තමන්ට අනන්‍ය මගක, අනන්‍යතා ගුණයක රැඳෙමින් , සෙමෙන් එහෙත් ගැඹුරින් , බරට අඩි තබමින් ලේඛනයෙහි , ලිවීමෙහි නිරත ගැහැනුන් අපට ඇත්තේ , අතලොස්සකැයි කියතොත් එය අතිශයෝක්ති ප්‍රකාශයක් නොවන බව අපගේ වැටහීම ය. නවකතාව ,කෙටිකතාව කවිය මේ ආදී ඕනෑම සාහිත්‍යාංගයකට එය වලංගු ය. මේ කියමන හා එකඟවීමකට නොහැකි යැයි කිසිවෙකුට හෝ හැඟෙන්නේ නම්, මේ මොහොතේ සිට, දශක හතරක , පහක දුරක් කාලයේ මග දිග , නැවත පසුපසට ගොස් , ඒ ඒ මංසන්ධි තුළ සෙමෙන් නැවතී බලා , මේ කාරණාව පිළිබඳව නැවත ඉවසීමෙන් සිතා බැලිය හැකි ය.
එහිදී , ලියන , කියන බොහෝ ස්ත්‍රී චරිත අපට හමුවිය හැකි වුවද, ඉන් අති බහුතරය තමන්ගේම සෙවණැල්ලට, වැසී ගිය ක්ෂුද්‍ර ශරීර කිහිපයක් පමණක් වීම නොවැළැක්විය හැකි වන්නට, හොඳටම ඉඩ තිබේ.
මීට විසිහතර වසරකට පෙර සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහයත් ,විසි දෙවසරකට පෙර සිය ප්‍රථම කෙටිකතා සංග්‍රහයත් පළකරන ,තරංගා රණසිංහ ,එවිට අප ස්ථානගත කළ යුත්තේ කොතැනක ද?
මේ ‘බරට’ ලියන්නිය අපට මග හැරී ගියේ ඇයි?
වෙරෝනිකා දැන් මටත් පිස්සු (2002) මෙමා හැර ලියෝ (2008) ඇගේ ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රහ දෙකෙන් පසුව ,නැතිනම් අවසන් කෙටිකතා එකතුවෙන් දහහතර වසරකට පසුව ,මේ “නිදි නැති නිම්නය ” නිකුත් වන්නේ 2022 වර්ෂයේ දී ය.අප දැන් මේ කුඩා සිහිකැඳවීමේ සටහන ලියන්නේ 2024 දීය.කෙටිකතා ලියන්නියක් සේම ඈ ,කිවිඳියක බව ද අප අමතක නොකළ යුතු ය.
අවම වශයෙන් ,ඇගේ සමස්ත නිර්මාණ කාර්‍ය්යේ දෘෂ්ටිමය ,කියැවීම පිළිබඳව හෝ සැලකියයුතු අවධානයක් නොලැබීමේ හේතුව කවරේද?
ඇගේ අකුරු අග ඇත්තේ ,සමස්ත ස්ත්‍රී ජීවන ඛේදවාචකයේ සදාකාලික රිදුම නිසා ද? නැතිනම් ගැහැනුන් ගැනම ලියන ගැහැනුන්ට පහසුවෙන් පෙරවිය හැකි “ස්ත්‍රීවාදීනී” කම්බිලියෙන් ,ඇයවත් වහා වසා දැමිය යුතු යැයි ,සාහිත්‍යාධිපති , කිසියම් ‘දේව මණ්ඩලයක්’ විසින් යම් නිශ්චිත තීන්දුවකට එළැඹ සිටින නිසා ද??
මොනිකා රුවන් පතිරණ , ඊවා රණවීර වැනි දෙටු කිවිඳියන් , ලියන්නියන් ගේ පිළිම නෙළා , පුදන , වඳින සාහිත්‍ය බැතිමත්හු ,(කිසිසේත්ම එය වරදක් බව මින් ගම්‍ය නොකෙරේ.) ඒ පරපුරෙන් පසු ලියන්නියන් පිළිබඳව සාවදාන වන කෙම්මුර දිනය ,උදාවනතුරු , තව කොතෙක් නම් කාලයක් බලා සිටිය යුතු ද?
මෙය චෝදනාවක නොව , වේඳනාවක සටහනකි .
තරංගා ,ඔබ අත නොහැර ලිවිය යුතුම ය. ඒ සෙවණැල්ල වෙනුවට ,ඔබේ නිහඬ නිර්මාණකාය විශාල බැවිණි.
අනුරාධා නිල්මිණි
‘නිදි නැති නිම්නය’
තරංගා රණසිංහ .
ප්‍රථම මුද්‍රණය -2022
ප්‍රකාශනය – ගොඩගේ ප්‍රකාශන.
මිල – 350/