“අපි පොහොසත් ක්‍රීඩකයන්. අප දුප්පත් රටවලට යන්නේ නැහැ”- ශෙවාග්

Share post:

ක්‍රිකට් ගහන කාලේ විරේන්දර් ශෙවාග් භයානක පිතිකරුවෙක්.
සනත් ජයසූරිය හඳුන්වා දුන් ප්‍රවේගකාරී ආරම්භය අනුගමනය කළ පිතිකරුවෙක්.
එකල ඔහු මුහුණ දුන් පළමු පන්දුවේ සිටම ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළා.
බොහෝ තරග වල ඔහු මුහුණ දුන් පළමු පන්දුව හතරේ පහරක්.
2007 වසරෙන් පසුව ඇරඹි ඉන්දීය ක්‍රිකට් ස්වර්ණමය යුගයේ විරේන්දර් ශෙවාග් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා.
පසුව ඉන්දියානු රසිකයන් ඔහු සනත් ජයසූරියටත් වඩා ඉහළින්, නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ පියා ලෙසින් භෞතිස්ම කිරීමටත් උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ.
ලොවම තමන් වටා කේන්ද්‍ර ගත කර ගැනීමට උත්සාහ කිරීම ඉන්දියානුවන්ගේ සිරිත.
ශෙවාග් ඉන්දියාව ජය ගත් 2007 T20 ලෝක කුසලාන කණ්ඩායමේත්, 2011 ලෝක කුසලාන කණ්ඩායමේත් වැදගත් සාමාජිකයෙක්.
සුදු පන්දු ක්‍රීඩාවට පමණක් නොව, රතු පන්දු ක්‍රීඩාවටත් ඔහු දක්ෂ වුණා.
සනත් ජයසූරිය මෙන්ම ඔහු ද ටෙස්ට් ත්‍රිත්ව ශතකයක් රැස් කර තිබෙනා පිතිකරුවෙක්.
ශෙවාග් වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ 1999 වසරේ දී.
එකල ඉන්දියාව ක්‍රිකට් ලෝකයේ මහා දැවැන්ත ගාමක බලයක් නොවෙයි.
අඩු සැලකිලි වලට පාත්‍ර වූ රටක්.
ශෙවාග් 2013 වසරේ ක්‍රීඩාවෙන් සමු ගත්තා.
ඒ වනවිට ඉන්දියාව ක්‍රිකට් ලෝකය හැසිර වූ, ක්‍රිකට් ක්‍රීඩාවේ ‘මහා කෙරුමා’ වී සිටියා.
එතැන් සිට අද දක්වාම පවතින්නේ ඉන්දීය ක්‍රිකට් අධිරාජ්‍යයක්.
විරේන්දර් ශෙවාග් ක්‍රීඩාව අරඹද්දී, ඉන්දියාව ක්‍රිකට් ලෝකයේ නොයෙකුත් තාඩන පීඩන වලට මුහුණ දුන් රටක්.
විශේෂයෙන්ම එංගලන්ත, ඕස්ට්‍රේලියානු සංචාර වල දී එරට මාධ්‍යය, රසිකයන් සහ ක්‍රීඩකයන් දක්වා සියලූම දෙනා ඉන්දියාව දැඩි ලෙස අපහාසයට ලක් කළා.
පිටිය තුල සිදුවන වාග් ප්‍රහාර තුල (Sledging) පොදුවේ ඉන්දියානුවන්ගේ දුප්පත්කම සහ නොයෙකුත් සමාජීය ගැටලු පවා ඉලක්ක වුණා.
ඉන්දියානුවන්ගේ හමෙහි පැහැයේ සිට සහ ඔවුන්ගේ ඉංග්‍රීසි උච්ඡාරණ විලාසයට පවා ඔවුන් හිනා වුණා.
පිටිය තුලත් විනිසුරුවරුන්ගේ විශේෂ සහයක් එම ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තයට තිබුණා.
ක්‍රිකට් ක්‍රීඩාවේ පාලකයන් සහ පියවරුන් වූයේ ඔවුන්.
එකල ඉන්දියාව එතරම් ගණන් ගත් රටක් නොවෙයි. ක්‍රිකට් ලෝකයේ දී ඔවුන් තෙවන පන්තියේ රටක්.
එම නිසාම ඉන්දියාවට සිය සදාතනික සතුරා වන පාකිස්තානයටත් වඩා සතුරුකමක් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය සමග තිබුණා.
ශෙවාග් ක්‍රීඩාවෙන් සමු ගනිද්දී සියල්ල වෙනස් වෙලා.
2008 වසරේ දී IPL තරගාවලිය ආරම්භ වුණා.
ක්‍රිකට් ක්‍රීඩාවේ මහා ධනස්කන්දය ඉන්දියාව වටා කේන්ද්‍ර ගත වුණා.
බිග් ත්‍රී පනත සම්මත වුණා.
අයි.සී.සී යේ බලය නිල වශයෙන්ම ඉන්දියාවට හිමි වුණා.
එකල ටෙස්ට් පිටියේ ඉන්දියානුවන් අරඹයා දැඩි වාග් ප්‍රහාර එල්ල කළ
ඕස්ට්‍රේලියානුවන් සහ ඉංග්‍රීසි ජාතිකයන් මුදල් සොයා ඉන්දියාවට පැමිණියා පමණක් නොව බොලිවුඩ් ගීත වලට පවා නර්ථනයේ යෙදුණා.
ඩේවිඩ් වෝර්නර් ලා, ඒ.බි ඩීවිලියර්ස් ලා ‘දීපවාලි’ සැමරුවා.
කෙවින් පීටර්සන් ලා සිය රට වෙනුවට අයි.පී.එල් තරගාවලිය තෝරා ගත්තා.
විරේන්දර් ශෙවාග් මේ වෙනස සජීවීව අත් විඳි පුද්ගලයෙක්.
ඔහු 90 දශකයේ අග භාගයේ සහ 2000 දශකයේ මුල් කාලයේ ඉන්දියාව විඳී තාඩන පීඩන මෙන්ම, 2000 දශකයේ අග භාගයේ සිට ඉන්දියානු ක්‍රිකට් අධිරාජ්‍යයේ ආශ්වාදයත් අත්විඳි පුද්ගලයෙක්.
අප විරේන්දර් ශෙවාග් ගේ වර්තමාන හැසිරීම කියවා ගත යුත්තේ එතැන් සිටයි.
ක්‍රීඩාවෙන් සමුගත් ශෙවාග් ට්විටර් අඩවියට පැමිණියා. එහි ඉතා ක්‍රියාකාරී සාමාජිකයෙක් වුණා.
ඔහුගේ හාස්‍යය මුසු ට්විටර් පණිවිඩ වලින් නිරතුරුවම පකිස්තානය මෙන්ම ඕස්ට්‍රේලියාව සහ එංගලන්තයත් ඉලක්ක කෙරුණා.
ඉන්පසුව ඔහු ඉන්දීය ස්ටාර් ස්පෝර්ට්ස් නාළිකාවේ විචාරකයෙකු ලෙස එකතු වුණා.
ඊයේ ඇඩම් ග්‍රිල්ක්‍රිස්ට් හමුවේ ශෙවාග් කියූ කතාවක් බොහෝ දෙනාගේ කතාබහට ලක් වී තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩා කරන ලොව සෑම රටකින්ම පාහේ ක්‍රීඩකයන් පැමිණ IPL ක්‍රීඩා කළත්, වෙනත් රටක ලීගයක ක්‍රීඩා කිරීමට ඉන්දීය ක්‍රීඩකයන්ට වරම් නැහැ.
ඒ පිළිබඳව ඇසූ ග්‍රිල්ක්‍රිස්ට් ට ශෙවාග් ලබා දුන්නේ අපූරු උත්තරයක්.
“ඉන්දියානුවන්ට වෙනත් ලීග ක්‍රීඩා කිරීමට අවශ්‍ය නැහැ.
අපි පොහොසත් ක්‍රීඩකයන්. අප දුප්පත් රටවලට යන්නේ නැහැ.
වරක් මට බිග් බෑෂ් තරගාවලියට ක්‍රීඩා කිරීමට ඩොලර් ලක්ෂයක් ලබා දෙන බව කිව්වා.
මම එවැනි මුදලක් මගේ නිවාඩුවට වියදම් කරනවා. එම නිසා දුප්පත් ලීග වලට යන්න අපිට අවශ්‍ය නැහැ.” යැයි ශෙවාග් කිව්වා.
ග්‍රිල්ක්‍රිස්ට් හෝ බලාපොරොත්තු නොවූ එම පිළිතුර තුල උඬගුකම, පුරාජේරුව සහ අපහාස මැනවින් ගැබ් වී තිබුණා.
මේ පිළිතුරෙන් ශෙවාග් ඕස්‍ට්‍රේලියාවට සහ එහි ක්‍රීඩාවට සිදු කළ හැකි බරපලතම උපහාසය සිදු කරනවා.
අපේ ලීගය සහ අපේ රට ඉදිරියේ ඔබේ ලීගයත්, ඔබේ රටත් කුහුඹුවෙකැයි නොකියා කියනවා.
ඒ සංවාදය තුලම ශෙවාග් තවත් එවැනි අත්දැකීමක් බෙදා ගත්තා.
වරක් බ්‍රිතාන්‍ය ක්‍රීඩා නාළිකාවක් වන ස්කයි ස්පෝර්ට්ස් (Sky Sports) නාළිකාවට, විරේන්ද්‍ර ශෙවාග් විචාරකයෙකු සේ එක් කර ගැනීමට අවශ්‍ය බව කියා තිබුණා.
එවිට ශෙවාග් කියා තිබුණේ ඔබට මාගේ මිල දරාගත නොහැකි බවයි.
ස්කයි ස්පෝර්ට්ස් නාළිකාව ශෙවාග් ගේ මිල ඇසූ විට, ඔහු දිනකට පවුම් 10,000ක මිලක් කියා තිබුණා.
එවිට ඔවුන් ශෙවාග් ගේ මිල තමන්ට දරා ගත නොහැකි යැයි කියූ බව ශෙවාග් කියනවා.
එයත් එක්තරා විදියකින් පුරාජේරුවක්, උපහාසයක්. එතනදී ඔහු එංගලන්තය සහ එරට ක්‍රීඩාව සමච්චලයට ලක් කරනවා.
එක් වැඩසටහනක් තුල හිටපු ඕස්ට්‍රේලියානු පුරාවෘත්තයක් ඉදිරියේ ශෙවාග්, ක්‍රිකට් ක්‍රීඩාවේ අතීත හිමිකරුවන් වූ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය යන රටවල් ද්විත්වයම ඉලක්ක කරනවා.
ඔවුන් තමන් නොහොත් ඉන්දියානුවන් මිලට ගැනීමට නොහැකි, දුප්පතුන් ලෙස ලේබල් කරනවා.
අනවශ්‍ය තරමේ මාන්නයකින් සහ උඩඟුකමකින් ශෙවාග් සිදු කළ ප්‍රකාශය හුදෙක් ඔහුගේ නොසැලිකිලිමත්කම හෝ පුද්ගලික මාන්නය නොවෙයි.
මේ විරේන්ද්‍ර ශෙවාග් සිදු කරන්නේ ඔහු පුද්ගලිකව සහ ඉන්දියානුවන් පොදුවේ මුහුණ දුන් තාඩන පීඩන වලට වාඩුව ගැනීමක්.
එකල තමන්ට දුප්පතුන් යැයි කියූ පිරිස් ම අද මුදල් සොයා සිය රටට පැමිණෙනවා.
වෙනදා තමන්ට කිසිඳු වටිනාකමක් නොදුන් පිරිස්, අද තමන්ට මිත්‍රත්වයේ දෑත දිගු කරනවා.
එයට හේතුව මුදල් සහ බලය බව ශෙවාග් දන්නවා.
ජීවිතයේ සාර්ථක වූ මිනිසුන්, පසුකලෙක එම සාර්ථකත්වය ලඟා කර ගැනීමට තමන්ට හේතු වූ අත්දැකීම් විස්තර කරනු ඔබ දැක ඇති.
එවැනි අවස්තාවන් වල ඔවුන්, එකල තමන් සමච්චලයට ලක් කළ පුද්ගලයන් ඉදිරියේ සිය සාර්ථකත්වය සැමරූ අයුරූ ඉතා ආඩම්බරයෙන් විස්තර කරනවා.
ඒ සිදුවීම ව්‍යවහාර භාෂාවේ දී “ඇරියස් කවර් කිරීම” ලෙසින් හඳුන්වනවා.
ඇතැම් විටෙක ජීවිතයේ මෙවැනි “ඇරියස්” සහිත මිනිසුන්, ඔප්පු කිරීමට යමක් ඇති මිනිසුන් සාර්ථක වීමට ඇති ඉඩත් වැඩියි.
විරේන්ද්‍ර ශෙවාග් ඇඩම් ගිල්ක්‍රිස්ට් ඉදිරියේ මේ සිදු කරන්නේත් ඇරියස් කවර් කිරීමක්.
එහිදි ඔහුගේ පුද්ගලික තුවාල මෙන්ම රටක් ලෙස සමස්ත ඉන්දියානුවන් මුහුණ දුන් අමිහිරි සිදුවීම් ද එයට පාදක වී ඇති.
එය කිසිසේත්ම පුද්ගලික මාන්නයක් හෝ නොසැලිකිලිමත්කම නොවෙයි.
එදා තමන් නොසලකා සිටි, නමුත් අද මුදල් වෙනුවෙන් තමන් සොයා පැමිණීමට සිදු වූ පිරිස් ඉලක්ක කර කරනා ඇරියස් කවර් කිරීමක්.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

        2024. 04. 26

Related articles

IPL වෙනස් වෙයි – “මා හැපූ බබල් ගම් එක විසි කළ විට පවා එය හතරේ සීමාව පසුකර ගියා” – රවිචන්ද්‍රන්

IPL තරගාවලිය අතරමැද සංවිධායකයන් පිටියේ තත්ත්ව (Playing conditions) වෙනස් කර තිබෙනවා.තරගාවලිය ආරම්භයේ දී එය පිතිකරුවන් උදෙසා පමණක් සංවිධානය...

මිනිරන් වේඳනා මිනි

"තාත්තේ මට කෙල්ලෙක් ඇඳල දෙන්නකෝ .."-පොඩි පුතුගෙ ඇවිටිල්ලක්. තාත්තෙක් නොසිටියමං කොල්ලෙක් ව සිටි කාලෙදිපන්සල් වගෙයි මටඅම්ම දුන් පැන්සල් මිටි යළි...

මතීෂ, චෙන්නායි සහ ශ්‍රී ලංකාව

IPL තරගාවලිය ක්‍රීඩා කරමින් සිටිනා මතීෂ පතිරණගේ හැසිරීම සහ ප්‍රකාශ සමීපයෙන් නිරීක්ෂණය කිරීම අශ්වාදජනකයි.මතීෂ ඊයේත් ඉන්දීය මාධ්‍යයට අපූරු...

පෞද්ගලික සමාගම සඟවන වීසා ගාස්තුවෙන් පමණක් රුපියල් කෝටි 1,080ක කප්පමක් !

කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති පරිදි කටුනායක ගුවන් තොටුපොළේ වීසා ලබාදීමේ ක්‍රියාවලිය දිගටම පෞද්ගලික සමාගමකට ලබාදෙන්නේ නම්, ආගමන-විගමන...