Victor Hugo – මනුතාපයේ ගිලී (නො) ගිය මහා කවියා

Share post:

වික්තොර් ඉඋගෝ නොහොත් ඉංග්‍රීසි උච්ඡාරණයට අනුව වික්ටර් හියුගෝ ලෙසින් නම් කරන ලද මහා ෆ්‍රන්ස පෞරුෂය සිංහලෙන් සාහිත්‍ය කලාව රසවිඳින ශ්‍රී ලාංකික හදවත් තුළට ළං කෙරුණේ අයි. එම්.ආර්.අයි. ඊරියගොල්ල විසින් සංක්ෂිප්ත ලෙස පරිවර්තනය කෙරී ‘මනුතාපය’ නමින් පළ කළ හිත සසල කරවනසුලු ප්‍රබන්ද කෘතිය නිසා ය යන්න ඇත්තකි. ඊරියගොල්ලයන්ගේ සාඩම්බර සිංහලය සැබැවන් ම මනරම්වැ පැවතිණ. කෘතියක් වෙනස් බසකට නැඟීමේදී සංක්ෂිප්තකරණය කළ හැකිදැයි යන්න විවාදාපන්න මාතෘකා සපයන්නකි. නුමුත් ‘මනුතාපය’ අප හදවත් තුළ චිත්‍රණය කළ සංක්ෂිප්තකර දුක්ඛ සත්‍යය තවමත් පැරිසියේ මුඩුක්කුකර පටුමං ඔස්සේ ඇවිද යද්දී අප චිත්ත සන්තානයෙහි ධ්වනි නැගෙන බව පැවසීම යුක්ති යුක්ත වන්නේ ය. ෆ්‍රන්ස බසින් වන ඔරිජනලනය පවා ගැටවර සමයෙහි කියවනු පිණිස හින්දා පෙරා ලූ ‘ලෙ මිසෙරාබ්ල’ මුද්‍රිත ග්‍රන්ථ ෆ්‍රන්සයේ පවා තිබෙනා බැවින් කෘතියක් සංක්ෂිප්තව වරනඟන්නට හැකිදැයි යන්න සංවාදය පිණිස ම අතැර දමමි.

වික්තෝර් ඉඋගෝ මෙන් ම ඔවුන්ගේ ‘ලෙ මිසෙරාබ්ල’ දෘෂ්‍ය රූප ලෙස අප හමුවට ආවේ ඇන්තනි මිත්‍රදාස් සහ ටී.ආර්.සුන්දරම් විසින් අධ්‍යක්ෂණය කෙරී, 1956දී ලංකාවේ 38වැනි චිත්‍රපටය ලෙස මුදාහැරුණ ‘දුප්පතාගෙ දුක’ චිත්‍රපටය තුළිනි. ඒ් වනාහි දකුණු ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂ කේ.රම්නොත් 1950 දී දෙමළෙන් නිමැවූ ‘එළෛ පාඩුම් පාඩු’’ චිත්‍රපටයේ අමු සිංහල අනුවාදයක් විය. ඉක්බිති, 1957 සිරිසේන විමලවීර කළ ‘සිරකරුවා’ ද මෙම මහා ෆ්‍රන්ස වීර කාව්‍යයේ අනුවාදයක් මැ විය. ඉනික්බිති, ග්ලෙන් ජොර්ඩ්න් නම් ඇමරිකානු ටෙලිවිෂන් නිර්මාණකරුවා විසින් 1978 නිෂ්පාදන කෙරුණු ටෙලි සිනමාපටය ටයිටස් තොටවත්තයන් විසින් සිංහලෙන් හඬ කවනු ලදුව ජාතික රූපවාහිනියේ විකාශනය විය.

‘ලෙ මිසෙරාබ්ලෙ’ යනු වික්තෝරුවන්ගේ අග්‍ර කෘතිය වන්නට පිළිවන. එදාමෙදාතුර පළවුණු ලෝකයේ විශිෂ්ඨතම නවකතා ඇතුළත් කවරාකාර ලැයිස්තුවක වුව ‘ලෙ මිසෙරාබ්ල’ පවතින්නට පිළිවන. එය මහා නවකතා අතර මහා නවකතාවක් බව ඇත්තකි. එහි පඨිතය එකවර තල ගණනාවක පැතිරෙයි. මිලියන අර්ධයක් ඉක්මවා ගිය වචන කන්දරාවක් සහිත දීර්ඝතම නවකතාවන්ගෙන් එකක් වන එය 1862දී පළවන විට ඉඋගෝවුන් 60හැවිරිදි වියේ පසුවිය. කෘතිය පළවන විටත් ඔහු ජාතියේ හෘදය සාක්ෂය බඳු මහා සමාජ පෞරුෂයක් විය.

නමුත් මෙම අධිනිෂ්චය වීම නිසා වික්තෝර් ඉඋගෝ නම් නාමකායේ හිමිකරුවා ෆ්‍රන්සයේ එදාමෙදාතුර බිහිවුණු මහා කවියකු බව සැඟවී යයි. ඔහුගේ කවීත්වයේ ගමන් මඟ සලකුණු කර තබන්නට ම විසින් තීන්දු කෙරුණේ එබැවිනි.

නැගෙනහිර ෆ්‍රන්සයේ බෙසොංසොංහි (Besançon) 1802 ඉපදී වසර 60ක් සාහිත්‍යය මූලික කරගත් සමාජ-දේශපාලන ජීවිතයක් ගතකර, ජීවත්ව සිටි සමයේ ජීවත්ව සිටි සෙසු සකල බලපුළුවන්කාරයින් අභිභවාලූ අග්‍ර ෆ්‍රන්ස පෞරුෂය වෙමින් 1885 දී පැරිසියේදී සිය ශරීරකාය අත්හැර දැමුව ද තවමත් සජීවීව මානව වර්ගයා කෙරෙහි බලපවත්නා වික්තෝර්-මාරි ඉඋගෝ පුරාවෘත්තයකි.

පසුකාලීන ජීවිතයේ ෆ්‍රන්ස ඇකඩමියේ බරපතළ ම සාමාජිකයෙක් වූ ඔහු විසින් ඇකඩමිය සඳහා මුලින්ම කවියක් ඉදිරිපත් කෙරුණේ 1817දී ය. ඒ් කවිය සඳහා විශේෂ ඇගයීමක් ලැබුණු අතර කවියා තවමත් පසළොස් වියැති ගැවරයකු බව විශ්වාස කරන්නට ඇගයීම් මඩුල්ලට දුෂ්කර විය. මෙසේ කාව්‍යකරණය ඇරඹූ 19වැනි ශත වර්ෂයේ වඩා ප්‍රකටම ෆ්‍රන්සුවාගේ රොමාන්තිකවාදී සමස්ථ කාව්‍ය ව්‍යාපාරයම නිර්ව්‍යාජ හා කියවන්නා සෞන්දර්ය ප්‍රීතියෙන් අවුළුවාලන අන්දමේ කාව්‍යමය ජවයක් උද්පාද කරන්නේ වෙයි. රොමාන්තිකවාදය පි‍ළිබඳ සිංහල කියවන්නා තුළ අධිනිෂ්චයවැ ඇති සාවද්‍ය අදහස වෙනත් රචනාවක සාකච්ඡා කළ හැකි ය. අවම වශයෙන්, රොමාන්තිකවාදී සම්ප්‍රදායේ මහා බලකණුවක් වන ෆ්‍රන්ස සිත්තර ඔ්ජෙන් දෙලාකෲවා 1830 විප්ලවය සහ පොදු ජන නිදහස පදනම් කරගනිමින් ඇඳි ප්‍රකට සිත්තම හා එහි ඒන පිස්තෝල දෙකක් අතින් ගත් ගැටවරයා ‘Gavroche -ගව්රෝෂ්’ නම් ගැටවරයා ලෙස ‘ලෙ මිසර්බ්ල’ දක්වා විකාශය වන අයුරු රොමාන්තිකවාදය තුළ මෙන්ම, රොමාන්තිකවාදී කලා ව්‍යාපාරය ළෙලදුන් සමය තුළ තබා විග්‍රහ කිරීම හරහා මෙම ‘රොමාන්තිකවාදී’ සංවාදය පෙරට ගත හැකි ය.

වික්තෝර් ඉඋගෝ විසින් 1826 දී මුද්‍රණයෙන් මුදාහැරුණු ‘Odes et Ballades – ඔද් එ බලාද් ( ස්තෝත්‍ර සහ බලාද්) ඔහු කෙරෙහි සහෘද අවධානය තදින් ඇදගන්නට සමත් වූ පළමු කෘතියයි. මේ වූ කලි මූලිකවම සම්ප්‍රදායික ආගමික හා සංස්කෘතික මූලාශ්‍ර විදාරණය කරමින් සමාජගතවූවකි. එහි එන කවි තුනක් ඊට පෙර සාහිත්‍යය වෙනුවෙන්ම කැපවුණ යාන්ත්‍රණයක් සහිතව තිබි ‘තුලූස් ඇකඩමියේ’ (Académie des Jeux floraux de Toulouse) ඇගයීමට පාත්‍රව ඇකඩමිය මඟින් පළකළ සාමුහික කාව්‍ය කෘතියට ඇතුළත්ව තිබීම නිසා, පාඨක ප්‍රජාව උන්නේ ඉඋගෝගේ කාව්‍යත්වය පිළිබඳ දැනුවත්ව ය. 1818දී වික්තෝර් විසින් ගොතන ලදැයි සැළකෙන ඔහුගේ පළමු කවිය ද මෙම කෘතියෙහි අන්තර්ගත ය. නමුත් ඊට පෙර 1822 සහ සහ 24දී කෘති දෙකක් ඔහු විසින් ජනගත කෙරී තිබිණ‍. ඒ් පිළිවෙලින් ‘Odes et poésies diverses – ඔද් එ පොඑසී දිවෙර්ස්’ (ස්තෝත්‍ර සහ වෛවාරන්න කවි) සහ ‘Nouvelles Odes – නුවෙල් ඔද්’ (අලුත් ස්තෝත්‍ර) යන කෘති දෙකයි.

අටසිය විසිනමය සහ හතළහ අතරේ ඔහුගේ කාව්‍යමය දීප්තිය ෆ්‍රන්සය පුරා ම ළෙලෙන්නට පටන් ගති. 1829දී පළ කළ ‘Les Orientales -ලෙසොරියෙන්තාල්’ (පෙරදිග කවි) මුළුමනින්ම පාහේ ඔටෝමාන් ආධිපත්‍යයෙන් මිදී නිදහස අත්පත් කරගනු පිණිස 1821දී සිදුවූ ග්‍රීක විප්ලවයෙන් ලත් අනුප්‍රාණය මත ලියැවුණු කාව්‍ය සමුච්ඡයකි. අතීත ග්‍රීක විශ්වය, සමකාලීන ලෝකය සමඟ ඈදාලමින් ලියැවුණු මෙම කෘතිය තුළ තාරුණ්‍යයට අවතීර්ණව සිටි ඉඋගෝවුන්ගේ දේශපාලන ආස්ථානය පැහැදිලිව මතුවෙමින් තිබෙනු පෙනේ. දේශපාලනයේ නිදහස, කලාවේ නිදහස මෙන්ම ජීවත්වීමේ නිදහස ඔහු කවිවලින් අවධාරණය කරයි.‍

‘ජූලි රාජාණ්ඩු සමය’ ලෙස ප්‍රචලිත 1830 ජූලි විප්ලවයේ සිට 1848 විප්ලවය දක්වා වූ කාල වකාවානුවේ, ඉඋගෝ අතිශය සක්‍රීයම ‌ෆ්‍රන්ස කවියා විය. මෙම අවධියෙන් පසු එළැඹුණු ඔහුගේ 20වසරක පිටුවහල් දිවියට ‌පෙර ඔහු අතින් කාව්‍ය සමුච්ච හතරක්ම එළිදැක්විණ. ඒ් කාව්‍ය කෘති හරහා ඔහු සමස්ත සමාජයේම කේන්‍ද්‍රීය කවියා බවට නිතැතින්ම පත්විය.

1831 දී පළකළ ‘Les Feuilles d’automne – ලෙ ෆොයි දෝතන්’ ( සිසිර පත්‍ර) අතිශය වේගයෙන් ජනාදරය පාත්‍ර විය. එහි වන ළෙංගතු ස්වරය මෙන්ම හෘදයාංගමභාවය නිසා වන්නට පිළිවන. ඉන්පසු 1835 දී පළ කළ ‘Les Chants du crépuscule ‘ – ලෙ ෂොන්ත් දු ක්‍රෙප්සික්‍යුල්’ (ගොම්මං ගී) වඩාත් ලංවන්නේ සමකාලීන දේශපාලන අද්දැකීම් පාදක කරගත් ප්‍රවණතාමය ලක්ෂණ කැටි කර ගත් කෘතියකට ය.

1837 දී ‘Les Voix intérieures – ලෙ ව්වා අංතේරියේ’ (ඇතුළාන්ත හඬ) වඩා පෞද්ගලික ආත්මීයභාවය ගැබ් කර ගත් කෘතියක් වන්නා සේම එය වඩා දාර්ශනික වන්නේ ද වෙයි. අටසිය හතළිහේ එළිදැක්වූ ‘Les Rayons et les ombres – ලෙ රෙයියොං එ ලෙසොම්බ්ර’ ( හිරුරැස් සහ සෙවැණැල්) තේමාත්මක වශයෙන් සම්මිශ්‍රිත කෘතියකි. මේ වන විට ඔහු අත්‍යන්තයෙන්ම යුගයේ ‘රුව්දෙන උස්හඬ’ බවට පත්වැ තිබිණ.

1853 සහ 56 පළකළ ‘Les Châtiments – ලෙ ෂතිමො (දඬුවම) සහ ‘Les Contemplations – ලෙ කොංතොම්ප්ලස්යොං’ (සමපේක්ෂණය) බඳු කාව්‍ය කෘතීන් හරහා අවසාන යුගයේ අඛන්ඩව ලියැවුණු සුවිශාල වීර කාව්‍යාවලිය වන ‘La Légende des Siècles – ලා ලෙජොං දෙ සියෙක්ල’ (යුග පුරුෂයා) වන විට පවා ඔහුගේ කවි අන්තර්ගත කර ගත් දේශපාලන සහ දාර්ශනික ප්‍රශ්න හැමවිටම සමකාලීන යුගයේ ආගමික ආතතියෙහි මෙන්ම සමාජ නොසන්සුනභාවයෙහි සංකලිතවැ තිබිණ. අතැම් විට ඔහුගේ භාවිතය විරුද්ධාභාෂීදැයි කුකුස් පවා පැනනැඟේ. කෘතියක එක් කවියක් කම්කරුවන්ගේ අතිශය දුක්ඛිතභාවය නිරූපනය කරනා විට තවත් කවියක් යාච්ඤාවේ ආනුභාවය ළෙලවන්නට වෙයි. නමුත් කෙස් වුව අවසානයේ මේ සෑම සියලු කවියක්ම සනාතන මානව ගැටළු ම ධ්වනි නංවන්නට වෙයි.

කවි ලියමින් සිදුකරන සමාජ මැදිහත්වීම ප්‍රමාණවතක් නොවේයැයි හැඟුණු මේ මහා කවියා ක්‍රමයෙන් සක්‍රිය දේශපාලනය ප්‍රවිශ්ඨ විය. ක්‍රමයෙන් විකාශනය වූ ඔහුගේ දේශපාලන ජීවිතය පැරීසි බල ප්‍රදේශය නියෝජනය කරමින් ‘එසෙම්බ්ලි නැෂනාල්’ හෙවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරය‍ෙක් ලෙස තේරී පත්වීම දක්වා ගමන් කළ අතර ඔහු රජයේ තීන්දු සමඟ හැප්පුණු බලපෑම්සහගත පෞරුෂයක් ද විය. පාර්ලිමේන්තුවාදය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාද පිළිබඳ ඔහුගේ අදහස් වෙනම කතා කළ යුතු ඉතිහාසයකි. කෙසේවතුදු මේ බලවත් මහා කාව්‍ය පෞරුෂය දේශපාලන පොර පිටියේ හෑල්ලුවට ලක්වනු දැකීමට අකමැති සාහිත්‍ය කලාකරුවෝ අතැම්විට සිය නොකැමත්ත සෘජුව හෝ වක්‍රව කතා කරනන්ට වූහ. ගුස්ටාව් ෆ්ලොබෙයා පසුව කෘතියක්ව පළවුණු ඔහුගේ ‘Le Dictionnaire des idées reçues – ලු දික්ෂොනේයර් දෙ අයිදී රොස්‍යූ’ රචනා මාලාවේ එක් රචනාවක ‘මොන ලැජ්ජාවක්ද, මහා කවියා දේශපාලනයට පිවිසිලා’ යනුවෙන් ලියයි. මෙවන් විවේචන ඉඋගෝවුන්ගේ ජීවිතය පුරාම තිබේ. රොමෑන්තිකවාදී ඉඋගෝගෙන් කාව්‍යමය අනුප්‍රාණය ලත් නූතනවාදී ෆ්‍රන්ස කවියේ පූරෝගාමී මැදිහත්වීමක් කළ ෂල් බෝදෙලෙයා පසුකාලීනව ඔහුගේ දරුණු විවේචකයකු විය. බෝදෙලෙයාගේ දරුණුතම නූතනවාදී කාව්‍ය මැදිහත්වීම වූ ‘ Les Fleurs du mal – ලෙ ෆලර් දු මල් ‘ (යක්ෂයාගේ මල්) හි කවි තුනක්ම පුද කර ඇත්තේ ඉඋගෝවුනට ය.

එවන් වූ බෝදෙලෙයා පසුකලෙක සිය මිත්‍රයකුට ලියූ ලියුමක ඉඋගෝ ගැන පවසන්නේ මෙබන්දකි. ‘’වික්තෝර් ඉඋගෝ මට දිගින් දිගටම තකතීරු ලියුම් එවනවා. මේ ලියුම් මාව ප්‍රකෝප කරවනවා. මේ අමන බව සහතික කරන්න මං රචනාවක් ලියන්න ඉන්නෙ, ශ්‍රේෂ්ටයො කොහොමත් අමනයො කියලා’’
හැමවිටම එසේ නොවේ. ඉඋගෝවුන් පිළිබඳ වෙනත් බොහෝ කතා ද ඇත.

ශ්‍රේෂ්ටතම ෆ්‍රන්ස කවියා කවරෙක්ද යන්න වරක් ෆ්‍රන්ස නවකතාකාර ඔන්ද්‍රෙ ජීද්ගෙන් ( André Gide) විමසණු ලැබුණු මොහොතක ඔහු කිසිඳු පැකිලීමකින් තොරව කීයේ, ඒ් අන්කිසිවකුත් නොව වික්තෝර් ඉඋගෝ බව යි.

1947 නො‌බෙල් සාහිත්‍ය ත්‍යාගය පවා දිනූ ඔන්ද්‍රෙ ජීද් යනු සමාජය කෙරෙහි බව පවත්නා බරපතළ උස් හ‌ඬෙකි. එ බැවින් ම එ වඩා අවධානයට පාත්‍ර විය. ඔන්ද්‍රෙ ජීද් විසින් මෙහිදී යොදා ගැනුණේ එක්වරම අවබෝධයට පාත්‍ර නොවනාකාරයේ යෙදුමකි.
‘‘Victor Hugo, Hélas !’’ – ‘‘වික්තෝරිඋගෝ ඉලාස්’’’

ඒ් පිළිතුර පිණිස ඔන්ද්‍රේ ජීද් යෙදූ යෙදුමයි. ‘ඉලාස් යන්නෙන් වරනැඟෙන්නේ ‘අහෝ!’ වැනි අර්ථයකි. ඒ් අනුව ‘අහෝ! ඒ් වික්තෝර් ඉඋගෝ’’ වැන්නක් කියැවෙයි. වඩාත් සරළව සහ වඩාත් පැහැදිලිව කියනවා නම් ‘අවාසනාවට, ඒ් වික්තෝර් ඉඋගෝ’’ යන්න යි. ජීද් විසින් සිදුකෙරුණේ පුරෝගාමී මේ මහා කවියා අවඥාව ලක්කිරීමක් ද? උලහාසයට හෝ අපහාසයට ලක්කිරීමක් ද?
නැත.

ඔන්ද්‍රේ ජීද්, ෆ්‍රන්ස මහා කවියාගේ කවීත්වය මෙන්ම ඔහුගේ භාෂා ලාවන්‍යය සමස්ථ සාහිත්‍යයට බලපෑ ආකරය විදාරණය කරමින් ලියූ අතිශය සංදිග්ධ ලියවිල්ලක් ‘’ඉඋගෝ, ඉලාස්’’ නමින් ම, ජිද්ගේ මරණයෙන් අඩසියවසකටත් පසුව, එනම් 2002 වසර තරම් පසුකලෙක පිටු 32ක තරම් පුස්තිකාවක්ව පළකෙරුණි. ඒ් ඔන්ද්‍රෙ ජීද්ගේ සාහිත්‍යය පිළිබඳ විශේෂඥකු වන ක්ලෝද් මර්තං ගේ (Claude Martin) ප්‍රස්තාවනාවක් ද සහිතව ය. ජීද්, සිය තිස්වස් ජීවන සමයේදී දෙවතාවක් ද, ජීවිතයේ අවසාන සමයේ යළි වතාවක් ද වික්තෝර් ඉඋගෝ පිළිබඳ දක්වන ලද මෙකී බරපතළ ‘එනිග්මැතික ප්‍රකාශමානවීම’ අසම්පූර්ණව, නො නිමිව මෙන් ම, අප්‍රකාශිතව පැවතුණි ද, ෆ්‍රන්ස මහා කිවියර ඉඋගෝවුන් පිළිබඳ බිඳලිය නොහැකි යථාර්ථයක් ගොනුකරගෙන සිටියි.
මෙකී ජීදියානු ප්‍රවාදය තවදුරටත් විදාරණය කරන්නේ නම්, ජීද් කීයේ සමස්ථ ෆ්‍රන්ස සාහිත්‍යයේම, සංඛේත විසුල භාෂා හැඩ රටා සහ භාෂාකෘති සහ ව්‍යුහයන් කෙළ පැමිණි සාහිත්‍ය විශාරදයා, චිත්තරූප මැවුම්කාරයා සහ භාෂා ප්‍රකම්පකයා, ඉඋගෝවුන් බව ය.

ෆ්‍රන්ස ඇකඩමියේ ප්‍රධානියා සේම ලේඛකයකු මෙන්ම චින්තකයකු ලෙස සැළකෙන ෂොන් ද’ඔර්මෙසොන් (Jean d’Ormesson) මෙම ගැටළුවට මැදිහත් වූයේ මෙලෙස ය.

‘ඉඋගෝ අග්‍ර කවියකු බව ඇත්තකි. නමුත් ‘’ෆ්‍රන්සයේ ශ්‍රේෂ්ටතම කවියා කවරෙක්ද?’’ යන ප්‍රශ්නයට ඔන්ද්‍රේ ජීද් දුන් පිළිතුර වූයේ ‘’අවාසනාවට, ඒ් වික්තෝර් ඉඋගෝ’’ යන්න යි. මෙහි ‘අවාසනාව’’ කුමක් ද? ඉඋගෝවුන්ගේ සාරයෙහි වන ව්‍යක්තභාවය සහ සශ්‍රීකභාවය විසින් වෙනත් යමක් අතිශය ප්‍රබල ලෙස නැඟී සිටියි. සියලු සාහිත්‍යාංග, අනුශාංග අතරින්, මෙකී ‘වෙනත් යම’විජයග්‍රාහී ළෙලැවීම් පාමින් සුපැහැදිලිව මෙන් ම සුප්‍රකව නැඟී සිටින්නේ වෙයි. එ නම් එකවිට රමනීය වීරකාව්‍යයක් බඳු ඉතිහාසමය නවකතා ප්‍රබන්දයක් වන අතරේම, සමස්ථ මානව ප්‍රජාවටම අදාල බරපතළ ම සහ රිද්දනසුළු සමාජ මැදිහත්වීමක් අඩංගුව ලෙස උසුලාගත්තෙන්, සදානුස්මරණීය වූ ‘ලෙ මිසෙරාබ්ලෙ’ කෘතියයි. ඉතිහාසය විසින් ගොඩනැඟුණු මානව අර්බුදයන් සේම මානව සෞන්දර්යයන් සියල්ල එකවිට එකමිටට හකුළා පෙන්වන්නට ඉඋගෝවුන් මෙහිදී සමත්වැ තිබේ. අන් කිසිම නවකතාවක් මෙතරම් ම ගැඹුරු, මෙතරම් චිරස්ථායි චරිත ගණනාවක් එකවිට සම්පාදනය කරන්නේ නැත. මෙකී සියලු චරිත ගොඩනැංවීම විසින් මූලාකෘතිකවැ මෙන්ම සංඛේතියව, නිරූපිත යුගයේ ‘සාමුහික මතකය’ ස්ථාපනය කෙරෙන්නේ වෙයි. ඉඋගෝ නම් මහා කවියා යටපත් කරගෙන නැඟී සිටින්නේ මෙකී කෘතියයි. ජීද්ගේ ප්‍රකාශයේ උත්ප්‍රාසය වන්නේ ඉඋගෝ මහා නවකතාකරුවා වන අතරම මහා කවියා ද වන බවයි.

වොල්ටර් බෙන්ජමින් නම් ජුදා-ජරුමානු චින්තකයා ‘ෆ්‍රන්සයේ ශ්‍රේෂ්ටතම සමකාලීන ජීවමාන කවියා ලෙස හැඳින්වූ ෆ්‍රන්ස කිවියර ලෙඔන්-පොල් ෆාග් (Léon-Paul Fargue) වික්තෝර් ඉඋගෝ ගැන පැවසූයේ ‘’ ඉඋගො යනු අපේ වෘත්තීමයභාවයේ ගෞරවයයි’’ යනුවෙනි. ‘කාව්‍යකරණය නම් වෘත්තීමභාවය’ තවමත් අඛන්ඩව ෆ්‍රන්සය වැනි සමාජ සංස්කෘතික වපසරි තුළ පවතින බව සඳහන් කළ මනා ය. එය වෙනම සාකච්ඡා කළ යුතු මැයෙකි.

තරුණ වියේ පටන්ම මිත්‍රයකු වූ ෆ්‍රන්ස කිවියර තෙයෝෆිල් ගුතියේ වික්තෝරුවන්ගේ කවීත්වය හැඳින්වූයේ ‘’මහා රූස්ස වෘක්ෂයක්’ මෙනි. ‘තෙයෝෆිල් ගුතියේ’ නාමය ශීර්ෂය ලෙස ගෙන මෙම මිත්‍ර කවියාගේ ජීවන සමුගැනීම වෙනුවෙන් වික්තෝර් ඉඋගෝ ලියූ උත්තම කවිය, කවීන් අතර වන අන්‍යෙන්‍ය මිත්‍රත්වය-සහෝදරත්වය-බන්ධූත්වය පිළිබඳ කැඩපතක් වැනි දීර්ඝ කවියකි.

එවන් දීර්ඝ කවියක් නොවන ‘ Demain, dès l’aube – දොමා දෙ ලෝබ්’ (හෙට අලුයම) යනු මෙම මහා කවියාගේ කප්පරක් කවි අතර සකලවිධ ෆ්‍රන්ස වැසියන් වනපොත් කර දන්නා අතිශය ප්‍රකටම කවිය යි. තමන්ගේ දියණිය සේන් ගඟේ බෝට්ටු අනතුරකින් මියයාමෙන් ප්‍රකම්පිතව සිටියදී ලියවුණකි. ඒ් ගැන ලිවීම පසු දිනකට තබා කවිය අරභයා වූ ඉඋගෝවුන්ගේ බරපතළ උපුටනයකට එළඹෙමි. ඔහු මෙසේ කියයි.
‘’ආත්මය යුක්තිය උසුලා‌ගෙන සිටින්නා සේ කාව්‍යය උසුලා‌ගෙන සිටිනේනේ දාර්ශනිකභාවයයි.’’

අවසාන වශයෙන් මෙසේ ලියමි. පොදු ජනතාව සහ ඇකඩමික ප්‍රජාව අතර එක ලෙස සම්භාවනාවට පාත්‍ර වූ මහා ෆ්‍රන්ස ලියන්නෙකු හා මහා කවියකු වේ නම් ඒ වික්තෝර් ඉඋගෝ ය.

මංජුල වෙඩිවර්ධන (fb)

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...