‘ලියන කලාව සහ රචනා විධික්‍රම’ ලියන්නෙකුට හොඳ ම මිතුරෙකු මුණගැසීමක් වැන්න

Share post:

හරවත් ව විධිමත් ව දැනුවත් ව ලියනා සැටිත්, ලිවීමට පෙර සිතනා සැටිත්, යළි යළි ලිය ලියා පුහුණුවන සැටිත් ගැන කියැවෙන ලියනගේ අමරකීර්ති ලියූ ‘ලියන කලාව සහ රචනා විධික්‍රම’ මෑතක දී මා විරාම නොතබාම කියැවූ කෘතියකැයි හැඳින්වීමෙහි වරදක් නැත. ලියන කලාව ලියා ඇත්තේ ඉහත කී සියලු ආකාරයෙන් ලිවීමෙහි සමත් රචකයෙකි. සාහිත්‍ය කෘතියක් නොවීත්, ශාස්ත්‍රීය ලේඛනය පිළිබඳ කෘතියක්වීත්, ‌ඈනුමක්‌ නොඇර, හිරියක් නොඇර කියවාගෙන යා හැකි පරිද්දෙන් බසෙහි රටාව සරලව, නිරවුල්ව, ප්‍රායෝගිකව සහ සජීවීව ඉදිරිපත්කිරීම මෙහි කැපී පෙනේ. රචකයා මීට පෙර ලියූ, ‘කෙටිකතා කලාවේ’ දී මෙන් ම තර්කානුකූල සහ බුද්ධිමත්ව වටහාගත යුතු දෙයක් පැහැදිලි ස්වරයකින් සහ වැටහෙන බසකින්, තමා ඉදිරියේ කියවන්නා සිටින සේ ලියා තිබේ.

ඇතැම් පොත් කරා පා නැගීමට පෙර පෙරවදන් කියවා බැලීමෙන් ලැබෙන උත්තේජනය යහපත් ය. ශාස්ත්‍රීය රචනය පිළිබඳව ලාංකේය ලේඛකයන් ලිවූ දෑ ඇතුළත් පොතේ පෙරවදන මා සිත්ගත්තකි. රසවත්ව ලිවීම ගැන ඔවුන් ලියූ දෑ ද එහි සඳහන් වෙයි. පෙරවදනින් වූ බලපෑම කිසේද යත්, කියවා නොතිබූ පොතක් සොයා මිලදීගැනීමට ද වැඩ සලස්වාගතිමි. මෑතකදි කියැවූ එවන් පෙරවදන් අතරින්, මගේ මතකයෙහි රැඳෙන්නේ, ‘තරු අතර‌ට ගිය දරුවා’ (ආතර් සී ක්ලාක් චරිතාපදානය) වෙනුවෙන් දිලීප අබේසේකර ලියූ පෙරවදන යි.

ලියන අයෙකුට මෙම පොත කියවන්නට ලැබීම, හොඳ ම මිතුරෙකු මුණගැසීමක් වැන්න. අනවරත ලිවීමක යෙදෙන්නන්ට, ලිවීමෙහි රුචි ඇත්තවුනට, ලිවීම සඳහා එදිනෙදා කළ යුතු දෑ මොනවාද, පුහුණුවිය යුතු දෑ මොනවාද යන්න මෙහි ඇතුළත් වෙයි. ලියනා සැටි පිළිබඳව පෙර විසූ ලේඛකයන් සේ ම, වැඩි අවධානයට ලක් නොවූ ලේඛකයන්ගේ ද කරුණු සහිතව රචනා වී ඇති මෙම කෘතිය, නියම එල්ලය බලා විදි හීයක් මෙන් කෘතියෙන් අපේක්ෂිත අරමුණට වෙත ගමන් ගනී.

එක් සාධකයක් කුඩා – අනු – සබැඳි – සෙසු සාධක කරා බෙදා, ඒවා යළි යළිත් බෙදමින්, යා හැකි උපරිමයට යන රචකයා, තමා ලිවීමෙහි දී උගෙනීමට සහ හුරුවීමට අනුගමනය කළ දෑ පළමු පරිච්ඡේදයෙහි ඇතුළත් කරයි. ලිවීම ආශ්‍රිත දිනචරියාව හා ක්‍රියාවලිය ගැන එහි එන කරුණු කිහිපයකි මේ.

“• දිනපතා ලියන්න.

  • ලිවීම සම්බන්ධයෙන් කුඩා ඉලක්ක පිහිටුවා ඒවා වෙත ළංවෙන්න
  • එක තැන හිර වී ඇතිවිටත් දිගට ම ලියන්න
  • සද්ගුණවත් කල්දැමීම්වලින් වළකින්න
  • භීතිය සහකාරයෙකු බවට පත්කරගන්න
  • දුප්පත්ව ආරම්භ කර පොහොසත්ව අවසන් කරන්න
  • නැවත ලිවීම සහ පර්යේෂණය යනු ලිවීමක් ලෙසම සලකන්න
  • ඉහත අවවාද පිළිපදින්න” (26 පිටුවේ සිට)

ලිවිය යුතු සැටි ගැන නොසඟවා, විස්තරාත්මකව සහ දීර්ඝව මෑතක දී කියවන්නට සැලසුනේ මේ කෘතියෙනි. සිසු රචනාවල උදාහරණ සහිත ය. සෙසු කෘතිවල උපුටන සහිත ය. ඡේදයක් ලියනා සැටි, ඒ ඡේදයේ ඇතුළත් වන මුල් වැකියේ සිට අවසානය දක්වා වන කරුණු එක්විය යුතු ආකාරය, සාධක-ආධාරක වැකි ආදිය ගැන වන සඳහන ද ලේඛන චෞරයන් ගැන සඳහන් වන පරිච්ඡේදය ද විශේෂයෙන් අවධානයට ලක්විය යුතුය.

සමස්ත කෘතියෙන් මගේ ප්‍රියතම කොටස නම්, 5 වන පරිච්ඡේදයේ එන, භාවාත්මක රචනයක වාච්‍යාර්ථය මෙන් ම, ලියන තානය කියවාගැනීමේ ක්‍රමයයි. ලේඛකයෙක් සිය ලේඛනය, සටහන හෝ කෘතිය ලියන ආකාරයෙන්, භාවිත කරන වචනවල ස්වභාවයෙන්, වාක්‍ය හසුරුවන ආකාරයෙන්, හෙළන දෘෂ්ටියෙන්, බලන කෝණයෙන්, අරුත් විමසන සැටියෙන් ලේඛකයාට නොදැනිම අපට ලේඛකයාව කියවාගැනීමට ඉඩ ලැබේ.

එදිනෙදා ජීවිතයේ දී, අපි ශරීර භාෂාව, අංග චලන, මුහුණු, කතාබහ, ඇඳුම් පැලඳුම්, ජීවත්වන සැටියෙන් මිනිසුන්ව කියවන්නෝ වෙමු. ඔබ මා කියවන්නා සේම, මම ද ඔබව කියවමි. මේ කියැවීමෙන් අපට සමාජයේ ජීවත්වීමට වුවමනා කරන යම්බදු දැනුමක් ලද හැකිවෙයි. පොතක, බසක, වැකියක තානයෙන් රචකයාව කියැවීම ද මීට එක්වෙයි. මෙය පැහැදිලි කරනු සඳහා ලියනගේ අමරකීර්ති, තිස්ස අබේසේකරගේ රමණීය කෘතියක් වන ‘අයාලේ ගිය සිතක සටහන්’ කෘතියෙන් උපුටනයක් ගෙන, ඡේදයෙන් ඡේදයට එයින් අබේසේකරගේ දෘෂ්ටිය, සිතුවිලි ආදිය අපට කියවා දෙයි. අප මෙය පොතක් කියවනවිට එක්තරා දුරකට සිදුකරන නමුත්, එය කොතරම් ගැඹුරු දෙයක්ද යන්න වැටහුනේ මෙය කියැවූ පසුවයි. ලියන
දෙයින්, ලියන්නාව කියවාගැනීමට
ලැබීම කදිම නොවේද?

විශ්වවිද්‍යාලවල සිසුන් (විශේෂයෙන් සිංහල භාෂාව සහ සාහිත්‍යය හදාරන) ඉලක්ක කර රචනා කර තිබුණ ද, මෙය ශාස්ත්‍රීය කෘති ලියන්නන් පමණක් නොව, සාහිත්‍ය කෘති රචනාකිරීමෙහි උනන්දු වුවන් වුව කියවිය යුතු එසේ ම, ලියන්නන්ගේ අත්පොතක් විය යුතු කෘතියක් බව අපගේ අදහසයි.

සිසුන්ගේ ලිවීම් වෙත දොස ම පළකරන ඇදුරන් අතරෙහි ඒ වෙනුවට, ඊට යෙදිය යුතු පිළියම මෙසේ සටහන් කිරීම ගැන අපගේ ගෞරවය රචකයාට හිමිවේ. ‘හරියට ලියන්න’යි නොකියා ‘හරියට ලියන්නේ මෙහෙම’ යි කියාදීම මෙයින් සිදුවේ. එය ක්‍රියාවෙහි යෙදීම ලියන්නන්ට බාරය.
ලිවීම කෙතරම් බැරෑරුම් දෙයක්ද යන්නත් ඊට අප කෙතරම් මෙහෙ කළ යුතුද යන්නත් ‘ලියන කලාවෙන්’ ඔබට වැටහෙනු ඇති.

‘කෙනෙකු ලිවීමට උගන්නේ ලිවීමෙන්මය’ (15 පිටුව)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...