මතීෂ, චෙන්නායි සහ ශ්‍රී ලංකාව

Share post:

IPL තරගාවලිය ක්‍රීඩා කරමින් සිටිනා මතීෂ පතිරණගේ හැසිරීම සහ ප්‍රකාශ සමීපයෙන් නිරීක්ෂණය කිරීම අශ්වාදජනකයි.
මතීෂ ඊයේත් ඉන්දීය මාධ්‍යයට අපූරු ප්‍රකාශයක් කර තිබුණා.
එහිදී ඔහු කියා තිබුණේ ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ පියා මහේන්ද්‍ර සිං දෝනි ය යන්නයි.
නිවසේදී සිය පියා තමන් රැක බලා ගත්තාක් මෙන්, පිටියේ දී දෝනි තමන් ආරක්ෂා කරන බව ඔහු කියා තිබුණා.
එය මතීෂ ඔහුට දැනුනු, හැඟුනු දේ අනුව හදවතින්ම සිදු කළ ප්‍රකාශයක් විය යුතුයි.
එමෙන්ම ඔහු ඉතා සතුටින් සහ කැමැත්තෙන් චෙන්නායි කණ්ඩායමට ක්‍රීඩා කරන බවත් පැහැදිලියි.
චෙන්නායි කණ්ඩායමේ කහ පැහැති ජර්සියෙන් පන්දු යවද්දී ඔහු වෙනස් ක්‍රීඩකයෙන්.
ඔහුගේ ශාරීරික භාෂාව (Body Language) අනුව චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ඔහු දැඩි උණන්දුවකින් සහ කැපවීමකින් ක්‍රීඩා කරනා බව පෙනෙනවා.
ඔහු චෙන්නායි කණ්ඩායමේ ක්‍රීඩා කිරීම ඉතා සතුටින් සිදු කරනවා.
ක්‍රීඩකයෙකුට අත්‍යවශ්‍යම වන ක්‍රීඩාව වින්දනය කිරීම ඔහු චෙන්නායි කණ්ඩායමේ දී සිදු කරනවා.
එමෙන්ම චෙන්නායි කණ්ඩායම කෙරෙහි මතීෂගේ දැඩි ගරුත්වයක් පවතින බවත් පෙනෙනවා.
ජාතික කණ්ඩායමට පවා පෙර ඔහුට අවස්ථාව ලබා දීම, ඔහුව විශ්වාස කිරීම සහ ඔහුට ලබා දෙන ආදරය සහ පිළිගැනීම වැනි දෑ ඊට හේතු වෙන්නට ඇති.
මේ සියල්ල සමගින් මතීෂගේ මනසෙහි ප්‍රධාන කණ්ඩායම සහ නිවස බවට චෙන්නායි කණ්ඩායම පත් වී ඇත්දැයි සිතීමට සාධක පවතිනවා.
මතීෂ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා, චෙන්නායි කණ්ඩායමට බොහෝ සතුටින් ක්‍රීඩා කරනවා යැයි යමෙකු ප්‍රකාශ කළහොත් එය අතිශයෝක්තියක් නොවෙයි.
නමුත් මෙහි එක් කුඩා ගැටලුවක් තිබෙනවා.
IPL තරගාවලිය ලීගයක්.
එය අත්දැකීම් ලබා ගැනීමටත්, දක්ෂතා පෙන්වීමටත්, ක්‍රීඩකයෙකුට ආර්ථිකමය අතින් ඉතා ඉක්මණින් ස්ථාවර වීමටත් වැදගත්.
එනමුත් දිනය අවසානයේ එය තවත් එක් ලීගයක් පමණයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ වඩා වැදගත් වන්නේත්, ක්‍රීඩකයෙකුගේ නාමය (Legacy) ලියැවෙන්නේත් ජාතික කණ්ඩායම සමග ඔහු දක්වන දක්ෂතා අනුවයි.
ක්‍රීඩකයෙකුගේ නිවස සහ ඔහු වඩාත්ම සතුටින් ක්‍රීඩා කරනා ස්ථානය ජාතික කණ්ඩායම විය යුතුයි.
ඔහුට ක්‍රීඩකයෙකු ලෙස සාර්ථක විය හැක්කේ එවිටයි.
නමුත් මතීෂ චෙන්නායි ක්‍රීඩාගාරයේ සැහැල්ලුවෙන් සහ විශ්වාසයෙන් සිටීම ඔහුගේ වරදක් නොවෙයි.
එය ඇතැමෙක් කියනා පරිදි මුදල් සම්බන්ධ කාරණාවක් ද නොවෙයි.
එයට ප්‍රධාන හේතුව චෙන්නායි කණ්ඩායමෙන් ඔහුට ලබා දී තිබෙනා විශ්වාසය, පිළිගැනීම සහ ආදරය පමණයි.
මතීෂ තවමත් 21 හැවිරිදි යොවුන් ක්‍රීඩකයෙක්.
මහේන්ද්‍ර සිං දෝනි වැනි දැවැන්තයෙක්, එවැනි යොවුන් ක්‍රීඩකයෙකුට ලබා දෙන විශ්වාසය සහ මගපෙන්වීම ඒ වයසේ ක්‍රීඩකයෙකුට තදින් දැනෙනවා.
සැබැවින්ම මතීෂට දෝනි පියෙකු මෙන් පෙනෙනවා ඇති.
මතීෂට ඒ විශ්වාසය, මගපෙන්වීම සහ සහය ජාතික කණ්ඩායමේ දී ලැබුණා යැයි සිතිය නොහැකියි.
ජාතික කණ්ඩායමේ තරගයක් දෙකක් අසාර්ථක වෙද්දී, ඔහුගේ වයස නොසලකා ඔහු ඉලක්ක වුණා.
විවේචනයට ලක් වුණා.
එම නිසා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ වගකීම ඔහුට බරක් මෙන් දැනෙනවා ඇති.
එනමුත් ක්‍රීඩකයෙකු ලෙස මතීෂටත්, කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවටත් යහපත් ප්‍රතිඵල උදා වීමට නම් ඒ ආකල්පය වෙනස් විය යුතු එකක්.
එය මතීෂටවත් වඩා ශ්‍රී ලංකා කණ්ඩායම සහ එහි කළමනාකාරීත්වය විසින් සිදු කළ යුතු වැඩක්.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් සහ උපදේශකයන් ලෙස සනත් ජයසූරිය, මහේල ජයවර්ධන වැනි හිටපු ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම කටයුතු කරනවා.
මහේන්ද්‍ර සිං දෝනි විසින් චෙන්නායි කණ්ඩායමේ දී මතීෂට ලබා දෙන රැකවරණය සහ මගපෙන්වීම ශ්‍රී ලංකාවේ දී මේ ජ්‍යේෂ්ඨයන්‍ට ලබා දිය හැකියි.
කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ට සහ තේරීම් කමිටුවට ඔහුට විශ්වාසය ඇති කළ හැකියි.
චෙන්නායි කණ්ඩායමේ දී ඔහුට දැනුනු ආදරය, විශ්වාසය සහ පිළිගැනීම ශ්‍රී ලංකාවේදීත් ඔහුට දැනිය යුතුයි.
මේ රටට විශාල ජයග්‍රහණ ගෙන ආ හැකි, වටිනා ක්‍රීඩකයෙක්.
තවම ඔහුගේ ක්‍රීඩා ජීවිතය ආරම්භ වූවා පමණයි.
ඔහුගේ මනසට ලීග කණ්ඩායමක් ඔහුගේ ප්‍රියතම කණ්ඩායම වී, ජාතික කණ්ඩායම අනවශ්‍ය බරක් බවට පත් වීම ඔහුට මෙන්ම රටටත් සිදුවන අයහපතක්.
ඔහු ඉන් මුදවා ගත යුතුයි. ඔහු ඉන් මිදිය යුතියි.
එය පුද්ගලිකව මතීෂ ගේ මෙන්ම, ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ කළමනාකාරීත්වයේත් වගකීමක්.

ඉරේෂාන් සිරිවර්ධන

                    2024. 05. 04

Related articles

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි...

‘දුමිරියේ ප්‍රේමය’ – 8 A.M. Metro

දුමිරිය කියන්නේ තවදුරටත් මිනිසුන් එහා මෙහා ගෙනයන හුදු ප්‍රවාහන සේවාවක්ම නොවෙි. දුමිරිය යනු නූතනයේ මිනිස් සබඳතා නිර්මාණය කරන...

රතුපස්වල : මේජර් ජෙනරාල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් – වින්දිතයන් අභියාචනය කරන්න සූදානම් !

ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී කළ වෙඩි තැබීම අතරතුරදී තිදෙනකු ඝාතනය කිරීම සහ තවත් 50...