සෞම්‍ය සඳරුවන් ලියනගේ ‘ඉතින් කවියනි, හොඳට නින්ද යනවද රෑට ..’

Share post:

එක එක තාප්ප වලින් වට වෙච්ච රටක් ,ලෝකයක් මැද්දෙ ,අපේම කියල අපිම කැමැත්තෙන් ගහගත්තු පොඩි පොඩි තාප්ප ලක්ෂ ගාණක් ඇතුළෙ ඉඳගෙන ,’නිදහස ‘ හරි ‘සැනසීම ‘ හරි කියල හිතන මොකක්දෝ මහ බලගතු දෙයක් වෙනුවෙන් මුළු ජීවිත කාලයක් ,නැතිනම් පරම්පරා ගණනාවක් යෂ්ඨිය අත නොහැර සටන් කරන මිනිස්සු අපි.

එහෙම සටන් කරල කරල අන්තිමට අපි දිනාගත්ත මොන ම හරි දෙයක් තිබුණ නම් ,කොච්චර කාලෙකට ඒක අපේ ම කරගෙන ඉන්න අපට පුළුවන් වුණා ද?
කවුරු හරි එහෙම නරක ප්‍රශ්නයක් එකපාරට ම ඇහුවොත් අපි දෙන පිළිතුර මොන වගේ වෙයි ද?

සාහිත්‍යය, නැතිනම් ‘කවිය ‘ කියන අනාගත වක්තෘකරුවා අපට ඕනෙ වෙන්නෙ, අන්න එහෙම අපේම ඇතුළෙන්, උත්තර නැති ප්‍රශ්න ඉදිරියේ අපි අසරණ වෙන වෙලාවට නේද කියල මට නිකමට හිතෙනවා .

මේ වෙලාවෙ , මේ පිටු පෙරළමින් ඉන්නෙත් , අර වගේ වෙලාවක , යම් තීරණාත්මක තීරණයක් ගන්න, අපි වගේ සාමාන්‍ය මනුස්සයෙකුට පෙළඹුමක් ඇති කරවන්න පුළුවන් කියල, හිතෙන පොතක.

පොත ” ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට ” කවියා , සෞම්‍ය සඳරුවන් ලියනගේ.

මේ , සෞම්‍ය ගෙ තුන්වැනි කවි එකතුව. පළමු කාව්‍ය සංග්‍රහයෙන් ම රාජ්‍ය සම්මානිත වීම වගේම පාඨක විචාරක ,සමීක්ෂණ මඩුළු , රසිකාදරයත් ඔහු සතුයි.

‘ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට ‘ කියන කවිය ,නැතිනම් පොතේ නම දෙස මොහොතක් බලා සිටින විට , මේ ලියන මම ත්, එහෙම ලියූ සෞම්‍ය ත් ,අපේ සමූහයත් එකම වේදිකාවක එක පෙළට සිටින අන්දම හදවත් සිතුවමකින් මට පෙනෙන්නට පටන් ගන්නවා.
ඊට පස්සෙ ,ඒ චිත්‍රය තව තව දිගට මට සිත්තම් කරන්නට හිතෙනවා .
ඒත් එච්චර දුර යනවට වඩා ,ආයෙම මේ මොහොතට ඇවිත් ,සෞම්‍ය ව කියවන්න මම කැමති යි.
.
.” ලිවීම එක දිගටම සිද්ධ වුණත් ,ළඟ හිටපු අය ‘ඊළඟට මොකද වෙන්නෙ ‘ ඇහුවත් ,අලුත් කව් පොතක් වෙනුවෙන් මට ඒ තරම් ලොකු හදිස්සියක් තිබුණෙ නෑ .ඒ වෙනුවට පහුගිය අවුරුදු හතම මම ගතකළේ මගේ ලිවීමත් එක්ක ඔහේ පා වෙවී ගෙවුණු රස්තියාදුවක.මොකද, කවිපොත් ගොඩක් ලියපු කවියෙක් වෙනවට වැඩිය ඒ රස්තියාදුවටයි මගේ වැඩි කැමැත්තක් තිබුණේ. කොහොමත් මම ටිකක් හෙමින් ලියන ,ලියනවට වඩා සෑහෙන කාලයක් ඒ ලිවීම් සංස්කරණය කරන්න වැය කරන කෙනෙක්….”
මේ ,සෞම්‍ය ,මේ පොතට ලියූ පෙර වදනෙන් කුඩා උපුටනයක්.

කවි තිස් හයකින් පූර්ණය (36) වුණු සෞම්‍ය සඳරුවන් කවියාගෙ ,බොහෝ කවි වලදි ,ඔහුද පහළ වේදිකාවෙහි රසිකයාට සම්මුඛ ව’ මොහොත ‘සාකච්ඡාවට කැඳවන ,ආමන්ත්‍රණය කරන ඉතාම ලෙන්ගතු සහෘද කතා ,බහක් මට බොහෝ තැනදි හමුවුණා .( මෙය විචාරයක් නොවන නිසා ,න්‍යායාත්මක ව විචාරයට ලක්කරන්නන්,සමස්ත කෘතිය දෙසම සිය ඉසියුම් විචාරාක්ෂිය යොදනු ඇති බව මගේ විශ්වාසයයි.)
මේ ,එහි එක කවියක් :

20-
ඉඳහිට දිනෙක සපැමිණ
වගතුග සොයා නිහඬව
නුඹ යළි නික්ම යන’යුරු
නොදුටුව විලස හැසිරෙමි

ආගිය තැනෙක සුපුරුදු
හැඟුමක සිහිල කැටිවුණ
ඉපැරැණි මතක අරණක
දැන දැන අතරමං වෙමි

මේ, තවත් එකක් .

-28 :

හුරු පුරුදු පෙරහැරකි
බොහෝ දුර අතීතෙක සිට පැමිණි
ලෙයින් යකඩින් තැනූ
මල බැඳුණු සමරු සටහන් ඉතිරි

අභිමාන පෙරදැරිව
දෙපස ඇහිරී පිරුණු හිතවතුනි,
දුටුවෙහිද කිසි දෙයක්
මෙයින් පෙර
මෙ’පෙරහැර තුළ නොදිටි?

හිරුරැසින් බබළමින්
පදක්කම්,වීරයන් වෙත පිදුණු
සිනාසෙන හඬ ඇසේ මග දිගට ,
දෑස් ගිනිකණ වැටුණු

කිසි තැනෙක ලියැවේද
කුරුල්ලෙකු පිළිබඳව
ගුවන් කරණම් අතර ඇදවැටුණු?

සන්නාහ සන්නද්ධ මතක
එකිනෙක ගැටී
නැගී එන හිස බමන කිරිකිරිය
වෙර සිඳී ගිය හදින්
කල්පයක් දරා ඉහිලිය හැකිද?

බොහෝ ඉපැරැණි මතක
මගහැරුණ සිහින කඩතොලු අතර
නිදහසය කියන්නේ
පෙළපාලි -ආචාර වෙඩිමුර ද?

‘ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට ‘
සෞම්‍ය සඳරුවන් ලියනගේ .
ප්‍රථම මුද්‍රණය -2023

ප්‍රකාශනය – සහෘද ප්‍රකාශන
කවරය – සෞම්‍ය සඳරුවන් ලියනගේ
මිල – 450/

අනුරාධා නිල්මිණි

Related articles

” ‘කන්ද උඩ ගින්දර’ නවකතාව කියවාගෙන යද්දී ඉංග්‍රීසි සාහිත්‍යයේ ගොතික් සම්ප්‍රදාය මතක් වුණා”

නවකතාවන් අතර නිර්මාණයකට මෙහෙයවීම අසීරුම ලියවිල්ල ඓතිහාසික නවකතාව කියලා කීවෝත් ඔබ එකඟ වෙයි. ඓතිහාසික මූලාශ්‍ර මත පාඨක මනසෙහි...

“සෘතු සංහාරය” -(පරිවර්තනය) කරුණාරත්න අමරසිංහ

නූතන තාක්ෂණයේ වේගවත් දියුණවත් නවීන තාක්ෂණ මෙවලම් හඳුන්වාදෙනු ලැබීමේ වේගයත් හමුවේ අදවන විට මතුන ඇති අදහසක් වනුයේ සාහිත්‍ය...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ !

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක...

තරිඳුගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනස් පාරක යන හැඩක් !

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර උද්ඝෝෂණයක් ආවරණය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන පහරදීමේ සිදුවීම පිළිබඳ වූ මූලික අයිතිවාසිකම් නඩුව විභාගයට නොගෙන...