සිංහල කවියේ ‘සේකර’ සලකුණ කවරෙකුට වුව ද පහසුවෙන් තැකිය හැක්කක් නොවේ. මහගම සේකරයන් කවියෙක්, ගී පද රචකයෙක්, චිත්‍ර ශිල්පියෙක්, නවකතා කරුවෙක්, කෙටිකතා කරුවෙක්, නාට්‍ය රචකයෙක් මෙන් ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ද වූ බැව් අපි දනිමු. නිසඳැස් කවිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් සිදු කළ අප කවියා ‘සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ’ මැයෙන් ලියූ පර්යේෂණ ග්‍රන්ථය ශාස්ත්‍රිය ග්‍රන්ථයක් ලෙස සම්භාවනාවට පාත්‍ර වූවකි. ඔහු විසින් රචිත ව්‍යංගා (කේ. ජයතිලක සමඟ) – (1960) ,සක්වා ලිහිණී – (1962), හෙට ඉරක් පායයි – (1963), මක්නිසාද යත් – (1964), රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත – (1967), බෝඩිම – (1970), නොමියෙමි – (1973), ප්‍රබුද්ධ – (1977) කාව්‍ය කෘති අදටත් කවිීන්ට ගුරු වූ පොත් ලෙස සැලකේ. එම කෘති විචාරකයන්ට ද ‘මිණි මුතු’ සේ වූ බැව් පැවසීම යුක්ති යුක්ත ය. අදටත් එතුමාගේ පද්‍ය රචනා නවක කවීන් පොළඹවන සුළු නිර්මාණ ලෙස ගෞරවයට පාත්‍ර වේ. ඔහුගේ ජීවන දැක්ම ඇතැම්විටෙක සේකර නම් කවියා සහ මිනිසා තුළ සිටි මහා දාර්ශනිකයා පිළිබිඹු කරයි. ඔහු ජිවත්ව සිටි කෙටි කාලය තුළ සිංහල කවිය වෙනුවෙන් සිදු කළ මෙහෙය චිරාත් කාලයක් නොනැසී පවතිනු ඇත.
කෙසේ වෙතත් මහගමසේකර කවියා සෘජුව ම පෙනී සිටියේ නිසඳැස් කවිය වෙනුවෙනි. කවියෙහි ඡන්දස ‘තිරිසන් රසයක්’ ලෙස කුමාරතුංග මුනිදාසයන් විසින් වරෙක හැඳින්වූ උපුටනයක් දක්වමින් ඔහු සිය ලිපියක ඒ පිළිබඳ සඳහන් කොට තිබුණි. එසේවතුදු සඳැස් ආකෘතීන්ට අනුව ඔහු ලියූ කවි ද අප පාසල් පෙළපොත්වලින් පවා වරෙක රස විඳිමු.
“ වෘත්තය කවියා ගේ නිදහස සීමා කරයි. කවියාට සිදුවන්නේ නියමිත දිග පළල ඇති රාමුවක් ඇතුළත සිරවී සිට ගෙන ස්වකීය නිර්මාණ කිරීමටය. ඊටත් වඩා වෘත්ත අනුප‍්‍රාස ආදිය, පැණි රස ලාමක බවක් කවියට ආරූඪ කරයි. කවියේ නිර්ව්‍යාජ නිරහංකාර කමට බාදා කරයි.මුනිදාස කුමාරතුංග කීවාක් මෙන් ඒ වූකලී තිරිසනුන්ට පවා රස විඳිය හැකි ලාභ බොළඳ රසයකි.”
– මහගම සේකර
සේකරයන් විසින් 1970 දී රචිත බෝඩිම කෘතියෙන් ‘මාර යුද්ධය’ පැදි පෙළ උපුටා ගෙන තිබේ. ඔහු ස්වකීය සාහිත්‍ය තුළ උපරි ම විවෘත වූවෙකි. ආගමික වේවා සාමාජයීය වේවා වෙනත් තේමාවක් වේවා තමාට අවැසි තේමාව සහ වස්තු විෂය තෝරා ගැනීමේ දී කවියා කිසිදු සීමා මායිමකට යටත් වූවෙක් නොවේ. කවියෙක් තුළ සැබවින් ම තිබිය යුතු නිර්ව්‍යාජත්වය, සෘජු බව, මෘදු බව, මනුෂ්‍යත්වය, මේ සියල්ල කැටිකොටගත් නිර්මාණකරුවෙකි මහගම සේකර. ‘මාර යුද්දයෙහි’ තේමාව බවට පත්වන්නේ ‘ජීවිතය පිළිබඳ ව කළකිරී වනයේ තවුස්දම් පුරන්නට නික්ම ගිය පුද්ගලයෙකුට ස්වකීය ප්‍රියාවිය පිළිබඳ මතකය යළි යළිත් සහිපත්වීම තුළ එම ආධ්‍යාත්මික තත්ත්වය ළඟාකර ගැනීමට බාධා පැමිණීම යි’. බෞද්ධ දර්ශනය තුළ අප ඉගෙන ගන්නා රාගය, ද්වශෙය සහ මෝහය මූලික ව අපට ඇති කරන බාධාවෙන් මිදීම කිසිසේත් ම පහසු කටයුත්තක් නොවන බැව් අපි දනිමු. නමුත් එයින් ජයග්‍රහණය කරන්නේ ද මිනිසා ම බැව් අපි දනිමු.
“අහස පොළොව ඉර හඳ තරු
ගං හෝ දිය නදී කඳුරු
මලින් පිපුණු ගන වනතුරු
ඔබ මා වෙත කෙරෙයි නුදුරු
ඔබෙන් දුරුව සිටිනා මට
තදින් දැනෙයි ඔබේ ගුණය
එතෙක් දවස් මා තුළ වූ
කලකිරීම
යසෝදරා කුමාරියනි
දැන සිටියේ ඔබ පමණ ය.
එයින් මිදෙන මඟක් සොයා
මා නිබද ව
සිතිවිල්ලෙන් හිඳිනා සඳ
ඔබ මා වෙත දයා සිතින්
සැනසිලි බස්
කී සැටි මට සිහිපත් වෙයි
එකල මසිත උකටලියට
පිළියම ඔබ පමණක් විය
හිමත් ගිමත් වසත් කලට
සැප සම්පත් පිරි විමාන
ගැයුම් වැයුම්
ගඳ විලවුන්
කසී පලස්
සුවඳ බොජුන්
වර අඟනන් පිරුණු ඇතොර
රජ ගෙය පිරි රාජ ඉසුර
අලස අමන කාම දිවිය
නොයා!
සිද්ධත් කුමාර,
පාළ වෙයි සත් රුවන් සත් දිනෙන්
දෙදහසක් කොදිව්වෙන්
සතර මහ දිවයිනෙන්
සැදුම් ලත් සක්වළෙහි
එක් රජ යි.
පහසුවෙන්
මම එ-හැම අත්හළෙමි.
එහෙත් ඔබ ගැන මතක
දැනුදු මා සිත පෙළයි.
සුවහසක් තරු පිරුණු රාත්‍රියැ
නිල් අහස් වියන් යට
තනි ව මා බවුන් දම් පුරන කල
සුවහසක් සිත් රැගෙන ඔබගෙ රුව
ඉපදී-ඉපදී කෙණෙහි දැවී යයි.
ඔබ ගතෙහි මුදු මෙලෙක
ඊට වැඩි බලවත් ව
ඔබ සිතෙහි මුදු මෙලෙක
මා පෙළයි.
එය මකාලනු පිණිස
තව තවත් දුක් දෙමින් කය පෙළමි.
වැසි සුළං බර රැයෙහි
එළිමහන් රුක් මුල්හි
සිරුර හිරිගඩු නැඟෙන සිහිතලෙන්
නොපිළිසන් සිරුරැති ව කල් යවමි
දහදියෙන් ලුණු පිපෙන
ධූලි වැකි ගත කොරල ඉරි තැළෙන
ගිනියමෙහි
දිව ගිලෙන පිපාසා නොසිඳවා
දැඩි තවුස් දම් පුරමි.
නහර වැල් ඉලිප්පී
කටු ගැසුණු පොතු සිරුර
වරින් වර හාමතින් ඇද හැලෙයි
ක්ලාන්ත ව.
නිලංකාර ව දෙඇස
දෙකන් ගැබ බිහිරි වෙයි.
හිස් කබල පුපුරුවා
විසන්ධි ව යෙයි සන්ධි.
හික්මවා සිත
පසක් කරනුව ඇත්ත
ඉවසා එ-හැම
දිවා රෑ වෙර දරමි.
එහෙත් ඔබ ගැන මතක
මොහොතකින්
ඒ සියලු වෙර බිඳැර
පැන නැඟී
අවුල් කරවයි මසිත්.
මහගම සේකර (බෝඩිම 1970)
මේ කථකයා සිටිනුයේ වනාන්තරයේ ය. ඔහු අවට තිබෙන්නේ ඔහු අවටින් දකින්නේ ඔහු අසන්නේ ඒ පරිසරයේ සුන්දරත්වය යි. ඒ සෑම සුන්දර යැයි සිතිය හැකි දෙයක ම ඔහු දකින්නේ ඇය යි. ප්‍රේමවන්තයින් යුවලකට සොබා සුන්දරත්වය යනු ප්‍රේමනීය හැඟුම් පුබුදුවන ආහ්ලාදජනක වටිනාකමකි. වියෝගයක සිටින පෙම්වතකුට ඒ සුන්දරත්වය ස්වකීය අතීතය සිහිපත් කරන්නට කදිම මෙවලමකි. උත්ප්‍රේරකයකි. ඔවුනොවුන් ලොවෙන් මෑත් ව සැරි සැරූ වැව්, නදී කදුරු, වන මල් පිපුණු ගන වනාන්තරය අතිත සිහිවටන පිරි තැන් ය. ඔහු වනයට පැමිණිය ද ඒ සියල්ල දකී. ඔහු ද ඇත. නමුත් ඇය නැත. ඉර හඳ තරු දෙස බලමින් ඔවුනොවුන් පෙමින් වෙළී සිටි අතීත මතක යළි යළිත් සිහි කරනුයේ ඔහුගේ ඉලක්කයට දුර තව තවත් වැඩි කරමිනි.
අහස පොළොව ඉර හඳ තරු
ගං හෝ දිය නදී කඳුරු
මලින් පිපුණු ගන වනතුරු
ඔබ මා වෙත කෙරෙයි නුදුරු
ඔහු සියල්ල අතැර පැමිණිය ද අතහැරීම යනු පහසු කටයුත්තක් නම් නොවේ. ඇතැම්විට කෙනෙකුට භෞතික සියල්ල අතැර දැමීමට හිත හදාගත හැකි ය. ඒ සියල්ල පරයා මනුෂ්‍ය මනසකට මනුෂ්‍ය සබඳතා අතැර දැමීම කිසිසේත් ම එවන් පහසු කටයුත්තක් නම් නොවේ. විශේෂයෙන් ම තමා දැඩි සේ ප්‍රේම කළ ප්‍රියාවියගේ ඇසුර, ප්‍රේමය ලෙහෙසියෙන් පහසුවෙන් සැබෑ පෙම්වතෙකු කෙසේ නම් අමතක කර දමන්න ද? ඔවුනොවුනගේ උකටලී සිත් සනසාලනුයේ ඔවුනොවුන් විසිනි. ඇදවැටීම්, අනේක දුක්ඛ දෝමනස්සයන් බෙදා හදාගන්නේ ද ඔවුනොවුන් විසිනි. සදාතනික සතුට සොයා යන මිනිසකුගේ සිත පවා එසේ අතීතය විසින් පාරවන්නට නොහැකි ද? සිද්ධාර්ථ කුමරුන්ට පවා එසේ සිතෙන්නට ඇතැ යි අප කවියා සිතයි. ඔහු ද හුදෙක් ම එක් මනුෂ්‍ය ප්‍රේමවන්තයෙකි. එවන් ප්‍රේමවන්තයෙක් තුළ සාමාන්‍ය මිනිස් හැඟුම් ඇතිවීම පිළිබඳ අපට ද සැකයක් නූපදී. කිසිවිටෙකත් රසිකයාගේ විශ්වාසය පලුදු නොකර ගැනීමට අප කවියා පරෙස්සම් වෙයි. ගෙහසිත ප්‍රේමයක එකිනෙකා තුළ පවතින අවබෝධය අතිශයින් ම වැදගත් සාධකයක් ලෙස අපි හඳුනාගෙන ඇත්තෙමු. මේ යුවල ද එවන් අවබෝධයක සිටි යුවලක් බැව් කවියා අපට පෙන්වයි. එනිසා ම එකිනෙකාගේ සිත් හඳුනා, සනහා ඔවුහු ජීවත් වූ සේ ය. මේ කථකයා සිද්ධත් කුමරු බැව් කවියා ම පෙන්වා දෙයි. කුමරිය ද ‘යශෝධරා’ නමෙන් ම අමතන්නට ඔහු පැකිලී නැති සේ ය. උත්තරීතර බුද්ධත්වය ලැබීමට පෙර සිද්ධාර්ථ කුමරුන් ද සාමාන්‍ය සමාජයේ සිටි මිනිසෙකි. ඔහු තවමත් සත්‍ය සොයා යන්නෙකි.
ඔබෙන් දුරුව සිටිනා මට
තදින් දැනෙයි ඔබේ ගුණය
එතෙක් දවස් මා තුළ වූ
කලකිරීම
යසෝදරා කුමාරියනි
දැන සිටියේ ඔබ පමණ ය.
එයින් මිදෙන මඟක් සොයා
මා නිබද ව
සිතිවිල්ලෙන් හිඳිනා සඳ
ඔබ මා වෙත දයා සිතින්
සැනසිලි බස්
කී සැටි මට සිහිපත් වෙයි
එකල මසිත උකටලියට
පිළියම ඔබ පමණක් විය
අප කවියා මෙහි දී කථකයාගේ මුවගට නඟන්නේ ම සිද්ධාර්ථ කුමරාගෙන් පිට වියහැකි යැ යි රසිකයාට හැඟෙන වදන් ය. මෙහි සිටින්නේ සිද්ධාර්ථ ම බැව් පාඨකයාට හඟවන්නට සිදුහත් කුමරුට හිමත්, ගිමත්, වසත් කාලයන් වෙනුවෙන් සුදොවුන් රජු විසින් සාදා දුන් මාලිග තුන ‘රම්‍ය සුරමය සුබ’ සිහිපත් කරවයි. ඒ සියල්ලෙහි විසුල රාජ සිරිය, සැප සම්පත් සියල්ල, ඒ ඒ තැන ඉදිකළ ඒ ඒ විමාන, ගැයුම් මෙන් ම වැයුම්, ඇතැවුරු සොඳුරියන් සහ කාමභෝගී ජීවිතය ඔහුගේ මුවින් ම පාඨකයාට කියවයි. සතරපෙර නිමිති දකින්නට පෙර සුදොවුන් රජු විසින් තවුසන්ගේ උපදෙස් පරිදි කිඹුල්වත්පුර සියලු මහල්ලන්, දුගියන්, මළකඳන් කුමරු යනෙන මාර්ගයන් වෙතින් ඉවත් කරන්නට පවා උපදෙස් දුන් බැව් අපි කියවා ඇත්තෙමු. එහෙත් අවසන සියල්ල නිරර්ථක ව්‍යායාමයන් බවට පත් කරමින් සිදුහත්කුමරු ගිහිගෙය හැර යන්නට තීරණය කළේ ය. මෙහි නම් කථකයා තමන්ගේ අබිනික්මනට පෙර ස්වකීය ප්‍රියාවියට ඒ බැව් කියා අවබෝධ කරවීමට තැත් කළ සෙයකි. එසේ තැත්කළ නිසා ම යශෝධරාව මෙසේ කියන්නට ඇත්තී ය.
නොයා!
සිද්ධත් කුමාර,
පාළ වෙයි සත් රුවන් සත් දිනෙන්
දෙදහසක් කොදිව්වෙන්
සතර මහ දිවයිනෙන්
සැදුම් ලත් සක්වළෙහි
එක් රජ යි.
මෙම කථකයා ස්වකීය ආධ්‍යාත්මය සමඟ සටනකට අවතීර්ණ වී ඇත්තේ ය. එය කිසිසේත් ම අතහැර දමන සටනක් නොවන බැව් පැහැදිලි ය. ඔහු බවුන් වඩද්දී අතරින් පතර සිහපත්වන්නේ ම ඇය ව ය. ඇගේ ස්පර්ශය, ඇය සමඟ විඳි අතීත කාම දිවිය ආදිය සිහිපත් කරන කථකයා, මේ සියල්ල පරයා යළි යළිත් සිහිපත්වන ඇගේ සිතෙහි මුදු මෙලෙක ඔහු මනස අවුල් කරවයි. නොනවතින උත්සාහයක නිරත ඔහු මේ සියල්ල කෙමෙන් අමතක කරන්නට අදිටන් කර ගනියි. ඒ අතරතුර අතීත මතක යළි යළි ත් ඉපදෙයි. සිද්ධාර්ථ චරිතයේ ද දස මරසෙන් පරදා ජය ලබන්නේ උන්වහන්සේගේ බුද්ධි මහිමය නිසාවෙනි. නොසැලෙන උත්සාහය නිසා ය. යශෝධරාව පිළිබඳ මතකය ඔහුගේ දෑස් ඉදිරිපිට මැවෙමින් බොඳ වෙමින් පවතියි. එය සම්පූර්ණයෙන් ම නවත්වා ගැනීමට ඔහු සමත් වී නොමැත. ඔහුට මාරසෙන් ලෙස දැඩි ව දැනෙන්නේ ඇගේ ආධ්‍යාත්මික ගුණය යි. එකී අධ්‍යාත්මික ප්‍රේමය සහ ගුණය භාවනාව අතරින් ඉපිද මිය යයි. සැබෑ ප්‍රේමීන් අතර පවතින ආධ්‍යාත්මික බැඳීමෙහි ශක්තිය මතු කිරීමට කවියාට අවැසි වී ඇති සේ ය. නේරංජනා නදී තීරය අති සුන්දර නදී තීරයකි. හුදෙකලාවට එය කදිම ය. එහෙත් මේ හුදෙකලාව ඔහුට වද දෙන්නේ නම්, ඒ අන්කිසිවක් නිසා නොව ස්වකීය ප්‍රියාවගේ අභ්‍යාන්තරික ගුණධර්මයන් සිහිපත්වීම නිසා ය. දැහැන් ගතවන සිත තව මොහොතකින් ඇගේ මතකයෙන් පෑරෙයි. ඔහු වරෙක ඉන් පීඩාවට පත් වෙයි. නමුත් මේ මාර යුද්ධය ඔහු සිදු කළ යුතු ය. ඒ ඔහුගේ නොනවතින අධිෂ්ඨානයේ ඵලය විය යුතු බැව් ස්ථිරව ම සිතාගෙන සිටින බැවිනි.
ඔහුට මේ මාර යුද්ධය ජය ගැනීමට ස්ථිරව ම උවමනා ය. එනිසා ම මේ මතකයන්ගේ රිදවීමෙන් මිදෙන්නට ඔහු සොයන්නේ ශරීරයට දුක් දීමේ පිළිවෙත යි. එය කෙසේ හෝ කළ යුතු බැවින් ඔහු සය අවුරුදු දුෂ්කර ක්‍රියාව තෝරා ගනියි. මේ සියලු වේදනාවන් දුරු කිරීමට ඔහු සිය කය පෙළයි. බුදුන්වහන්සේ විසින් ම වරෙක ජානුස්සෝනි බ්‍රාහ්මණයා අරබයා සිය දුෂ්කර ක්‍රියාව පිළිබඳව මෙසේ දෙසූහ.
“මගේ තවත් දුෂ්කර ක්‍රියාවක් තමයි ආහාරවේල ගැන නොතකා ක්‍රියා කිරීම. දින ගණන් ආහාර නොගෙන භාවනා කරනව. එය මට මහත් අමාරුවක් වුණා. පස්සේ මං පවත්ත ඵලභෝජී ජීවිතයක් එනම් බිමට වැටුණ පලතුරක් වැනි දෙයක් ඇහිඳගෙන අනුභව කරමින් සති ගණන් කුසගින්නේ ඉඳීමෙන් භාවනා කළා.
පසුව ඒ ක්‍රමයත් අත්හැර දමල මා වාඩිවී සිටින තැනින් අතදිග හරිනා හරියේ ඵලයක් තිබුණොත් පමණක් අහර වශයෙන් ගනිමින් ආහාර සීමාකොට භාවනාවේ යෙදුණා. මෙමගින් මා කෙලෙස් තැවීමට හුරුවුණා. ඉතින් මේ වගේ ක්‍රියා නිසා මගේ සිරුර ඉතා වෙහෙසටත් පීඩාවටත් පත්වුණා. නමුත් මගේ සිත නොසෙල්වී තියා ගත්තා.”
තවත් වරෙක සච්චක බමුණාට මෙසේ දේශනා කළහ.
“…මම මුඛයෙන්ද නැහැයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වාතය යටපත් කොට භාවනාවේ යෙදෙමි. එවිට මගේ දෙකන් සිදුරෙන් වාතය පිටවෙයි. කම්මල් මයිනහමේ හුළං වගේ එතකොට ශබ්ද නගා හුළං කන්දෙකෙන් පිටවෙනව.
මේ වෙලාවට මගේ හිස තියුණු බුරුමයකින් විදින්නාක් වගේ මට දැනෙනවා.”
එතරම් ම දුෂ්කර ක්‍රියාවක් මෙහි සිදුවන බැව් කවියා අපට පෙන්වා දෙයි. ඔහු භාවිත කරන වදන්වල එම භාවික ගුණය රැඳී තිබේ. මෙතෙක් රසිකයාව රැගෙන ගිය ඒ අතීත මතකය පිළිබඳ හැඟීමෙන් කෙමෙන් ජුගුප්සාජනක හැඟීමක් කරා රැගෙන යන්නේ අපට නොදැනුවත් ව ය. ඒ සිදුහත්ගේ සිරුර වැහැරෙන ආකාරය අප ඉදිරියේ සිතුවම් කරන ආකාරයෙනි. මේ අතිශය බිහිසුණු අවස්ථාව චිත්‍රණය කරන්නට යොදාගන්නා භාෂාව අප කවියාගේ භාෂාවේ බුහුටිබවට දෙස් දෙයි. මේ දුෂ්කරක්‍රියාවේ දුෂ්කරබව අපට දැනෙන්නට සලස්වයි. යමක් දෑසින් දකිනවාට වඩා වැඩි හැඟීමක් කියැවීමෙන් ලබාදීමට කවියා දක්වන දක්ෂතාව පැසසුම් කටයුතු ය.
එය මකාලනු පිණිස
තව තවත් දුක් දෙමින් කය පෙළමි.
වැසි සුළං බර රැයෙහි
එළිමහන් රුක් මුල්හි
සිරුර හිරිගඩු නැඟෙන සිහිතලෙන්
නොපිළිසන් සිරුරැති ව කල් යවමි
දහදියෙන් ලුණු පිපෙන
ධූලි වැකි ගත කොරල ඉරි තැළෙන
ගිනියමෙහි
දිව ගිලෙන පිපාසා නොසිඳවා
දැඩි තවුස් දම් පුරමි
බුදුන්වහන්සේ මේ දුෂකරක්‍රියාව නිසා උන්වහන්සේට සිදු වූ දේ තවදුරටත් සච්චක බමුණාට පැවසූයේ මෙසේ ය.
“ශරීරය අතින් පිරිමදිනා විට කුණු වූ මුල් ඇති ලෝම ගස් ගැලවී යනවා. කෙසකිළි වැසිකිළි කිරීමේදී මුළු ශරීරයම වියළී හැකිළී ගොස් තිබුණු නිසා එම අවස්ථාවල මා දුක් උපදවා සිහි මුර්ඡාවි වැටී තිබෙනවා…” බුදුන්වහන්සේගේ වදන්වලින් ම පැවසුණා යැ යි සඳහන් එවන් වදන්වල තිබෙන හැඟීම ඉතා ම සරල භාෂාවක් භාවිත කරමින් නමුත් ස්වකීය ඒකාබද්ධතාවට කිසිදු හානියක් නොකරගනිමින් සුලු වචන කිහිපයකින් රසිකයා තුළ ජනනය කරන්නට කවියා සමත් ය. අප කවියාගේ භාෂාව ජන විඥානයේ භාෂාව යි. ජන විඥානයට ඇමතීම කවියක් තුළ සිදු කරන්නට සේකර තරම් සමතෙක් නොමැති තරම් ය. නූතනයේ එවැන්නක් කළේ රත්න ශ්‍රී විජේසිංහයන් ය. කවියෙකු ජන විඥානයට කතා කරන තරමට එය වැළඳ ගැනීමට ද ජනතාව සූදානම් ය. නූතන කවියාට සේකරයන්ගෙන් ලැබෙන කදිම පාඩමකි එය.
නහර වැල් ඉලිප්පී
කටු ගැසුණු පොතු සිරුර
වරින් වර හාමතින් ඇද හැලෙයි
ක්ලාන්ත ව.
නිලංකාර ව දෙඇස
දෙකන් ගැබ බිහිරි වෙයි.
හිස් කබල පුපුරුවා
විසන්ධි ව යෙයි සන්ධි.
මේ සියල්ල ඉදිරියේ කථකයා ස්වකීය උත්සාහය අත්හැරීමට සූදානම් නැත. මේ දුෂ්කර ක්‍රියාව ඉවසන්නට ඔහු සූදානම් ය. සදාතනික සත්‍යයක් සොයා යන ගමනක් කවර වූ බාධක පැමිණිය ද ජය ගත යුතු ම ය. සියල්ල අතැර දා පැමිණි ඔහු දුෂ්කරත්වය වුව ද වැළඳ ගන්නේ කැමැත්තෙනි. ඒ උත්සාහය සඳහා ඔහුට කාලයක් හෝ වේලාවක් අවැසි ද නැත. සෑම මොහොතක ම ඔහු උත්සාහ දරන්නේ එකී අග්‍රගණ්‍ය ඵලය ළඟාකර ගැනීමට ය.
හික්මවා සිත
පසක් කරනුව ඇත්ත
ඉවසා එ-හැම
දිවා රෑ වෙර දරමි.
මේ සියලු වැර වෑයම් තිබිය දී වුව ද ඈ පිළිබඳ මතකය බුර බුරා නැඟෙන්නේ ය. ස්වකීය චිත්තය එසේ හික්මවන්නට දරන සෑම උත්සාහයක් ම අවසන බිඳී යන සෙයකි. සමාධියකට සිත රැගෙන බවුන් වඩද්දී එක් වර ම ප්‍රේමයේ උත්තරීතර හැඟීම ඔහු පෙළයි. ඉන් සියලු උ්තසාහයන් ව්‍යාර්ථ වන සේ ය. ඔහු අනවරත උත්සාහයක නිරතවන අයෙකු බැවින් මේ සියල්ල විඳගනු ඇතැයි රසිකයා සිතයි සහ බෞද්ධ ඉතිහාසය පිළිබඳ තතු දන්නා රසිකයෙක් නම් මේ සියල්ල අවසන බුද්ධත්වය ලබන සිද්ධාර්ථ කුමරුගේ ඡායාරූපය සිතෙහි ඇඳ ගනී. නමුත් සේකරට අනුව මේ කථකයා නැවත නැවත ත් අතීතය විසින් සහ ඔහුගේ ප්‍රේමය විසින් අවුලින් අවුලට පත් කරන ස්වරූපයකි.
එහෙත් ඔබ ගැන මතක
මොහොතකින්
ඒ සියලු වෙර බිඳැර
පැන නැඟී
අවුල් කරවයි මසිත්.
කවියා භාෂාවේ ඉසුරෙකු සේ ම මසුරෙකු ද විය යුතු ය. ඔහු අවැසි තැන ඉර හඳ තරු, නදි කදුරු, ගන වනතුරු, කෙරෙයි නුදුරු, ගැයුම් වැයුම්, ගඳ විලවුන්, කසී පලස්, සුවඳ බොජුන් වැනි අනුප්‍රාසවත් වදන් භාවිතයෙහි හපනෙකි. සරල නමුත් ධ්වනි ගුණය සහිත ඕජෝ ගුණය සහිත වදන් ම භාවිත කරයි. වරක් සේකරයන් ම ස්වකීය ලිපියක ‘කවියේ භාෂා භාවිතය’ පිළිබඳ මෙසේ සඳහන් කළේ ය.
“…පැරණි ගද්‍ය භාෂාව පද්‍ය භාෂාවට වඩා විචිත‍්‍ර විය. ප‍්‍රකාශන ශක්තියෙන් පොහොසත් විය. එමෙන්ම පැරණි ගද්‍ය රචකයා ග‍්‍රන්ථ රචනා කළේ උගතුන් කීප දෙනකු සඳහා නොව පොදු ජනතාව සඳහාය. එහෙයින් ඒ ග‍්‍රන්ථ ජන ජීවිතයට වඩා ආසන්නය.”
-මහගම සේකර
කවියා හැමවිට ම අලුත් යමක් නිර්මාණය කරන්නෙකි. සිද්ධාර්ථ චරිතය ඇසුරෙන් ඊට හානියක් ද සිදු නොකරමින් ඉතා සියුම් ලෙස ප්‍රේමයේ ඇති අගය මතු කරයි. පරම සත්‍ය සොයා යන ගමනක යෙදි සිටින මහා පුරුෂයකුට වුව ද අචල ප්‍රේමයක උත්තරීතරබව බාධා කරනු නොඅනුමාන ය යන්න රසික සිතට කාන්දු කරන්නට සේකරයෝ සමත් වී ඇත. මෙවන් තේමාවකට බැස මඩේ නොඑරුණ කවීන් සිටිනුයේ අතළොස්සකි. සේකර එතැන ඉහළින්ම සිටී.