මිය ගිය සිවිල් වැසියන් අනුස්මරණයේදී පොලිසිය නීතිය කඩලා – වහාම පරීක්ෂණයක් ආරම්භ කරන්න : තරුණ ජනමාධ්‍යවේදීහු අජිත් රෝහණට, දේශබන්දුට අමතති !

Share post:

යුද්ධය අවසන් කාලයේදී මිය ගිය සිවිල් වැසියන් අනුස්මරණය කිරීම වළක්වමින්, බලහත්කාරී සහ නීතිවිරෝධී ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස නැගෙනහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලිපියක් යවා තිබේ.

එම සංගමයේ සභාපති තරිඳූ ජයවර්ධනගේ සහ එහි ලේකම් එම්.එෆ්.එම්. ෆසීර්ගේ අත්සනින් යොමුකර ඇති මේ ලිපිය මගින් එම සංගමය අවධාරණය කරන්නේ එම අනුස්මරණ වැඩසටහන්වලට බාධානොකරන ලෙස මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ඇතුළත් ලිපිය සියලුම පොලිස් ස්ථානවලට යොමුකරන ලෙසයි.

එම සම්පූර්ණ ලිපිය පහත පළවේ.

නීතිඥ අජිත් රෝහණ මහතා,
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති,
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය,
මඩකලපුව.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි,

මුල්ලිවයික්කාල්හි මිය ගිය පිරිස් අනුස්මරණය කිරීම වැලැක්වීමට නැගෙනහිර පළාතේ පොලිසි/පොලිස් නිලධාරීන් විසින් බලහත්කාරය පෑම සම්බන්ධයෙනි.

යුද්ධයේ අවසන් කාලයේ දී මිය ගිය සිවිල් වැසියන් සිහි කිරීම සඳහා පවත්වන අනුස්මරණ වැඩසටහන් (මුල්ලිවයික්කාල් අනුස්මරණ) සහ කැඳ බෙදා හැරීම් නතර කිරීමට සහ ඒවාට බාධා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ගත් උත්සාහයන් කිහිපයක් පසුගිය දින කිහිපයේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වලින් වාර්තා විය.
මෙම අනුස්මරණය කිරීම් එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීමක් ලෙස හුවා දක්වමින් ඒක පාර්ශ්වීයව අධිකරණයට කරුණු වාර්තා කරමින් ආඥා ලබා ගනිමින් නතර කිරීමටත්, ඊට අමතරව මහජන සෞඛ්‍ය හුවා දක්වමින් එම අනුස්මරණවලට බාධා කිරීමටත් පොලිසිය උත්සාහ කරන ආකාරය දක්නට ලැබිණි.
පොලිසියේ එම ඇතැම් මැදිහත්වීම්වලදී නිරායුද සිවිල් පුරවැසියන්ට කෘර අමානුෂික සහ අවමන් සහගත ලෙස සලකමින් ඇතැම් පොලිස් නිලධාරීන් කටයුතු කරන ආකාරයද ජනමාධ්‍ය වාර්තා කළේය.
පොලිසියේ මෙම මර්දනීය වැඩපිළිවෙළ ඔබගේ අධීක්ෂණය යටතේ පවතින නැගෙනහිර පළාතේ සිදුවීම් දාමයක් ලෙස සිදුවීමත්, මෙමගින් ශ්‍රී ලංකා පොලිසිය පුරවැසියන්ගේ මූලින අයිතිවාසිකම් මෙන්ම අන්ර්ජාතික වශයෙන් පිළිගත් මානව අයිතිවාසිකම් ද කඩ කිරීමට ලක් කරන බැවින් මේ සම්බන්ධයෙන් පහත කරුණු ඔබගේ අවධානයට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.
මුල්ලිවයික්කාල් අනුස්මරණය යනු මහාවීර දින සැමරුමට වඩා සම්පූර්ණයෙන් වෙනස් කටයුත්තක් ලෙස මූලිකව පෙන්වාදීමට කැමැත්තෙමු.
යුද්ධයේ අවසන් අධියරේදී ලක්ෂයකට අධික දෙමළ සිවිල් පුරවැසියන් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිරවී සිටි අතර එම කාලයේදී අදාල ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරවලින් විශාල පිරිසක් මරණයට පත්වූහ. අදාල කාලසීමාවේදී එම ප්‍රදේශයට ආහාර සැපයීම සීමා වීම නිසා ඇතිවූ ආහාර හිඟය මධ්‍යයේ බොහෝ දෙනකු දිවි බේරා ගත්තේ බත් කැඳ පානය කිරීමෙනි.
එල්ටීටීඊ සංවිධානය සහ ශ්‍රී ලංකා හමුදාව අතර යුද්ධයට මැදිවූ දෙමළ සිවිල් වැසියන් 2009 ජනවාරි සිට මැයි 18 වැනිදා දක්වා කටුක අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දුන අතර ඔවුන්ගේ ඇස් පනාපිටම ඥාති හිතමිත්‍රාදීහු රැසක් මරණයට පත්වූහ.
මැයි 18 සහ ඊට ආසන්න කාලසීමාවේදී සිදුකරන ”‍මුල්ලිවයික්කාල් අනුස්මරණ”‍ යනු මිය ගිය තම ඥාති හිතමිත්‍රාදීන් සිහිකිරීමක් වන අතර 2009 යුද්ධයේ අවසන් කාලසීමාවේදී බත් කැඳ බොමින් ගත කළ දුෂ්කර ජීවිතයත්, එම කාලසීමාවේදී මිය ගිය පිරිස් සිහිකිරීමත් සඳහා කැඳ පානය කිරීම හෝ බෙදා හැරීම සිදු කරති. එය කිසිසේත් එල්ටීටීඊය ප්‍රවර්ධනය කිරීමක් ලෙස ලඝු කිරීමට හැකියාවක් නැත.
කිසිවකුට හිංසාවක් පීඩාවක් නොකර සිදු කරන මෙම සිහිකිරීම් නතර කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කිරීම මගින් සිදුවන්නේ අවුරුදු ගණනක් තිස්සේ යුද්දයෙන් සහ ජාතිවාදී කෝලාහලවලින් බටකෑ දෙමළ ජනතාව තවදුරටත් පීඩනයට ලක් කිරීමය. ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු යුද්දයකට බලපෑ මූලික ⁣දේශපාලන හේතු ගැනවත් අබමල රේණුවක තැකීමක් නැතිව තවදුරටත් දෙමළ ජනතාව පීඩනයට ලක් කිරීම මගින් ශ්‍රී ලංකා පොලිසිය සිදු කරන්නේ සංහිඳියාව සහ සමාදානය නැති කර දැමීමට අවශ්‍ය පසුබිම සැකසීමය.
අනුස්මරණය කිරීමට ඇති අයිතිය ආරක්ෂා කරන ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට කර ඇති නිර්දේශ ගැන ශ්‍රී ලංකා පොලිසියේ නීති දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඔබ හොඳින් දන්නවා ඇතැයි අපි විශ්වාස කරමු. එලීල් රාජේන්ද්‍රන් පියතුමාගේ පැමිණිල්ලක් මත විමර්ශන පැවැත්වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2017 ජුනි 07 වැනිදා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත්, අගමැති රනිල් වික්‍රමසිංහටත්, නීතිය හා සාමය අමාත්‍යවරයාටත් ලිපියක් යොමු කරමින් සඳහන් කරන්නේ මුල්ලිවයික්කාල් සැමරුම ඇතුළු මිය ගිය අය අනුස්මරණය කිරීම් නතර කිරීමට කරන උත්සාහයන් මගින් ජාතීන් අතර බෙදීම් තවදුරටත් වර්ධනය විය හැකි බවයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ පිටපතක් මේ සමග අමුණා ඇත.
පුරවැසියන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටින අතර පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පමණක් නොව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහාද රාජ්‍ය නිලධාරීහු බැඳී සිටිති. එලෙස බැඳී සිටින නිලධාරීන් පුරවැසියන්ගේ අයිතිවාසිකම් මර්දනය කිරීම සඳහා සැලසුම් සහගතව කටයුතු කිරීම ඉතා බරපතල තත්ත්වයක් ලෙස අපි සලකමු.
මුල්ලිවයික්කාල් අනුස්මරණ නතර කිරීම සඳහා පොලිසිය ඒකපාර්ශ්විකව අධිකරණයට කරුණු වාර්තා කරමින් නියෝග ලබාගනිමින් සිටින අතර පසුව එම නියෝග කඩ කළ බව කියමින් අත්අඩංගුවට ගැනීම සිදු කරයි.
පුද්ගලයෙකු අධිකරණ නියෝගයක් කඩ කිරීම වරදක් වන්නේ 2024 අංක 08 දරණ අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත යටතේය. එම පනත යටතේ අධිකරණ නියෝග කඩකරමින් අධිකරණයට අපහාස කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට බලතල ලබාදී නැත. එම පනත යටතේ වරදක් සම්බන්ධයෙන් කටයුතු කරන ක්‍රමවේදය පැහැදිලිව සඳහන් කර තිබේ. එසේ තිබියදී අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කරන ආකාරයෙන් සිදු කරන්නේ බලය අවභාවිතාවකි.
ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් පිරිසක් දෙමළ ජනතාව පීඩනයට පත් කර ඔවුන් අපහසුතාවට පත් කිරීමේ පොදු අරමුණින් යුතුව ඒක පාර්ශ්වික අධිකරණ නියෝග ලබාගනිමින් සහ ලබා නොගෙන මුල්ලිවයික්කාල් අනුස්මරණ සහ කැඳ බෙදා දීම නතර කිරීමටත්, ඔවුන්ට තර්ජනය කිරීමටත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කිරීම මගින් පොලිසිය අපරාධ නීතිය කඩ කරන බැවින් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිමු.
එසේම පොලිසිය ඒකපාර්ශ්විකව අධිකරණ නියෝග ලබා ගනිමින් මෙම අනුස්මරණ නතර කිරීමට හෝ ඊට බාධා කිරීමට කටයුතු කරනවා වෙනුවට කිසිම බාධාවකින් තොරව මෙම අනුස්මරණ පැවැත්වීමට අවශ්‍ය වටපිටාව පුවරසියන්ට සකස් කර දෙන ලෙසත්, අධිකරණවලට සත්‍ය තොරතුරු වාර්තා කර දැනට ලබාගෙන ඇති අධිකරණ නියෝග ඉවත් කරන ලෙස ඉල්ලීම් කරන ලෙසත්, පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිමු.
සාමකාමීව සිදු කරන මෙම අනුස්මරණ වැඩසටහන් පැවැත්වීමට බාධා නොකරන ලෙසට අවශ්‍ය ලිඛිත උපදෙස් සහ ඊට අදාලව මානව හිමිකම් කොමිෂන් සභාවේ නිරීක්ෂණ ඇතුළත් ලිපිය ද සියලු‍ම පොලිසිවලට කඩිනමින් යොමු කරන ලෙස ද ඉල්ලා සිටිමු.
ස්තුතියි.

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...