ඩයනා පමණක් වැරදි නැත : රනිල් සජිත් සියඹලා ගෙනාවේ මෙහෙමයි !

Share post:

ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට නුසුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) තීරණය කළේය. ඒ, ඇයට ලංකාවේ පුරවැසිභාවය නැති නිසා ය.

තීන්දුවේ එක් තැනක මෙසේ දැක්වේ.

‘ඡන්ද බලය යනු සියලු පුරවැසියන් සතු මූලික අයිතිවාසිකමකි. මේ බලයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්කෙරෙන අතර, ඉන්පසු ඔවුන් ජනතාවගේ ව්‍යවස්ථා බලය ක්‍රියාත්මක කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට අවශ්‍ය සුදුසුකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වේ.’

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ ඔහු හෝ ඇය ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතු බවයි. තීන්දුවේ මෙසේ ද දැක්වේ.

යම් කරුණක් පිළිබඳ පුද්ගලයෙක් දන්නා විට, තමන්ට එය අදාළ වන විට, එය ඔප්පු කිරීමේ වගකීම එම පුද්ගලයා සතු ය.’

එනම් ඩයනා ගමගේ තමන්ට අදාළ කරුණු ඔප්පු කළ යුතු ව තිබිණි. එහෙත් ඩයනා පමණක් නොවේ.

මාස කිහිපයකට පෙර මේ පිළිබඳ නඩු දිනයකදී ඩයනා ගමගේගෙන් මේ ගැන ඇසූ විට මෙවැනි සංවාදයක් ඇති විය. එය අඅඅගඑයැඑසපැගකන වෙබ්අඩවියේ පළකෙරිණි. එහි කොටසක් මෙසේ විය.

මෙච්චර මේ බරපතළ චෝදනාවක් එල්ල වෙලා තියෙද්දිත් තවදුරටත් ඇමති ධුරයේ ඉන්න එක සදාචාරාත්මක ද ?

ඇයි මං අයින් වෙන්නෙ. කාගෙවත් චෝදනාවක් හින්දා මං අයින්වෙන්නෙ මොකටද.

ආණ්ඩුවේ ප්‍රධානියා විදිහට ජනාධිපතිවරයගෙ පාර්ශ්වයෙන් මේ ගැන ඇහුවෙවත් නැද්ද ?

නෑ. එතුමා මොනවටද මේ පදනමක් නැති චෝදනා ගැන කතා කරන්නෙ.

නඩුවක් යන නිසා වචනයක් හරි කතාකරන්න ඇති?

වැඩ ටික කරගෙන යන්න කිව්වා. එච්චරයි.

පදනමක් නෑ කිව්වට පැමිණිලි පාර්ශ්වය අභියාචනාධිකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාත් මේක අරන් ගිහින් තියෙන්නෙ මොනව හරි බඩු තියෙන හින්දා නේද ?

මේකෙ මේ එල්ලිලා ඉන්නෙ වෙන අරමුණකට. වෙන මොකුත් මෙතැන නෑ. අභියාචනාධිකරණයෙනුත් මේක නිශ්ප්‍රභ කළානෙ.

හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය මේක විසිකරන්නෙ නැතුව විභාග කරන්න පටන්ගත්තා…?

බලමු. බලමු. අධිකරණයේ තීන්දුව බලමු.

මහේස්ත්‍රාත් අධිකරණයට ආගමන-විගමන දෙපාර්තමේන්තුවෙන් ලියකියවිලි විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කළා. ඒ ඔක්කොම තියෙන්නෙ ඔබට විරුද්ධව….?

මට අහන්න තියෙන්නෙ මෙච්චරයි. ඩයනා ගමගේ මන්ත්‍රී ධුරයෙන් අයින් වුණා කියලා මේ රටේ ප්‍රශ්න විසfඳනවද. මිනිස්සු පීඩාවිඳින ප්‍රශ්න ඉවරයක් වෙනව නම්, මං මේ මොහොතෙම මේකෙන් අයින් වෙනවා.

ඩයනා ගමගේ නිදොස් කරන්නට හෝ ඩයනාට අවස්ථාවක් දෙන්නට අවශ්‍ය නැත. ඊට හේතුව ආගමන-විගමන දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රබල සාක්ෂි ය. එහෙත් ඩයනාට ඒ පහසුකම් සැලසීමේ වගකීම, ඩයනා දිගටම ආරක්ෂා කිරීමේ වගකීමෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මිදිය නොහැකිය. 

ඩයනා බි්‍රතාන්‍ය පුරවැසියකු බවත්, ලංකාවේ පුරවැසිභාවය ඇයට අහිමි බවත් ඔහු නොදැන සිටියාද?

කිසිසේත්ම එය සිදුවිය නොහැකිය. 

නඩුවක් යද්දීත්, මූලික අදියරේදී ආගමන-විගමන දෙපාර්තමේන්තුවෙන් ලිපිලේඛන සහිත ප්‍රබල සාක්ෂි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබියදීත්, තවදුරටත් ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී වූවාය. රාජ්‍ය ඇමැති වූවාය. නියෝග දුන්නාය. ලිපි අත්සන් කළාය. වගකීම් දැරුවාය. රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී සංචාරක රාජ්‍ය ඇමැතිවරිය ලෙස රට නියෝජනය කළාය. මන්ත්‍රීට – ඇමැතිට හිමි වැටුප්, වරප්‍රසාද සියල්ල ගත්තාය. සමස්ත රට රැවටුවාය.

මේ සියල්ලට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ආශිර්වාද කළෝය. ඔවුන් සියල්ලන් එක්වී ජනතාව රැවටුවෝය.

එපමණක්ද?

2020 අගෝස්තු මාසයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලු කටයුතුවලට සමගි ජන බලවේගය කටයුතු කළේ ඩයනාගේ පක්ෂයෙන් ය. පක්ෂය මිලදීගෙන, පසුව තනතුරු වෙනස් කෙරිණි. ඩයනාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදෙන ලදි. ජාතික ලැයිස්තුවට අදාළ ලිපිගොනු සකස් කිරීමේදී සමගි ජන බලවේගයට ඩයනාගේ මේ පුරවැසිභාවය පිළිබඳ නුසුදුසුකම අහුවුණේම නැද්ද? එසේ අහුනොවුණේ නම් ඔවුන් ජනතාවගේ ඡන්ද බලය නියෝජනය කිරීමට සුදුසු ද?

ඒ කියන්නේ ඩයනා කතාවේදී සමගි ජන බලවේගය ද, එහි නායක සජිත් ප්‍රේමදාස ඇතුළු වගකිවයුතු නායකයන් පිරිස ද රනිල් වික්‍රමසිංහ වගේ ම ජනතාව රවටා තිබේ. ‘අපි දැනගෙන හිටියෙ නෑ’ කියන්නට ඔවුන්ට කිසිදු අවස්ථාවක් නැත.

මේ ගැන විමසීමේදී සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ නාම යෝජනා ලේඛන සකස් කිරීමේදී සියල්ල පරීක්ෂා කළ බවත්, එහිදී ඩයනා ගමගේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇතැයි දැන් පෙනීයන බවත් ය.

දැන් ඇය වහාම අත්අඩංගුවට ගත යුතුය. ඒ, විදේශිකයකු ලෙස වීසා නොමැතිව මෙරට රැඳීසිටීමේ චෝදනාවට ය. 

ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වූ, ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම මැතිවරණ කොමිසම මගින් පිළිගැනීම අභියෝගයට ලක්කරමින් 2019 ඔක්තෝබර් මාසයේදී අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමේ මෙවැනි කරුණු කිහිපයක් ද දැක්වේ.

‘මහින්ද රාජපක්ෂ 2005 නොවැම්බර් 18 වැනිදා ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් විය. ඒ ඔහු අගමැතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී බැවින් ජනාධිපති ධුරයට පත්වීමත් සමග අගමැති ධුරය දැරීම අවසන් වේ. අගමැති ධුරය දැරීම අවසන් වීමත් සමග කැබිනට් මණ්ඩලය ද විසිරී යයි. ඒ අනුව කැබිනට් මණ්ඩලය විසිරීමත් සමඟ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේද ධුරය දැරීම අවසන් වේ.

ඉන්පසු නැවත ගැසට් නිවේදනයක් මගින් අමාත්‍ය තනතුරුවලට සහ අමාත්‍යංශ ලේකම් තනතුරු වලට පුද්ගලයන් පත්කරන තුරු එම තනතුරු හිස්ව පවතී. එසේ තනතුරු හිස්ව පවත්නා අවස්ථාවකදී වැඩබැලීම සඳහා ගැසට් නිවේදනයක් මගින් පත්කර නොමැත්තේ නම් හෝ වෙනත් නෛතිකව පිළිගත හැකි හෝ සනාථ කළ හැකි ක්‍රමයකින් බලය ලැබී නොමැත්තේ නම් හෝ එම තනතුරු වෙනුවට ලේඛන අත්සන් කිරීමේ බලය කිසිවෙකුට නොමැත.

නව කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් පත්කර ඇත්තේ 2005 නොවැම්බර් 23 වැනිදා ය. අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත්කර ඇත්තේ 2005 දෙසැම්බර් 13 වැනිදා ය. ගෝඨාභය රාජපක්ෂට ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කරන්නේ, එනම් ගෝඨාභය රාජපක්ෂ නැවත ශ්‍රී ලාංකික පුරවැසියෙකු බවට නිල වශයෙන් පත්වන්නේ 2005 නොවැම්බර් 21 වැනිදා ය. එනම්‍ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන සිකුරාදා දිනයට දින තුනකට පසුව එළඹෙන සඳුදා දිනයේ ය.

ඒ අවස්ථාව වන විට ද්විත්ව පුරවැසිභාවය විෂයය අදාළ වන අමාත්‍යවරයෙකු හෝ අමාත්‍යංශ ලේකම්වරයෙකු පත්කොට සිටියේ නැත. එබැවින් ගෝඨාභය රාජපක්ෂට හෝ වෙනත් ඕනෑම විදේශ පුරවැසිභාවය දරන පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ප්‍රදානය කිරීමට බලය ඇති කිසිවෙකු ඔහුට ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සහතිකය නිකුත් කරන 2005 නොවැම්බර් 21 වනදා වන විට ශ්‍රී ලංකාවේ සිටියේ නැත.

එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය යනු වාහනයක ආදායම් බලපත්‍රයක් ලබාගන්නා ආකාරයට එක දවසින් ලබාගත හැකි සහතිකයක් නොවේ. ඒ සඳහා නිසි අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාර්ය පටිපාටියක් සහ ගොනු කළ යුතු ලේඛන රාශියක් තිබේ. එපමණක් නොව ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට සුදුස්සෙකු වීමට තිබෙන අවශ්‍යතා සම්පූර්ණ කළ යුතු වේ. ඒ සඳහා දීර්ඝ සහ සැලකිය යුතු කාලයක් ගතවන ක්‍රියාපටිපාටියක් ඇති අතර, එය කිසිසේත්ම දිනක් ඇතුළත සම්පූර්ණ කළ හැකි කටයුත්තක් නොවේ.’

මේ සියල්ල අතරේ තවත් නාට්‍යයක් ද කළඑළි බැසීමට නියමිත ය. ජන අරගලයේ තීරණාත්මක ආරම්භයට අදට වසර දෙකකි. එම නිසා සියල්ල මතුපිටින් බැලීම අවදානම් ය.

Related articles

උසස් පෙළට නියමිත මහගම සේකරයන්ගේ ‘මාර යුද්ධය’ පද්‍ය පිළිබඳ සරල කියැවීමක්

සිංහල කවියේ ‘සේකර’ සලකුණ කවරෙකුට වුව ද පහසුවෙන් තැකිය හැක්කක් නොවේ. මහගම සේකරයන් කවියෙක්, ගී පද රචකයෙක්, චිත්‍ර...

‘සීනුව නාද කරපල්ලා’ – අනුරාධා නිල්මිණි

වරෙක තමන් හට එල්ල වුන අභියෝගයකින් ජය ගනු පිණිස අර්නස්ට් හෙමිංවේ කෙටිම කෙටි කතාව ලියන්නට පෙළඹුන බවත් ඒ...

කුමුදු කුමාරසිංහගේ “කොළඹ මතක”

ජීවිත කාලයම කොළඹ නගර සීමාවෙ ජීවත් වුන කුමුදු ඇගේ ජීවිත මතක මේ පොතට අපූරුවට හකුළුවනවා. කොළඹ මතක පාඨකයාට...

‘ඇදුරාභරණ’ – නිමල් විජේසිරි

උසස් අධ්‍යාපනය සඳහා විදේගත වීම වර්තමානයේ විශේෂයක් නොව සාමාන්‍යයකි. එමෙන්ම මේ වන විට ශිෂ්‍යත්වයක් ලැබ ආචාර්ය උපාධිය සඳහා...