු ඉදිරිපිට ට නැවුණි. ඔහුගේ දෑස් දිලිසෙන හැටි ඇය දුටුවාය. වහාම ඇය නැගී සිටියේ තුවායෙහි ගැටය ලිහා දමමිනි.
කෙසේ වතුදු තරංගා සිය කෙටිකතාවන් තුළ කාන්තාවන්ගේ පීඩනය කෙරෙහි සෘජු අවධානය යොමු තරන අතරම එවන් තත්වයක් බිහිවීම කෙරේ බලපානා පසුබිම් ගැනද යොමු වන්නීය. කාන්තාවන්ට එල්ලවන පීඩනය පසුපස සිය වර්ගයාම ඉටු කරනා භූමිකාව මෙන්ම, පොදුවේ සමාජය තුළ සංසරණය වන පසුගාමී අදහස් සහ ආකල්ප කාන්තාව මෙන්ම පිරිමියාගේ ජීවිතයද ඛේදයක් බවට පත් කරන ආකාරය ඇගේ කතාවන් හරහා විමසුමට ලක් කෙරෙයි.
මේ සියළු කතා අතර රතු කොට්ටම්බා ගස් නමින් එන කෙටි කතාව විශේෂත්වයක් ගනියි. ඒ එය කාන්තාවකගේ කතාව වන අතරම අප රටේ අධ්‍යාපනයේ විසුළුසහගත බවද විදැහෙන ලෙසින් නිර්මාණය කිරීම හේතුවෙනි. තරංගා දක්ෂයන් පමණක් ඉදිරියට අරගෙන යාම පාසැල් මෙන්ම ටියුෂන් පද්ධතියේද ඒකායන අරමුණව පවතින, සිසුන් තුළ වන හැකියාවන් හඳුනා ගැනීමට අසමත් ගුරු පරපුරක් සිටින රටක සිසුවියක ගේ ජීවිත පරිවර්තනය තම නිර්මාණයට විෂය කරගන්නීය.
තරංගා යනු වේගයෙන් ලියන්නියක නොවේ. නමුදු ඇගේ සීමිත සංඛ්‍යාවක් වූ නිර්මාණ සමාජයෙහි අවධානයට ලක්වීමට වටනා නිර්මාණයන්ය. ඇය 2022 වසරේදී නිදි නැති නිම්න කෘතිය පලකරනුයේ ඇය පිළිබඳව එහෙම පිටින්ම පාහේ අමතක කර දමා ඇකි පසුබිමකය. නමුදු ඇගේ කෘතිය සාක්ෂි සපයනුයේ තරංගා යනු එසේ අමතක කර නොදැමිය යුතු නිර්මාණකාරියක බවටය.