බරපතළ අපරාධයක් සඳහා ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය තුළ නඩු පැවරිය යුත්තේ මහාධිකරණයේ ය. එය සිදුකරන්නේ නීතිපතිවරයා විසිනි. අදාළ අපරාධය පිළිබඳ විමර්ශන අවසන් වීමෙන් පසු ඊට අදාළ ලිපිගොනුව පොලිසියෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකරනු ලබයි. ඉන්පසු එහි ඇති සියලු කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු, එම ලිපිගොනුවේ අඩුපාඩු ඇත්නම්, තවදුරටත් විමර්ශනය කළ යුතු ස්ථාන පෙන්වාදෙමින් නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියට උපදෙස් ලබාදෙයි. ඒ සියලු අඩුපාඩු සකස් කිරීමෙන් පසුව ය, නීතිපති දෙපාර්තමේන්තුව අදාළ අපරාධය සම්බන්ධයෙන් මහාධිකරණයේ අධිචෝදනා ගොනුකරනු ලබන්නේ.
එම අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කළ පසු පැමිණිල්ල මෙහෙයවනු ලබන්නේ නීතිපතිවරයාගේ නියෝජිතයෙකි. එනම් යම් අවස්ථාවක මා වින්දිතයකු නම්, මා වෙනුවෙන් යම් නඩු කටයුත්තක් සිදුවන්නේ නම්, මට අවශ්‍ය නීතිඥවරයා ඒ සඳහා ඉදිරිපත් කරවීමේ අයිතියක් මට නැත. එම වගකීම නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තමන්ගේ අතට ගෙන ඉටුකරනු ලබයි. එම නිසා මෙවැනි අවස්ථාවක නීතිපති දෙපාර්තමේන්තුව සතු වගකීම අතිශය සංකීර්ණ මෙන්ම බරපතළ ය. වින්දිතයාට තමන්ගේ පැමිණිල්ල තමන්ට අවශ්‍ය නීතිඥවරයකු මාර්ගයෙන් විසඳාගැනීමට ඉඩ නොදී, ඒ කාර්යභාරය තමන් අතට ගැනීමෙන් පසු, එය විශිෂ්ඨ ආකාරයෙන් ඉටුකිරීමේ පරම වගකීමක් නීතිපති දෙපාර්තමේන්තුව සතු වේ.
රතුපස්වල නඩු තීන්දුවට අදාළ ව සංවාදයට ලක්වී ඇත්තේ මෙයයි. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව පැමිණිල්ල පාර්ශ්වය නියෝජනය කළේය. එහෙත් විත්ති පාර්ශ්වයට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සමත් වී නැති බව නඩුවට අදාළ තීන්දුවේ දැක්වෙන බව මාධ්‍ය වාර්තා කර තිබිණි. රතුපස්වල නඩුවට සම්බන්ධ වූ ඇතැම් ක්‍රියාකාරීන් පෙන්වා දී තිබුණේ මීට අත්‍යවශ්‍ය සාක්ෂිකරුවන් පවා කැඳවීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු නොකළ බවකි.
නීතිපති දෙපාර්තමේන්තුවෙන් අධිචෝදනා පත්‍රයක් යැවීමේ තීරණය ගනු ලබන්නේ එක් පුද්ගලයකු නොවේ. යම් අවස්ථාවක අධිචෝදනා පත්‍රයක් ඉල්ලා අස්කරගැනීමේ තීරණයක් ගන්නේ නම්, එය ද කනිව ගනු ලබන තීරණයක් නොවේ. උදාහරණයක් ලෙස ආන්දෝලනයට තුඩු දුන් කොළඹ ආශ්‍රිත ව පදිංචිව සිටි තරුණයන් එකොළොස්දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුවේ චූදිතයකු ලෙස නම් කොට අධිචෝදනා බාර දුන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ චෝදනා ඉවත් කර ගැනීම පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම එවැනි නඩුවකදී සාමාන්‍ය නඩුවකටත් වඩා විශේෂ කරුණු සලකා බලා තීන්දුවක් ගැනීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීමක් වේ.
පොලිසිය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත එවන ලද විමර්ශන වාර්තා සියල්ල මුලින්ම යොමුකරනු ලබන්නේ රජයේ අධිනීතිඥවරයකු වෙත ය. එම වාර්තා අධ්‍යයනය කොට ඔහු හෝ ඇය හෝ විසින් තම ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. ජ්‍යෙෂ්ඨ නිලධාරියාට එම වාර්තාව සමග එකඟ විය හැකි නම්, ඔහුට හෝ ඇයට හෝ විත්තියට අධිචෝදනා බාරදීමේ තීන්දුව ගත හැකිය. නමුත් අධිචෝදනා බාරදිය නොහැකි තත්ත්වයක් ඇතැයි වාර්තාව අධ්‍යයනයෙන් පසු ජ්‍යෙෂ්ඨ නිලධාරියා තීරණය කළහොත්, එවැනි අවස්ථාවකදී සියලු ලේඛන අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු වෙත යොමුකරනු ලබයි. විශේෂ නඩුවලදී මේ ක්‍රියාවලිය තවත් සංකීර්ණ වේ. ඇතැම් විට එවැනි නඩුවක් නීතිපතිවරයා වෙත යෑමේ වැඩි ඉඩක් ද පවතී.
මෙමගින් පැහැදිලි කිරීමට උත්සාහ කළේ නීතිපති දෙපාර්තමේන්තුව ගන්නා තීන්දුවක් තනි තීන්දුවක් නොවන බවයි. නීතිපතිවරයාගේ නියෝජිතයෙක් අත්සන් කොට අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනු ලබන්නේ බැලූ-බැල්මට ඔහු හෝ ඇය විත්තිකරුවකු කිරීමට ප්‍රමාණවත් සාධක ඇත්නම් පමණි. එම නිසා එසේ ඉදිරිපත් වූ රතුපස්වල වැනි නඩුවකදී අවශ්‍ය සාක්ෂිකරුවන් ගෙන්වූයේ නැති බවට චෝදනාවක් ඉදිරිපත් වීම පුළුල් ව සලකා බැලිය යුතු තත්ත්වයකි. අනෙක් අතට වසන්ත කරන්නාගොඩ වැනි සිද්ධියකදී අධිචෝදනා ඉවත් කරගැනීමක් ගැන ද ගැඹුරින් සලකා බැලිය යුතුය.
මෙහි තවත් පැත්තක් තිබේ. මේ ආකාරයට ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රයක් වුවද, ඉවත් කරග ගැනීමට නීතිපතිවරයාට හැකිය. එහෙත් ඊට ඉතා ශක්තිමත් හේතු තිබිය යුතුය. අධිචෝදනා බාරදීමක් මෙන්ම ඉවත් කරගැනීමක් සම්බන්ධයෙන් ද තීරණය ගත යුත්තේ නිලධාරීන් කිහිපදෙනෙක්. ඇතැම් විටෙක නීතිපතිවරයා විසින් ය.
උදාහරණයක් ලෙස මෙවැනි අවස්ථාවක් දැක්විය හැකිය. මහේස්ත්‍රාත් අධිකරණයක සාක්ෂියක් මෙහෙයවා නැති, කටඋත්තරයක් පමණක් ලබාදී ඇති අවස්ථාවක, එම සාක්ෂිකරු මියගොස් නම්, එම සාක්ෂිය නොමැතිව අදාළ චෝදනාව ඉදිරියට ගෙනයෑමේ හැකියාවක් නැත්නම්, එවැනි අවස්ථාවක චෝදනා ඉවත් කර ගත හැකිය. එයින් නඩුව වෙනතක ගිය ද කරන්නට දෙයක් නැත. නමුත් එවැනි සාධාරණ හේතුවක් නොමැතිව මෙවැනි කටයුතු සිදුවන්නේ නම්, නීතිපති දෙපාර්තමේන්තුව පුළුල් ව තම වගකීම සම්බන්ධයෙන් නැවත වරක් සිතාබැලිය යුතු බව අවධාරණය කිරීමට සිදු වේ.
ඒ වගේ ම මෙවැනි අවස්ථාවකදී අධිකරණයට ද බරපතළ වගකීමක් තිබේ. අධිචෝදනා පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් කළ පසු එය තිබෙන්නේ අධිකරණය බාරයේ ය. එහි ඇති කරුණු සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරනු ලබන කරුණු සලකා බලා, එවැනි අධිචෝදනා ඉවත් කරගැනීමක් සාධාරණ ද, අසාධාරණ ද යන්න පිළිබඳව අධිකරණය ද ගැඹුරින් සලකා බැලිය යුතුය.
පසුගිය 17දා ගම්පහ මහාධිකරණයේදී තීරණාත්මක නඩු තීන්දුවක් ලබාදුන්නේය. ඒ, බීමට පිරිසිදු ජලය ඉල්ලූ ගම්පහ, රතුපස්වල නිරායුධ ජනතාවට වෙඩිතැබීමේ සහ එම වෙඩිතැබීමෙන් තිදෙනකු මියයෑමට අදාළ නඩුවේ තීන්දුවයි. එහිදී පැමිණිල්ල මෙහෙයවූ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබබ්ට ඔප්පු කර නැති බව අධිකරණ තීන්දුවේ දැක්වේ.
වැලිවේරියට එල්ල වූ යුද හමුදා ප්‍රහාරයෙන් ජීවිත 03ක් රටට අහිමි විය. ඛේදජනක කාරණය වන්නේ ඉන් දෙදෙනෙකු ම උසස් පෙළ හදාරමින් සිටි පාසල් දරුවන් වීමයි. 17 හැවිරිදි කේ.ඒ. ඩී. අකිල දිනේෂ් ඝාතනයට ලක් වූ එක් දරුවෙකි. ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ගම්පහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.පී.ඒ. හේවගේ සඳහන් කර තිබුණේ මරණයට හේතුව ගිනි අවියකින් නිකුත් වූ උණ්ඩයකින් පපු ප්‍රදේශයට හා උදරයට සිදුවූ හානි බවයි. එච්.එස්. රවිෂාන් පෙරේරා ද පාසල් සිසුවෙකි. කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් නිගමනය කර තිබුණේ රයිෆල් ගනයේ ගිනිඅවියකින් දුර සිට සිදු කළ වෙඩි තැබීමක් නිසා මේ මරණය සිදුවී ඇති බවයි. 29 හැවිරිදි නිලන්ත පුෂ්පකුමාරගේ පශ්චාත් මරණ පරීක්ෂණය 2013 අගෝස්තු 05දා පස්වරු 1.30ට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි ශ්‍රියන්ත අමරරත්න සිදු කර ඇත. වෛද්‍ය නිගමනය අනුව නිලන්තගේ මරණය සිදු වී තිබුණේ මොට අයුධයකින් හිසට පහරදීමෙන් ය. නිලන්ත පුෂ්පකුමාර ගම්පොළ තරුණයෙකි. රාත්‍රී වැඩ මුරය සඳහා රැකියාවට යන අතරතුරේදී වැලිවේරිය දේවස්ථාන භූමියේදී පහර කෑමට ලක්වූ නිලන්ත මිය ගියේ දින 03ක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ය.
දීපා අධිකාරි, චානුක කුලසේකර, අජිත් මදුරප්පෙරුම, ගයාන් මධුසංඛ, උපාලි රණවීර, සුනිල් සිරිලංකා, බෙනට්, ප්‍රේමලාල්, තරිඳූ ජයවර්ධන ඇතුළු මාධ්‍යවේදීහු රැසක් ද ප්‍රහාරයට කොටුවූහ. චානුකට සහ දීපා අධිකාරිට තුවාල සිදුවිය. සිද්ධිය ගැන දීර්ඝ ප්‍රකාශයක් මානව හිමිකම් කොමිසමට ලබා දුන් දීපා අධිකාරිට මහාධිකරණයේ සාක්කි දීම සඳහා කැඳවීමක් ලැබුණේ නැත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි රවී සෙනෙවිරත්න, නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල යන දෙදෙනාගේ අධීක්ෂණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි හිටපු සහකාර පොලිස් අධිකාරී වත්මන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.එස්. තිසේරාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති රංජිත් මුණසිංහ සහ එහි පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර යන නිලධාරීහු ඇතුළු පිරිසක් මේ පිළිබඳ විමර්ශන සිදු කළහ. විමර්ශනවලින් පසු බි්‍රගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු යුද හමුදා නිලධාරීහු හතර දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණි. විශේෂත්වය වන්නේ යුද හමුදාව විසින් කළ පරීක්ෂණයකින් ද බි්‍රගේඩියර්වරයා වැරදිකරු කර තිබීමයි. එම වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
සියලු සාක්ෂි සහ විමර්ශන වාර්තා සලකා බැලූ නීතිපතිවරයාගේ ඉල්ලීමක් මත අගවිනිසුරුවරයා විසින් මේ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කළ අතර, එම විනිසුරු මඩුල්ල ඉදිරියේ වසර 02කට වැඩි කාලයක් පුරා නඩුව විභාග විය. මේ නඩුවේදී වරින්වර නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු මෙහෙයවන්නා වෙනස් විය. අවසානයේ නඩුවේ සාක්ෂි මෙහෙයවූයේ අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා ය. නඩුවේ තීන්දුවෙන් චූදිතයන් සියල්ල නිදොස් කොට නිදහස් කෙරිණි.
- ශාලික විමලසේන