මාධ්‍ය මෙහෙයුමේ අරමුණ

Share post:

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක සහ නිත්‍ය නොම්මර තුන පිතිකරු කුසල් මෙන්ඩිස් සහභාගී වූ දෙරණ 360′ වැඩසටහන නැරඹුවා.
දෙරණ 360′ වැඩසටහන දේශපාලනික වැඩසටහනක්.
එය බොහෝ විට දේශපාලකයන් පොදුවේ තමන්ට ඇති චෝදනා වලට පිළිතුරු දීමට යොදාගන්නා වේදිකාවක්.
මන් හිතන්නේ ක්‍රීඩා කරනා ක්‍රීඩකයෙක් එයට සහභාගී වූයේ පළමු වතාවටයි.
ක්‍රීඩකයෙක් එවන් වැඩසටහනකට සහභාගී වීම තරමක ආන්දෝලනාත්මකයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වී සිටිනා ක්‍රීඩකයෙකුට හිතුමනාපයේ මාධ්‍යයට පැමිණ අදහස් ප්‍රකාශ කිරීමට නොහැකියි.
ඒ සඳහා ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පූර්ව අවසරයක් ලබා ගත යුතුයි.
එම නිසා කුසල් මෙන්ඩිස්ගේ 360′ ආගමනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ ආශිර්වාදය මත සිදුවූවක් බවට සැකයක් නැහැ.
එමෙන්ම කුසල් මෙන්ඩිස්ගේ පුද්ගලික කළමනාකරුවා ලෙස කටයුතු කරන්නේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක චරිතයක් ලෙසින් හැඳින්වෙන අසංක විජේවර්ධනයි.
අසංක මාධ්‍ය සහ සමාජ මාධ්‍ය සමඟ දැඩි සබඳතාවයන් නඩත්තු කරනා පුද්ගලයෙක්.
ඔහුගේ ක්‍රීඩකයන් බහුතරයකට සුවිශේෂී අවස්ථාවන් හිමිවීම පසුපස ඇති රහසත් ඔහුගේ ඒ මාධ්‍ය සහ සම්බන්ධතා කළමනාකරණය කිරීමේ හැකියාවයි.
කුසල් මෙන්ඩිස්ගේ 360′ ආගමනය අප කියවා ගත යුත්තේ එම පසුබිමේ සිටයි.
වැඩසටහනේ පළමු මිනිත්තුවේ සිටම කලිඳුගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේ අප දන්නා හඳුනන කුසල් මෙන්ඩිස් නොවෙයි.
එහි සිටියේ ඉතා ප්‍රවේශමෙන් වචන හසුරවන, සාම්ප්‍රදායික දේශපාලක පන්නයේ කථිකයෙක්.
කුසල් මෙන්ඩිස්ට සාමාන්‍ය සමාජයෙන් සහ රසිකයාගෙන් එල්ල වන චෝදනා සියල්ල කලිඳු මෙහිදී ඔහු ඉදිරියේ සම්මුඛ කළා.
එම ප්‍රශ්න වලට සංවේදී වෙමින්, විටෙක පසුතැවිලි වෙමින්, මනා සංයමයකින් කුසල් මෙන්ඩිස් පිළිතුරු ලබා දුන්නා.
ඔහු මහා සමාජයේ සහ රසිකයා අතර පිළිකුලට ලක්වූ හැසිරීම් පිළිබඳවත් කුසල් මෙන්ඩිස් මෙහිදී පසුතැවීමකින් අදහස් දක්වනු දැක ගත හැකි වුණා.
ලාංකේය සමාජයේ හැසිරීම ඉතා සරලව කියවා ගත හැකියි.
ඔවුන් ආඩම්බරකාර, ජේත්තුකාර හෝ එසේ පෙනෙනා චරිත සෑම විටකම ප්‍රතික්ෂේප කරනවා. එවැනි පුද්ගලයන්ට අවස්ථාවක් ලද සැණින් පහර දෙනවා.
එමෙන්ම ඔවුන් සරල, නිහතමානී, අහිංසක හෝ එසේ පෙන්වන පුද්ගලයන්ට සෑම විටකම අනුකම්පා කරනවා.
එවැනි පුද්ගලයින්ට ඉතා පහසුවෙන් ලාංකේය සමාජයේ සමාව හිමි වෙනවා.
ඔවුන්ට නිරතුරුවම හුදී මහජනයාගෙන් ආදරය, අනුකම්පාව සහ අවස්ථාවන් හිමි වෙනවා.
මේ බව කියවා ගන්නා ඇතැම් පුද්ගලයින් ලාංකික සමාජයේ ඒ පොදු මනෝභාවය අවභාවිතා කරමින් වංචනික ක්‍රියා සිදුකළ අවස්ථා ඕනෑ තරම්.
එමෙන්ම ඇතැම් කළු චරිත, නිහතමානී සහ අහිංසක ස්වරූපයෙන් සමාජය ඉදිරියේ පෙනී සිටිමින් ලාංකිකයාගේ ආදරය දිනූ අවස්ථා ද ඕනෑ තරම්.
කුසල් මෙන්ඩිස් එවැනි ගැඹුරු කියවීමක් සහ දෘෂ්ටියක් ඇති පුද්ගලයෙකු ලෙස මා දකින්නේ නැහැ.
එනමුත් ඔහුගේ කළමනාකරු අසංක විජේවර්ධන සහ ඔහුගේ පියා ඒ කලාව හොඳින්ම හඳුනනවා.
මාගේ කියැවීමට අනුව ඊයේ කලිඳු ඉදිරියේ පිළිතුරු ලබාදුන්නේ කුසල් මෙන්ඩිස් නොවෙයි, ඔහුගේ කළමනාකරුයි.
කුසල් මෙන්ඩිස්ගෙන් පිටවූයේ අසංක විජේවර්ධනගේ වචනයි.
කුසල්ට එරෙහිව පැවැති දරුණුම චෝදනාවක් වූයේ ඔහු විසින් සිදු කළ ‘ක්‍රිකට් දන්නා අය පමණක් මා සමග සිටීවි’ යන ප්‍රකාශයයි.
එය ඔහු එක්වරක් පමණක් සිදුකළ ප්‍රකාශයක් නොවෙයි.
බොහෝ අවස්ථාවන්හි එම ප්‍රකාශයට සමාන අදහස් ඔහු ප්‍රකාශ කළා.
ඊයේ වැඩසටහනේදී කුසල් මෙන්ඩිස් එම ප්‍රකාශය පිළිබඳ ප්‍රසිද්ධියේ පසුතැවිලි වුණා.
එමෙන්ම තමන්ට වරදක් සිදුවූ බවත්, ලාංකිකයන් හොඳින් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ හැදෑරීමක් ඇති පිරිසක් බවත් කුසල් ප්‍රකාශ කළා.
එනමුත් එය ඔහුගේ අවංක අදහසක් වීමට ඇති ඉඩ ඉතා අඩුයි.
එමෙන්ම කුසල් මෙන්ඩිස්ගේ ක්‍රීඩා දිවියේ ඊළඟට ඇති කළු පැල්ලම ඩර්හැම් සිගරැට්ටුවයි.
එම සිදුවීම පිළිබඳවත් කුසල් ඊයේ පසුතැවිලි වුණා.
එපමණක් නොවෙයි, ඔවුන් වීඩියෝ ගත කර සමාජජාලා මාධ්‍යයට එක් කළ පුද්ගලයාටත් කුසල් ස්තුතී කළා.
එය අතිශය සැක උපදවන හැසිරීමක්.
අප දන්නා හඳුනන කුසල් එවැන්නෙක් නොවෙයි.
එමෙන්ම දිගු කාලයක් කණ්ඩායමේ ප්‍රධානතම පිතිකරණ ස්ථානය වන නොම්මර තුන ස්ථානයේ ක්‍රීඩා කළත්, ලකුණු 32ක් වැනි නූතන ක්‍රිකට් ක්‍රීඩාවට කිසිසේත්ම නොඔබිනා පිතිකරණ සාමාන්‍යයක් (Average) පැවතීම පිළිබඳවත් කුසල්ට නිදහසට කරුණක් තිබුණා.
එහිදී කුසල් විසින් ප්‍රකාශ කළේ තමන් ලකුණු පනහ, ලකුණු සියය වැනි පුද්ගලික සන්ධිස්ථාන උදෙසා ක්‍රීඩා නොකරන බවත්, කණ්ඩායමට අවශ්‍ය ඉනිම ක්‍රීඩා කිරීමට යන නිසා තමන්ගේ පිතිකරණ සාමාන්‍ය මෙලෙසින් අඩු අගයක් වී ඇති බවයි.
එය අතිශය වංචනික අදහසක්.
තමන් පිළිබඳව අවංක ස්වයංවිවේචනයක් ඇති පුද්ගලයෙකු විසින් කිසිදිනෙක ලබා නොදෙන පිළිතුරක්.
ලෝකයේ සෙසු සෑම කණ්ඩායමකම ඉදිරිපෙළ පිතිකරුවන්ගේ සාමාන්‍ය කුසල් මෙන්ඩිස්ට වඩා වැඩියි.
කුසල්ගේ තර්කය නිවැරදි නම් ඔවුන් සියලුම දෙනා කණ්ඩායම ගැන නොසිතා පුද්ගලික සන්ධිස්ථාන උදෙසා ක්‍රීඩා කරන ආත්මාර්ථකාමී ක්‍රීඩකයන්.
නමුත් එය එසේ නොවන බව අප දන්නවා.
කණ්ඩායමක් තරගයක් ජයග්‍රහණය කරන්නේ යම්කිසි ක්‍රීඩකයෙකු ලකුණු පනහක්, සියයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාගත් විටෙක මිසෙක ඉදිරිපෙළ පිතිකරුවන් ලකුණු තිහට දැවී ගිය අවස්ථාවක නොවෙයි.
අවම වශයෙන් කුසල් සතුව ඉතා ඉහළ පන්දුවට පහර දීමේ වේගයක් (Strike Rate) හෝ පැවතුනා නම් ඔහුගේ ප්‍රකාශයට යම්කිසි පදනමක් ඇතැයි අපට සිතිය හැකියි.
නමුත් කුසල් මෙන්ඩිස්ගේ පන්දුවට පහර දීමේ වේගය 86.60 යි.
එනම් ඔහු ලකුණු 32ක් ලබා ගැනීමට ගැනීමට පන්දු 40ක් පමණ වැය කරනවා.
එය කිසිසේත්ම ජයග්‍රාහී හෝ කණ්ඩායමට අවශ්‍ය ඉනිමක් නොවෙයි.
එමෙන්ම ඔහුගේ මේ අසාර්ථකත්වයෙන් මිදීමට සිදු කරන්නේ කුමක්දැයි ඇසූ විට කුසල් මෙන්ඩිස් කීවේ තමන් නිරතුරුවම හිටපු ක්‍රීඩකයන්ගෙන් අවවාද සහ අනුශාසනා ලබාගන්නා බවයි.
එහිදී තමන්ට ඒ සඳහා මඟ පෙන්වන පුද්ගලයා ලෙස සිය කළමනාකරුවාගේ නම සඳහන් කිරීමටත් කුසල් කටයුතු කළා.
ලාංකිකයා නිහතමානීත්වයට ආදරෙයි.
මේ පිළිතුරෙන් කුසල් මෙන්ඩිස් තමන් ඉතා නිහතමානී, රසිකයන්ගේ වීරයන් වූ හිටපු ක්‍රීඩකයන්ගෙන් පවා අවවාද සහ අනුශාසනා ලබා ගැනීමට සූදානම් ක්‍රීඩකයෙක් බව නොකියා කියනවා.
එමෙන්ම ඒ සඳහා තමන්ට මග පෙන්වන සිය කළමනාකරුවා අසංක විජේවර්ධන, රසිකයන් සිතා සිටිනා තරම් කළු චරිතයක් නොව නිහතමානී සුදු චරිතයක් බවටත් කුසල් හඟවනවා.
මේ වචන කුසල් මෙන්ඩිස්ගේ නොව අසංක විජයවර්ධනගේ වන්නේ ඒ නිසයි.
ඊයේ වැඩසටහන පුරාවටම කුසල් මෙන්ඩිස් විසින් ලබා දුන් සෙසු පිළිතුරු සහ ගොඩනැගූ තර්කත් මෙවැනියි.
ඒවා කිසිසේත්ම අවංක වූයේ නැහැ.
කුසල් මෙන්ඩිස් තුළින් අවංක ස්වයං විවේචනයක් හෝ පසුතැවීමක් දුටුවේ නැහැ.
ඒ වනවිට රසිකයාගේ හදවතට කතා කරනා, ගැලරිය පිනවන, පෙර සුදානම් කර පැමිණි ව්‍යාජ පිළිතුරු ඔහු සතුව තිබුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගෙන් කොතරම් විශේෂ සැලකිලි සහ වරප්‍රසාද හිමි වූවත් මේ ගතවන්නේ කුසල් මෙන්ඩිස්ගේ ක්‍රීඩා දිවියේ තීරණාත්මක කාල පරිච්ඡේදයක්.
තවදුරටත් අසාර්ථක වීම තුල කුසල් රැකගැනීමට ක්‍රිකට් බලධාරීන්ට පවා අපහසුයි.
එතරම් දැඩි රසික අප්‍රසාදයක් ඔහු වටා ගොනුව තිබෙනවා.
මේ මොහොතේ කුසල් මෙන්ඩිස්ට සබඳතා වලින් පමණක් සිය ක්‍රිකට් ජීවිතය රැකගත නොහැකියි.
ඒ සඳහා ඔහුට රසික විරෝධය කළමනාකරණය කළ යුතුමයි. රසිකයන්ගේ ආදරය හෝ අවම වශයෙන් අනුකම්පාව හෝ දිනාගත යුතුමයි.
මින් පෙර අසංක සිය ක්‍රීඩකයන් සමඟ දුෂ්කර පාසල් වලට ගොස් එහි දරුවන්ට ක්‍රීඩා උපකරණ බෙදා දුන්නා.
ඒ සඳහා ඉහළ මාධ්‍ය ප්‍රචාරයක් ද හිමි වුණා.
ඊයේ කුසල් මෙන්ඩිස් සහභාගී වූ 360′ වැඩසටහන ද ඉන් වෙනස් වන්නේ නැහැ.
මේ සියල්ල රසිකයාගේ අනුකම්පාව සහ ආදරය දිනා ගැනීමට සිදු කරනා මාධ්‍ය මෙහෙයුම් පමණයි.
එය කොතරම් දුරට සාර්ථක ද යන්න එළබෙන ලෝක කුසලානයේ දී දැක ගත හැකියි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...