‘මගහැරුණු දූපත්’ – ප්‍රභාත් ජයසිංහ

Share post:

සිංහල කෙටිකතාවේ බෙහෙවින්ම අගය කළ යුතු දායකත්වයන් වැඩි වශයෙන්ම දක්නට ලැබෙනා අවධියක් ලෙස පසුගිය දශකයෙන් ඇරඹි කාලය සැලකිය හැකිය. එහිදී කෙටිකතාවෙහි අන්තර්ගතය මෙන්ම ආකෘතියද සම්බන්ධයෙන් අත්හදාබැලීම් කරමින් කෙටිකතා කලාවෙහි සිය සන්නාමය සටහන් කළ නිර්මාණකරුවන් සහ නිර්මාණකාරියන් ගණනාවකි. ප්‍රභාත් ජයසිංහ අයත් වනුයේ මේ කණ්ඩායමෙහි ඉහලින්ම කැපී පෙනෙනා කෙටිකතාකරුවන් අතරටය. සිය සමකාලීන අනෙක් කෙටිකතාකරුවා වන ලිනයගේ අමරකීර්ති මෙන්ම ප්‍රභාත් ද ලිවීම නොව ලියන ආකාරය කෙරේ විමසිලිමත් වන්නට පාඨක උනන්දුව අවුළුවන අයුරින් ලියන්නට සමතෙක් බව කිව යුතුය.

ප්‍රකට ලේඛක ඉෂාක් බෂෙවිස් සිංගර් තම කෙටිකතා එකතුවක පෙරවදනේ මෙසේ අදහසක් පල කරයි.

‘වර්තමානයේ කෙටිකතාවට පොදු පිලිගැනීමක් නොමැති වුවද මම එය නිර්මාණශීලී ලේඛකයා හට උපරිම මට්ටමින් අභියෝගයක් වන්නේ යයි තවමත් විශ්වාස කරමි. දීර්ඝව කෙරෙන ප්‍රස්තුතයෙන් පිට පැනීම් සහ අතීතාවලෝකනයන් සහ ලිහිල් ගොඩනැංවීම් උකහා ගන්නට, වෙනකක් තබා ඒ ඉවසන්නට හැකියාව ඇති නවකතාව මෙන් නොව කෙටිකතාව කෙලින්ම එහි කූඨප්‍රාප්තිය ඉලක්ක කළ යුතුය. එසේම එය කිසි විටෙක බි‍ඳී නොයනා ලෙස ආතතිය සහ සංශයතාව පවත්වා ගත යුතුය. තවද එහි සාරය විය යුත්තේ ලුහුඬුබවයි. කෙටිකතාවකට අනිවාර්යයෙන්ම නිශ්චිත සැලසුමක් තිබිය යුතුය. කෙසේවත් එය සාහිත්‍ය ප්‍රලාපයන්හී කියැවෙන පරිදි පීවිතයෙන් පෙත්තක් විය නොහැකිය. කෙටිකතා කලාවෙහි සුරුවන් වූ චෙකෝෆ් සහ මෝපසාන්ට් මෙන්ම උත්පත්ති කතාවෙහි එන ජෝශප්ගේ කතාවෙහි උත්කෘෂ්ඨ ධර්මාචාර්යවරයාද තමන් යන්නේ කොතනටදැයි මනාව දැන සිටියෝය. එහෙයින් යමකු හට කම්මැලිකමකින් තොරව ඒවා යළි යළි කියවිය හැකිය. පොදුවේ ගත් කළ ප්‍රබන්ධය කිසි විටෙක හෝ විශ්ලේෂී නොවිය යුතුය. සත්‍ය වශයෙන් ගත් කල ප්‍රබන්ධ රචකයා මනෝවිද්‍යාව සහ එහි නෙක අදහස් තම ප්‍රබන්ධයට කවන්නට පවා තැත් නොදැරිය යුතුය. අව්‍යාජ සාහිත්‍යය යමක් දන්වා සිටින අතරම වින්දනයද ලබාදෙයි. එසේම එය සුපැහැදිලි සහ විචක්ෂණ මෙන්ම ගැඹුරු විය යුතුය. එයට අහම්බය අරමුණ සමග බද්ධ කිරීමට මෙන්ම සැකය විශ්වාසය සමග , ශාරීරික ලාලසාව ආත්මයේ ප්‍රාර්ථනාවන් සමග මුහු කරන්නට හැකි මායා බලයක් තිබේ. එය අද්විතීයය, එපරිදිම පොදුය, ජාතික වන තරමටම විශ්වීයය, තාත්වික වන තරමටම ගුප්ත ය. එය අන් අයගේ විවරණයන් ඉවසන අතරම කිසිවිටෙක හෝ ස්වයං විස්තර කිරීමට තැත් නොකල යුතුය. මේ පැහැදිලි සත්‍යයන් අවධාරණය කළ යුත්තේ ව්‍යාජ විවේචනයන් සහ ව්‍යාජ නිර්මාණශීලීත්වය අපේ පරම්පරාව තුළ සාහිත විස්මෘතියක් නිර්මාණය කර ඇති හෙයිනි. පණිවුඩ සැපයීම කෙරේ වන උද්යෝගය මගින් බොහෝ ලේඛකයන් හට කතන්දර කීම යනු කලාත්මක ගද්‍ය රචනයේ පැවැත්මේ මූලික සාධකය බව අමතක කරවයි. ‘

ප්‍රභාත්ගේ කෙටිකතා කියවන විට සිංගර්ගේ අදහස වරින් වර සිහිපත්වීම වැලැක්විය නොහැකිය. ප්‍රභාත් සිය නවතම කෙටිකතා එකතුව වන මගහැරුණු දූපත්හී අපට ඉදිරිපත් කරනා කතා කිහිපය කෙටිකතාකරුවකු හට සිය ව්‍යායාමයේදී ස්පර්ශ කළ හැකි අතිශය පුළුල් එසේම බොහෝ කොට අපට මගහැරෙන කලාපයන් අපූර්ව ලෙස ආවරණය කරයි. ඔහුගේ කතා තුළ දක්නට ලැබෙන විශේෂතම ලක්ෂණය වනුයේ මනුෂ්‍ය ජීවිතයේ යටපත්ව ඇති, නැතිනම් යටපත් කර ඇති නෙක හැඟීම් කෙරේ දක්වන ආශක්ත බවයි. සරල, සම්ප්‍රදායික නැතිනම් ආයතනගත ශික්ෂණයන්ගෙන් මෙහෙයවනු ලබනා සමාජයක මතුපිටින් දියුණු සේ පෙනන එහෙත් අභ්‍යන්තරයෙන් මුළුමනින්ම දිරා යන පැවැත්මක ගොදුරු බවට පත් මිනිසා තමන් සොයා යන ගමන, නිදහස්වීමට දරනා තැත මෙන්ම ජීවන පැවැත්මට අත්‍යවශ්‍ය සංවේදනයන් වෙත දක්වන ලාලසාව මේ කතා තුල නොයෙක් ආකාරයෙන් මතු වෙයි. ඔහු සිය නිර්මාණ හරහා සෘජුව යමක් කීමට වඩා සංඥා කිරීමට නැතිනම් කිසියම් මගක් වෙත ඉඟි කිරීමට නැඹුරුවක් දක්වන අතරම ඒ පිවිසුම පෙරලා පාඨකයාගේ පරිකල්පනීය ලෝකයට විවිධ අවස්ථා විවර කරන්නේ කතාවෙහි සීමාවන්ද ඉක්මවා වඩාත් විවෘත වූද, නව්‍ය වූද හැඟීම් කලාපයක් කරා ඔහු කැඳවාලමිනි.

පාලම උඩ සහ පාලම යට යන කෙටිකතාව මිනිස් ජීවිතය පිළිබ‍ඳව වන සංකීර්ණ කියවීමකි. යහපත් නැතිනම් සද්භාවයෙන් මෙහෙයවෙන මිනිසකුගේ ජීවිතය තමන්ගේ ජීවිතයේ මුඛ්‍ය අරමුණ බවට පත් කරගන්නා ක්‍රියාව හරහාම යළි ව්‍යාජයක් නැතිනම් තමන්ම කොටුවන උගුලක් බවට පත්වන ආකාරය නිරූපිත මේ කතාව මිනිස් පැවැත්මේ සංකීර්ණත්වය මෙන්ම නූතන සමාජයේ නෙක බලවේගයන් හමුවේ ඇතිවන විකාරරූපී ව්‍යසනයන් ගැනද අවධානය යොමු කරයි. විශේෂයෙන්ම මේ කතාවෙහි එන මාධ්‍ය මැදිහත්වීම නූතන මිනිසාගේ ජීවිතයට මාධ්‍ය ය යන්න කෙතරම් තදින් බලපෑම් කරන්නේද එසේම ඉන් එය කෙතරම් බරපතල ඛේදයක් බවට පත් කරන්නේද යන්න ගැන අගනා කියවීමක්ද ඉදිරිපත් කරයි. කා බී සසඟෙහි යෙදීමත් රොබින්සන් කෘසෝ පන්නයේ ජීවිත අත්පත් කරගැනීමත් ඒකායන අරමුණ බවට පත් කර ඇති සමාජයක මිනිස් ජීවිතයෙහි මතුවන විවිධ උච්චාවචනයන් සහ ඒ හමුවේ මිනිසා අත්විඳින බරපතල කම්පනයන් යමකුගේ ජීවිතයෙහි මග නොමග තීරණය කරන ආකාරය ප්‍රභාත්ගේ කෙටිකතාවලින් ඉස්මතුව පෙනෙයි.
මගහැරුණු දූපත්හී අපට හමුවන බොහෝ චරිත යනු කැබලිව ගිය ජීවිතයන්ය. මතුපිටින් බලන කල ඉතා සාමකාමී නැතිනම් නිසංසල ලෙසින් ගෙවෙනා ජීවිත තුළ ඇති නාය යාම්, කඩතොලු මෙන්ම ඒ හමුවේ නැවත ජීවිතය සොයා යන්නට වෙර දරනා චරිත මේ කතා තුළින් අප අමතයි. විටෙක ඒ යුද්ධයේ ගොදුරක් බවට පත් දරුවෙකි. විටෙක ප්‍රේමයේ ගැඹුර කණින්නට තැත් දරනා කතකි. හිමිවීම යයි සිතනා දේ තුළම වන අහිමිවීම හමුවේ සැබෑ ආදරය ජීවිතය කුමක්දැයි සොයනා චරිතය. මේ චරිත එකිනෙක ගැටීමේදී අපට හමුවනුයේ ශාස්තෘන්, මග පෙන්වන්නන් නොව එක හා සමාන අත්දැකීම් වි් ඳින එහෙත් හුදෙකලා දූපත් සේ තනිව වසනා චරිතය. ප්‍රභාත් ඒ චරිත එකිනෙක සම්මුඛ කරවයි. ඉන් ඔහු අපට වෙනස් කියවීමකට ඉඩ සලසයි. මචං යනු ඒ සඳහා හොඳම උදාහරණය සපයන කෙටි කතාවයි.

සිසිලාග්නි නමින් එන කෙටි කතාව සමාජ ආකල්ප, පවුල් තුළ වන සම්මත ආකල්ප පොදු සමාජයේ තහවුරුව ඇති සම්මතයන් ආදිය මැද වෙනස් පැවැත්මක් සහිත ජීවියකුගේ අසීරු දිවි සැරියක පුවත හරහා ඒකමානීය සමාජයක් වෙත උත්ප්‍රාසාත්මක විවේචනයක් ගෙන එයි. ඒ කතාව එක්තරා ආකාරයකින් පුද්ගල අභ්‍යන්තරය විනිවිදින ඒ සමගම සමාජයේ තහවුරුව ඇති බලකොටු වල පෙඳ පාසි ගලවා දමන්නකි. මේ කතාවෙහි අනුවේදනීය පාර්ශවය වනුයේ සිය අනන්‍යතාව සොයනා නර්තන ශිල්පියාගේ ආත්ම කථනයයි.

ප්‍රභාත්ගේ කෙටිකතාවන්හී දක්නට ලැබෙනා විශේෂම ලක්ෂණය වනුයේ ඔහු සිය කතාව ගොඩනංවනා ආකාරයයි. ඉතා සුළු සේ පෙනෙන සිදුවීමකින් සිය කතාව අරඹන ඔහු ඒ සමගින්ම සිය කතාව තියුණු හැරවුමක් සහිතව බරපතල සමාජ කියවීමක් බවට පත් කරන්නට සමත්වෙයි. පතුලක් නැති ළිඳ කතාවෙහිදී ඔහු අපට බොහෝ සේ හුරු සිවිල් යුද්ධය පොදු මනුෂ්‍ය ඛේදයක් සේ පෙනෙන අයුරින් ස්ථාන, පුද්ගල නාම ආදිය පසෙක ලා විශ්වීය අත්දැකීමක් බවට පත් කරයි. ඒ කතාව කියවන පාඨකයා හට උතුර මෙන්ම ගාසා තීරයද යුක්රේන රුසියා යුද බිමද සිහිපත්වීම වැලැක්විය නොහැකිය. එසේම මේ කතාවෙහි ප්‍රධාන චරිතයේ හුදෙකලාව, සිය පවුලේ අය අහිමිවීම තුළින් ඔහු විඳිනා වේදනාව සිතුවම් කිරීම පිණිස ඔහු ළිඳට එබී එහි දකිනා තනි පිලිබිඹුව හමුවේ අත්විඳින සංවේදනයන් කදිමට භාවිතා කරයි. ඇලෙක් මෙන්ම වන්නකුද යුද්ධයේ ගොදුරු බවට පත් හුදෙකලා චරිත වන අතරම ඒ හුදෙකලාවම ඔවුන් එකිනෙකාට සමීප කරවන ආකාරය විසල් සිදුවීම් තුළ මගහැරෙනා ඉතා සියුම් අවස්ථාවන්හී වැදගත්කම මනාව පෙන්වා දෙන්නකි.
අද අප ජීවත්වනුයේ දැවැන්ත අපේක්ෂාවන් කරපින්නාගත් ඒ අතරම අපේක්ෂා භංගත්වය සෑම මිනිත්තුවක් පාසාම දොරට සන් කරනා අවධියකය. මේ අවධියෙහි අති බහුතරයකගේ ප්‍රාර්ථනාව වන්නේ සාමූහිකත්වය නොව කේවල උත්සාහයන් හරහා කෙසේ හෝ ස්වර්ගයේ දොරටු විවර කර ගැනීමය. දිනපතාම අපි මේ උත්සාහයේ විවිධ මංසන්ධිවල ඇද වැටෙමින් තුවාල කරගනිමින් සුසුම්ලමින් එහෙත් යළිත් පිම්මක් පනින්ට තැත් කරමින් සිටිමු. ඒ අතරේ ප්‍රභාත් සිය කෙටිකතා හරහා අපට මේ වේගී ගමනෙහිදී නොදැනීම පසුව යන අතිශය වැදගත් නිමේෂයන් ගැන සිහිපත් කරවයි. අවබෝධය, ආදරය, අනෙකා වෙනුවෙන් එක් මිනිත්තුවක් කැපකිරීමට වන සූදානම මෙහිලා ප්‍රධානය. ඉදින් අප මේ කෙටිකතා කියවන්නට වෙලාවක් වෙන් කරන්නට සූදානම් නම් අපට මේ මගහැරුණු දූපත් තුළදී අපේම සෙවණැලි දකින්නට ඉඩ ලැබෙනු ඇත.

චූලානන්ද සමරනායක

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...