සෞම්‍ය සඳරුවන් ලියනගේ ‘ඉතින් කවියනි, හොඳට නින්ද යනවද රෑට ..’

Share post:

එක එක තාප්ප වලින් වට වෙච්ච රටක් ,ලෝකයක් මැද්දෙ ,අපේම කියල අපිම කැමැත්තෙන් ගහගත්තු පොඩි පොඩි තාප්ප ලක්ෂ ගාණක් ඇතුළෙ ඉඳගෙන ,’නිදහස ‘ හරි ‘සැනසීම ‘ හරි කියල හිතන මොකක්දෝ මහ බලගතු දෙයක් වෙනුවෙන් මුළු ජීවිත කාලයක් ,නැතිනම් පරම්පරා ගණනාවක් යෂ්ඨිය අත නොහැර සටන් කරන මිනිස්සු අපි.

එහෙම සටන් කරල කරල අන්තිමට අපි දිනාගත්ත මොන ම හරි දෙයක් තිබුණ නම් ,කොච්චර කාලෙකට ඒක අපේ ම කරගෙන ඉන්න අපට පුළුවන් වුණා ද?
කවුරු හරි එහෙම නරක ප්‍රශ්නයක් එකපාරට ම ඇහුවොත් අපි දෙන පිළිතුර මොන වගේ වෙයි ද?

සාහිත්‍යය, නැතිනම් ‘කවිය ‘ කියන අනාගත වක්තෘකරුවා අපට ඕනෙ වෙන්නෙ, අන්න එහෙම අපේම ඇතුළෙන්, උත්තර නැති ප්‍රශ්න ඉදිරියේ අපි අසරණ වෙන වෙලාවට නේද කියල මට නිකමට හිතෙනවා .

මේ වෙලාවෙ , මේ පිටු පෙරළමින් ඉන්නෙත් , අර වගේ වෙලාවක , යම් තීරණාත්මක තීරණයක් ගන්න, අපි වගේ සාමාන්‍ය මනුස්සයෙකුට පෙළඹුමක් ඇති කරවන්න පුළුවන් කියල, හිතෙන පොතක.

පොත ” ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට ” කවියා , සෞම්‍ය සඳරුවන් ලියනගේ.

මේ , සෞම්‍ය ගෙ තුන්වැනි කවි එකතුව. පළමු කාව්‍ය සංග්‍රහයෙන් ම රාජ්‍ය සම්මානිත වීම වගේම පාඨක විචාරක ,සමීක්ෂණ මඩුළු , රසිකාදරයත් ඔහු සතුයි.

‘ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට ‘ කියන කවිය ,නැතිනම් පොතේ නම දෙස මොහොතක් බලා සිටින විට , මේ ලියන මම ත්, එහෙම ලියූ සෞම්‍ය ත් ,අපේ සමූහයත් එකම වේදිකාවක එක පෙළට සිටින අන්දම හදවත් සිතුවමකින් මට පෙනෙන්නට පටන් ගන්නවා.
ඊට පස්සෙ ,ඒ චිත්‍රය තව තව දිගට මට සිත්තම් කරන්නට හිතෙනවා .
ඒත් එච්චර දුර යනවට වඩා ,ආයෙම මේ මොහොතට ඇවිත් ,සෞම්‍ය ව කියවන්න මම කැමති යි.
.
.” ලිවීම එක දිගටම සිද්ධ වුණත් ,ළඟ හිටපු අය ‘ඊළඟට මොකද වෙන්නෙ ‘ ඇහුවත් ,අලුත් කව් පොතක් වෙනුවෙන් මට ඒ තරම් ලොකු හදිස්සියක් තිබුණෙ නෑ .ඒ වෙනුවට පහුගිය අවුරුදු හතම මම ගතකළේ මගේ ලිවීමත් එක්ක ඔහේ පා වෙවී ගෙවුණු රස්තියාදුවක.මොකද, කවිපොත් ගොඩක් ලියපු කවියෙක් වෙනවට වැඩිය ඒ රස්තියාදුවටයි මගේ වැඩි කැමැත්තක් තිබුණේ. කොහොමත් මම ටිකක් හෙමින් ලියන ,ලියනවට වඩා සෑහෙන කාලයක් ඒ ලිවීම් සංස්කරණය කරන්න වැය කරන කෙනෙක්….”
මේ ,සෞම්‍ය ,මේ පොතට ලියූ පෙර වදනෙන් කුඩා උපුටනයක්.

කවි තිස් හයකින් පූර්ණය (36) වුණු සෞම්‍ය සඳරුවන් කවියාගෙ ,බොහෝ කවි වලදි ,ඔහුද පහළ වේදිකාවෙහි රසිකයාට සම්මුඛ ව’ මොහොත ‘සාකච්ඡාවට කැඳවන ,ආමන්ත්‍රණය කරන ඉතාම ලෙන්ගතු සහෘද කතා ,බහක් මට බොහෝ තැනදි හමුවුණා .( මෙය විචාරයක් නොවන නිසා ,න්‍යායාත්මක ව විචාරයට ලක්කරන්නන්,සමස්ත කෘතිය දෙසම සිය ඉසියුම් විචාරාක්ෂිය යොදනු ඇති බව මගේ විශ්වාසයයි.)
මේ ,එහි එක කවියක් :

20-
ඉඳහිට දිනෙක සපැමිණ
වගතුග සොයා නිහඬව
නුඹ යළි නික්ම යන’යුරු
නොදුටුව විලස හැසිරෙමි

ආගිය තැනෙක සුපුරුදු
හැඟුමක සිහිල කැටිවුණ
ඉපැරැණි මතක අරණක
දැන දැන අතරමං වෙමි

මේ, තවත් එකක් .

-28 :

හුරු පුරුදු පෙරහැරකි
බොහෝ දුර අතීතෙක සිට පැමිණි
ලෙයින් යකඩින් තැනූ
මල බැඳුණු සමරු සටහන් ඉතිරි

අභිමාන පෙරදැරිව
දෙපස ඇහිරී පිරුණු හිතවතුනි,
දුටුවෙහිද කිසි දෙයක්
මෙයින් පෙර
මෙ’පෙරහැර තුළ නොදිටි?

හිරුරැසින් බබළමින්
පදක්කම්,වීරයන් වෙත පිදුණු
සිනාසෙන හඬ ඇසේ මග දිගට ,
දෑස් ගිනිකණ වැටුණු

කිසි තැනෙක ලියැවේද
කුරුල්ලෙකු පිළිබඳව
ගුවන් කරණම් අතර ඇදවැටුණු?

සන්නාහ සන්නද්ධ මතක
එකිනෙක ගැටී
නැගී එන හිස බමන කිරිකිරිය
වෙර සිඳී ගිය හදින්
කල්පයක් දරා ඉහිලිය හැකිද?

බොහෝ ඉපැරැණි මතක
මගහැරුණ සිහින කඩතොලු අතර
නිදහසය කියන්නේ
පෙළපාලි -ආචාර වෙඩිමුර ද?

‘ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට ‘
සෞම්‍ය සඳරුවන් ලියනගේ .
ප්‍රථම මුද්‍රණය -2023

ප්‍රකාශනය – සහෘද ප්‍රකාශන
කවරය – සෞම්‍ය සඳරුවන් ලියනගේ
මිල – 450/

අනුරාධා නිල්මිණි

Related articles

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...