මහීෂ්, ලෝක කුසලානය සහ ඉන්දියාව

Share post:

ඊයේ දිනයේ තෝරාගත් ඉන්දියානු වෙබ් අඩවි කිහිපයකම ප්‍රධාන මාතෘකාව වූයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක්.
ඔහු මහීෂ් තීක්ෂණ.
මහීෂ් චෙන්නායි කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියානු ප්‍රීමියර් ලීගයට සහභාගී වුණා.
කෙසේ වෙතත් චෙන්නායි කණ්ඩායමේ IPL ගමන දැන් අවසන්.
තරගාවලියේ තීරණාත්මක බැංගලෝර් සමග තරගයෙන් චෙන්නායි කණ්ඩායම පරාජය වුණා.
ඒ සමගම චෙන්නායි කණ්ඩායමේ IPL ගමන ද නිමා වුණා.
මහීෂ් තීක්ෂණ ඉන්දීය මාධ්‍යයේ සිරස්තලයක් වී තිබුණේ ඉන්පසුවයි. ඒ ඔහුගේ දක්ෂතාවයක් සම්බන්ධව නම් නොවෙයි.
මහීෂ් තීක්ෂණගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳවයි.
ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
ප්‍රථමයෙන් එතරම් ජනප්‍රිය නොවන වෙබ් අඩවියක මේ පුවත පළ කර තිබුණා.
ඉන්පසුව ක්‍රමක්‍රමයෙන් බලවත් හා ජනප්‍රිය ඉන්දීය ක්‍රීඩා සහ පුවත් වෙබ් අඩවි මේ පුවත වාර්තා කළා.
ඉන්පසුව ඔවුන් එය ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍යය වලටත් ගෙන ආවා.
මහීෂ් ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත වන බවට පුවත ක්‍රමයෙන් ඔවුන් ඊයේ ක්‍රිකට් ලෝකයේම ඇස ගිය පුවතක් බවට පත් කළා.
‘මිස්ට්‍රි’ පන්දු යවන්නෙකු ලෙස නම් දරා සිටින මහීෂ් ට පහසුවෙන්ම මේ චෝදනාව එල්ල කළ හැකියි.
රවිචන්ද්‍රන් අශ්වින් හැරුනුකොට මේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යැවූ ලොව සෙසු සෑම දඟ පන්දු යවන්නෙකුටම පාහේ මේ චෝදනාව එල්ල වුණා.
මෙය ප්‍රථමයෙන් මාධ්‍යයෙන් එල්ල කිරීම අහම්බයක් විය නොහැකියි.
ICC තරගයක දී යම් විනිසුරුවරයෙකු විසින් මේ චෝදනාව එල්ල කිරීමට පෙරමග සැකසීමට, මාධ්‍ය ඔස්සේ ප්‍රථමයෙන් මේ පුවත සාමාන්‍යකරණය කරවීම සූක්ෂම උපායක් විය හැකියි.
ඉන්දීය මාධ්‍ය විසින් පළ කළ මේ පුවතෙන් පසුව, තරගයක දී මහීෂ් ට මේ චෝදනාව එල්ල වූ පසුව ඊට එරෙහිව නැගෙන ප්‍රතිරෝධය දැන් විශාල වශයෙන් සමනය වී තිබෙනවා.
මන්ද එවැන්නක් සිදුවුවහොත් තවදුරටත් එය අලුත් පුවතක් නොවන නිසා.
ඇතැම් විටෙක මේ පුවත පසුපස සැඟවුණු අරමුණ එය විය හැකියි.
කෙසේවෙතත් ඉන්දීය මාධ්‍ය එක්වරම සිදු කරනා මේ චෝදනාව පසුපස අපැහැදිලි තැන් කිහිපයක් තිබෙනවා.
මහීෂ් තීක්ෂණ වසර ගණනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළා. වසර කිහිපයක් IPL ක්‍රීඩා කළා.
නමුත් වෙනත් කිසිවෙකු හෝ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ප්‍රශ්න කර නැහැ.
මේ වසරේ පවා මහීෂ් මාසයකට ආසන්න කාලයක් IPL ක්‍රීඩා කළා.
එනමුත් ඉන්දීය මාධ්‍ය මේ චෝදනාව එල්ල කරන්නේ ඔහු අවසන් IPL තරගය ද ක්‍රීඩා කළ පසුවයි.
ඒ ඇයි ?
මෙතරම් බරපතල චෝදනාවක් සිදු කිරීමට ඔවුන් IPL තරගාවලිය අවසන් වනතුරුම කල්ගැනීම සැකසහිතයි.
IPL තරගාවලියෙන් පසුව ආරම්භ වෙන්නේ ලෝක කුසලානය.
ලෝක කුසලානය අත ලඟ තිබිය දී මහීෂ් ට එල්ල වන චෝදනාවේ යටි අරමුණක් නැතැයි කිවනොහැකියි.
මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සුලුවෙන් තැකිය නොහැකියි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා පන්දු බලඇණිය ලෝක මට්ටමේ එකක්. මහීෂ් එහි වැදගත් පුරුකක්.
ඉන්දීය මාධ්‍ය මේ සිදු කරන චෝදනාව නිල චෝදනාවක් නොවෙයි.
නමුත් එමගින් මහීෂ්ට මානසිකව සිදුවන හානිය විශාලයි.
ක්‍රිකට් යනු මනස සහ ආත්ම විශ්වාසය දක්ෂතා මත සෘජුව බැදී පවතින ක්‍රීඩාවක්.
මෙවැනි එක් චෝදනාවකින් ක්‍රීඩකයෙකුගේ ස්වාභාවික ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම බිඳ දැමිය හැකියි.
එවැනි චෝදනාවක් මනසට කා වැදී බියට පත් වූ පසු ක්‍රීඩකයා පන්දු යැවීමට වඩා පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ වද වීම සාමාන්‍යයි.
එය ඔහුගේ සාමාන්‍ය ක්‍රීඩාවම බිඳ දැමිය හැකියි.
විශේෂයෙන්ම ලෝක කුසලානයක් අභියස සිදු කරන එවැනි චෝදනාවක් පුද්ගලිකව එම ක්‍රීඩකයාට මෙන්ම රටටත් විශාල හානියක්.
ඉන්දීය මාධ්‍ය මහීෂ්ට සිදු කරන මෙම චෝදනාව, එදා ඕස්ට්‍රේලියාව මුරලිට සිදු කළ චෝදනා සහ ඇටවූ උගුල් වලින් වෙනස් නොවෙන්නේ ඒකයි.
මේ මොහොතේ මහීෂ් ගේ සහ ශ්‍රී ලංකාවේ භූමිකාව විය යුත්තේ මේ චෝදනාව සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමයි.
මෙය හුදෙක්ම යටි අරමුණක් සහිතව ඇටවූ උගුලක්.
එය නොසලකා, එයින් දිරිමත් වීම ඊට ලබා දිය හැකි හොඳම පිළිතුරයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

2024.05. 20

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...