මිනිරන් වේඳනා මිනි

Share post:

“තාත්තේ මට කෙල්ලෙක් ඇඳල දෙන්නකෝ ..”
-පොඩි පුතුගෙ ඇවිටිල්ලක්.

තාත්තෙක් නොසිටිය
මං කොල්ලෙක් ව සිටි කාලෙදි
පන්සල් වගෙයි මට
අම්ම දුන් පැන්සල් මිටි

යළි හැරී
පුස් බැඳුණු මීදුම් පියස්සට

රිංගුවෙමි
ළමා සිනෙමාව අස්සට

යාවෙවී
එළි ඇබින්දෙන්
එළි ඇබින්දට
ගොඩවදිමි,පාදගත්
කඳු අගිස්සට

ඉනික්බිති

පැන්සල හගිස්සා
ඇමතුවෙමි
කෙල්ලොන්ව ඇඳපු
කොල්ලට

ඒත් කෝ ඒ කෙල්ලන් ?
කඳු පන්තියෙන් විමසමි

මිනිරන් වේඳනා
දෝනාව ඇසුරෙහි
රන් රූ මෙණෙවියෝ
පැන්සල් කූර මඩවති

“ඇඳපු හැම කෙල්ලම
අම්මලා වාගෙනෙ
මට ඇඳල ඕනේ
අම්මා වාගෙ කෙල්ලකි !”

..ඉහළ කඳු මුදුනට
නගින දිය ඇල්ලකි
කඳු නැතත් දිය නැතත්
හැම තැනම අම්මෙකි !!

තාත්තෙක් නොසිටිය
මං කොල්ලෙක්ව සිටි කාලෙදි
පින්සල් පියාපත්
පියා’දර සැරියකි ..

දයාබර පුතණුවනි
මට ඇඳිය හැකි මෙපමණි
අම්මා වාගෙ කෙල්ලක්
කෙල්ලගේ දූටයි ඇඳියැකි !!

-ටිම්රාන් කීර්ති .

“මදුරාවතී නම් තරු රටාව “
ප්‍රථම මුද්‍රණය -2023
ප්‍රකාශනය – විදර්ශන
කවර සැලසුම -ඩොමිනික් චන්ද්‍රසාලි

මිල – 450/.

පාඨක ,විචාරක ,විනිසුරු සභික ,පැසසුමට ,බුහුමනට පත් ,රාජ්‍ය සම්මානිත ,ඉමහත් රසිකාදරය දිනූ කවියෙකු වන,ටිම්රාන් කීර්ති ගේ පස්වන කාව්‍ය සංග්‍රහය තමයි ” මදුරාවතී නම් තරු රටාව “.

එක අතකින් හිතුවම මේ නම ම කවියක් නේද? මට නිකමට හිතෙනවා. හැම කවියෙකුට ම නැතිනම් කිවිඳියෙකුට ම තියෙනවා, තමන්ට ම අනන්‍ය එක්තරා දුර්ලභ විලාසයක්.

ඒක මේ මේ විදියය, මේ මේ බර ය කියල එළියෙන් ඉන්න අය වෙර දාල පැහැදිලි නොකෙරුවත් ,කවියට ළඟ ,කවියට බද්ධ බහුතරය අර රහස නිරවුල්ව දන්නවා.

ටිම්රාන් කීර්ති ,කියන කවියා ගැනත් ,ඒ හැඳුනුම එලෙසමයි.
රසයි,බරයි ,පැහැයයි පදමට පූරණය වෙලා තියෙන්නේ කොතැනද? අන්න එතැන නොවැරදීම කවියක් තියෙනවා .
ටිම්රාන්ගෙ පෙර ,හැම පොතකමත් අපට එහෙම ‘කවි ‘ අඩු වැඩි වශයෙන් හමුවුණා. ඒව ගැන අපි කතා කළා.බෙදාගත්තා .වැළඳ ගත්තා.සමහර ඒව ගැන රණ්ඩුත් කළා.

හැබැයි, මෙවර මේ පොතේ, තමන් ම ලියූ කවි තමන්ට කැමති කැමති තැන තමන් ට කැමති කැමති විදියට අතුරන්න, කවියෙන් ම මත්වුණු ටිම්රාන්ගෙ හිතට, මදුරාවතී ඉඩක් දීල නැති හැඩක් මට නිකම් පේනවා, පේනවා වගේ.

ටිම්රාන් කීර්ති නම්, කවියා, අනාගතයේ තව අවුරුදු දහයකින් ඉදිරියට ලියන කවියක ඉංඟිති, ටිම්රාන්ටත් නොදැනෙන්න, මදුරාවතී ඔහු ලවා, මෙහි ලියවාගෙන තියෙනවා.

උඩ තියෙන්නේ එහෙම එක කවියක්.!!
ටිම්රාන් මල්ලි,
ආදරෙයි, කියන එක තේරුමක් නෑ .
ඒක තුවාල වුණු තනි වචනයක් .
සම්බන්ධතා ගෞරවණීය වෙන්නෙ වචන අවසන් වෙන තැනින්.
තව තවත් ලියන්න

අනුරාධා නිල්මිණි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...