රතුපස්වල තීන්දුවට එරෙහිව අභියාචනය කරන්නැයි තරුණ ජනමාධ්‍යවේදීහු නීතිපතිගෙන් ඉල්ලති !

Share post:

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් වැලිවේරියේ උද්ඝෝෂණය කළ නිරායුධ සාමකාමී උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් වන රතුපස්වල නඩුවේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය සාක්ෂි වසන් කරමින් සිදු කළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස ඉල්ලමින් හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්ට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පැමිණිලි කළ බවත්, විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැවරූ පසු කරුණු ගණනාවක් අනාවරණය වූ බවත් එම සංගමය පෙන්වා දෙයි.

ඉතා සාමකාමී විරෝධතාව අසලට පොලු‍ කඩා ගනිමින් එවකට බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් හමුදා කණ්ඩායම පැමිණීමත්, ඉන් අනතුරුව සාමකාමී උද්ඝෝෂකයන්ට විසිර යන ලෙස අණකිරීමත්, විසිර යෑමට මිනිත්තු කිහිපයක් ඉල්ලා සිටියදී බි්‍රගේඩියර්ගේ නියමයෙන් පහරදීම සහ වෙඩි තැබීමත්, පැය 03ක් පමණ යනතුරු පහරදීම සහ වෙඩි තැබීම සිදුවීමත්, පල්ලියට පැන පියතුමන්ලා ඇතුළු පිරිසට පහරදී වෙඩි තැබීමත් ගැන සාක්ෂි ගණනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනයේදී අනාවරණය වූ බව එම සංගමය යොමු කළ ලිපියේ සඳහන් වේ.

එසේම දීර්ඝ කාලයක් වෙඩි තබද්දී බ්‍රිගේඩියර් දේශප්‍රිය වෙඩි පාලන අණක් නිකුත් කර නැති බව යුද හමුදා මූලික පරීක්ෂණ උසාවි ද වාර්තා ගත කර තිබූ බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අවධාරණය කරයි.

ඒ අනුව මේ සඳහා යුක්තිය ඉටු කිරීමට ත්‍රිපුද්ගල, මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

එම සංගමය යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

සංජේ රාජරත්නම් මහතා,

නීතිපති,

නීතිපති දෙපාර්තමේන්තුව.

නීතිපතිතුමනි,

රතුපස්වල තීන්දුවට එරෙහිව අභියාචනා කරන ලෙස ඉල්ලා සිටීම

ගම්පහ රතුපස්වල ජල ගැටලු‍ව සම්බන්ධයෙන් බැලු‍ම්හර සහ වැලිවේරියේ පැවැති විරෝධතාවලදී පහරදී සහ වෙඩි තබා තිදෙනකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වන නඩුවෙන් චූදිත මේජර් ජනරාල් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු පිරිස නිදොස්කොට කොට නිදහස් කරනු ලැබිණි.

රතුපස්වල සිදුවීම යනු උතුරේ සිවිල් යුද්ධයෙන් පසු සාමකාමී විරෝධතාවයකට මිලිටරිය යොදාගනිමින් කළ ම්ලේච්ඡතම ප්‍රහාරය වේ.

එම සිදුවීම වූ 2013 අගෝස්තු පළමු වැනිදා සිට මේ වන තෙක් ඊට යුක්තිය ඉටු කර දීම වෙනුවෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ. මීට අදාල විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් කුමන්ත්‍රණකාරී ලෙස සාක්කි යටපත් කරමින් සිදු කරද්දී එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දෙන ලෙස ඉල්ලමින් 2015 පෙබරවාරි 06 වැනිදා ක්‍ෂඊ සස 332/19 අංකයෙන් අපි පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළෙමු.

ඉන් පසු විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර කෙරුණු අතර එම විමර්ශනයේදී විශාල පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගැණිනි. අවසානයේ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පැවරූ නඩුවේදී සාක්කිකරුවෝ 205 දෙනෙක් නම් කරනු ලැබූහ.

ඉතාම සාමකාමී විරෝධතාවය අසලට පොලු‍ කඩා ගනිමින් දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් යුත් හමුදා කණ්ඩායම පැමිණීමත්, ඉන් අනතුරුව සාමකාමී උද්ඝෝෂකයන්ට විසිර යන ලෙස අන කිරීමත්, විසිර යෑමට මිනිත්තු කිහිපයක් ඉල්ලා සිටියදී බි්‍රගේඩියර්ගේ නියමයෙන් පහරදීම සහ වෙඩි තැබීමත්, පැය තුනක් පමණ යනතුරු පහරදීම සහ වෙඩි තැබීම සිදුවීමත්, පල්ලියට පැන පියතුමන්ලා ඇතුළු පිරිසට පහරදී වෙඩි තැබීමත් ගැන සාක්කි ගණනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනයේදී අනාවරණය විය.

එසේම දීර්ඝ කාලයක් වෙඩි තබද්දී බි්‍රගේඩියර් දේශප්‍රිය වෙඩි පාලන අනක් නිකුත් කර නැති බව යුද හමුදා මූලික පරීක්ෂණ උසාවි ද වාර්තා ගත කර තිබිණි.

එවැනි තත්ත්වයක් තුල සාමකාමී විරෝධතාවයට පහරදී වෙඩි තැබූ සහ ඊට අනුබල දුන් පිරිස නීතියෙන් ගැලවීම බරපතල තත්ත්වයක් වන අතර එය ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ගැන වින්දිතයන් සහ සමස්ත පුරවැසියන් ගැටලු‍කාරී තත්ත්වයට පත් කිරීමකි.

එසේ හෙයින් රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් පසුගිය 17 වැනිදා ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන ලෙස වින්දිතයන් වෙනුවෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,

තරිඳු ජයවර්ධන,

සභාපති,

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය.

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...