සිසුන් 200ට අඩු පාසල් 5,161ක් : අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් ගැන වගකීම බරපතළ ලෙස ප්‍රශ්න කරන සිස්ටම් ඔඩිට් එකක් !

Share post:

අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් සංගණන වාර්තාවලට අනුව ලංකාවේ රජයේ පාසල් 10,194කි. රජයේ නොවන පාසල් 859ක්, ජාත්‍යන්තර පාසල් 265ක්, පෞද්ගලික පාසල් 80ක්, විශේෂ පාසල් 26ක් සහ පිරිවෙන් 753ක් එම වාර්තාවල තිබේ. රජයේ පාසල් අතරින් පළාත් පාසල් 9,841කි. ජාතික පාසල් 353කි. 

තවත් වැදගත්ම කරුණක් වන්නේ ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් 5,161ක් තිබීම ය. 2018 වසර වන විට වසාදමා තිබූ පාසල් ගණන 93කි. සංගණන වාර්තා අනුව මෙරට පාසල්වල ගුරු-සිසු අනුපාතය 1 ට 17කි. ලංකාවේ සමස්ත රාජ්‍ය ආදායමෙන් සියයට 10කට වැඩි ප්‍රතිශතයක් අධ්‍යාපනය සඳහා වෙන්කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ වියදම් වාර්තා පෙන්වා දෙයි.

ජාතික විගණන කාර්යාලය මගින් ලංකාවේ පාසල් පද්ධතිය සම්බන්ධයෙන් කාර්යසාධන විගණනයක් සිදුකරන ලදි. එම විගණනයේ අරමුණ එහි වාර්තාවේ මෙසේ දක්වා තිබේ.

‘ශ්‍රී ලංකාවේ පාසල්වලින් සියයට 50කට වැඩි පාසල් ප්‍රමාණයක ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩුවීමත්, එම පාසල් වැසීයෑමේ ප්‍රවණතාවක් පැවතීම හා ඒවායේ ගුරු-සිසු කාර්යසාධන මට්ටම්වල මෙන්ම භෞතික හා මානව සම්පත්වල ඇති ගැටළු අධ්‍යයනය තුළින් එම පාසල්වල ඉගෙනගන්නා ළමුන්ට නිදහස් අධ්‍යාපන ප්‍රතිලාභ අවශ්‍ය මට්ටමෙන් ලැබේද යන්න පිළිබඳ සොයාබැලීම මෙම විගණනයේ අරමුණ වේ.’

කෙසේ වෙතත් අප අසා ඇත්තේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් සිදුකරන විගණන පිළිබඳ පමණි. එහෙත් මේ වාර්තාවේ පැහැදිලිව දක්වා තිබෙන්නේ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 3(1)(ඈ), 5(2), 12(ඌ) වගන්ති ප්‍රකාරව මේ කාර්යසාධන විගණනය සිදුකරන බවයි. එනම් සෑහීමකට පත්විය හැකි පරිදි ක්‍රියාත්මක නොවූවද, එවැනි විගණන සඳහා පනතින් බලය පවරා තිබේ. මෙවැනි විගණනයක් සඳහා අදාළ මාතෘකාව තෝරාගත්තේ ඇයි යන්න පිළිබඳව ද මෙහි පැහැදිලි පිළිතුරක් තිබේ.

‘ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව සියයට 92.6ක් වන අතර, එය මානව ප්‍රාග්ධනය වැඩි දියුණු කිරීම සඳහා හේතුවන හිතකර පසුබිමක් වේ. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය මෙයට දායක වී ඇති අතර, සෑම පුද්ගලයෙකුට ම අධ්‍යාපනයේ සම අවස්ථා ලැබිය යුතු බවට වූ සංකල්පය මෙහිදී වැදගත් වේ. 

එසේ වුවද ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ පිළිගැනීමක් බවට පත්ව ඇති ජනප්‍රිය හා ජනප්‍රිය නොවන පාසල් වශයෙන් වන වර්ගීකරණයට අනුව අඩු ජනප්‍රියත්වයෙන් යුතු පාසල් බොහොමයක් ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් වී තිබේ. ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් ප්‍රමාණය මුළු පාසල් සංඛ්‍යාවෙන් සියයට 50ට 50ක් වීම විශේෂත්වයක් වේ. 2030 වන විට ඵලදායී ඉගෙනුම් ප්‍රතිඵල ලබාගැනීමට හැකි වන ආකාරයෙන් සියලුම ගැහැනු-පිරිමි ළමුන්ට නිදහස්, සමාන සහ ගුණාත්මකභාවයෙන් ඉහළ ප්‍රාථමික, ද්විතීයික අධ්‍යාපනයක් ලබාදීම මූලික අරමුණක් වේ. ඒ අනුව ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් මගින් සමාන හා ගුණාත්මක අධ්‍යාපනයක් කොතරම් දුරට ලැබී තිබේද යන්න නිවැරදිව සොයාබැලීමේ අවශ්‍යතාවක් පැවතිණි.’

ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් වැඩි ම ප්‍රමාණයක් ඇත්තේ කුරුණෑගල, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ය. රට පුරා පාසල්වල නියැදි පරීක්ෂාවක් හරහා මේ විගණනය සිදු කර තිබේ. එහිදී ප්‍රාදේශීය සංවර්ධනයේ විෂමතා සහ ප්‍රවාහන දුෂ්කරතා මෙන්ම ජන ව්‍යාප්තියේ අසමතුලිතතා නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ වගකිවයුතු ආයතනවලට පාලනය කිරීමට නොහැකි සාධක නොසලකා හැර තිබීම අඩුපාඩුවක් ලෙස පෙන්වා දිය හැකිය.

මේ විගණන වාර්තාවේ සඳහන් නිර්දේශ අතර රටේ ජන ඝනත්වය අනුව පාසල් සංඛ්‍යාව නිර්දේශ කිරීමට යෝජනා කර ඇත. පාසල්වල ජනප්‍රියතාව මත අදාළ ප්‍රදේශයෙන් බැහැර ප්‍රදේශයක සිට ඇතැම් පාසල්වලට ළමුන් අධ්‍යාපන කටයුතු සඳහා පැමිණීම රටේ පාසල්වල සිසුන්ගේ සංඛ්‍යාව අසමතුලිත වීමට හේතු වී තිබේ. විගණන කාර්යාලය මගින් සිදු කළ නියැදි පරීක්ෂාවේදී අනාවරණය වී ඇති ආකාරයට අනුව ශිෂ්‍ය සංඛ්‍යාව අඩු පාසල් බිහිවීමට හේතු රැසකි. ඒ අතර තම දරුවන් කුඩා පාසල්වලට යැවීමට මව්පියන් අකමැති වීම, ගුරුවරුන් එම පාසල්වල ඉගැන්වීමට වැඩි කැමැත්තක් නොදැක්වීම, අවට ප්‍රදේශයේ සමීප පාසලට වඩා දියුණු පාසල් පැවතීම, හුදෙකලා ගම්මාන පැවතීම පෙන්වා දිය හැකිය. 

එසේ ම අධ්‍යාපන අමාත්‍යංශය මගින් හඳූන්වා දී ඇති නිර්ණායකවලට පිටින් නව පාසල් ආරම්භ කිරීම නිසා ඒ අවට පිහිටි පාසල් වැසීයෑම සිදු විය. පාසල් වැසීයෑමට අදාළ සාධාරණ නිර්ණායක වෙනම පැවතුණද, ඊට බාහිර සාධකවල බලපෑම් නිසා විදුහල්පතිවරුන්ට හෝ මව්පියන්ට එම පාසල් වැසීයෑමෙන් ගලවාගැනීමට හැකියාවක් ලැබී නැත. මීට අමතරව සාපේක්ෂව කුඩා පාසල්වල විභාග ප්‍රතිඵලවල වර්ධනයක් අපේක්ෂා කළ නොහැකි වීම, ඉතා විශාල භූමි ප්‍රමාණයක් ඇතුළු භෞතික සම්පත් නිසි පරිදි ප්‍රයෝජනයට නොගැනීම, සාපේක්ෂව අඩු වුවද, තිබෙන මානව සම්පත සෑහීමකට පත්වන අයුරින් ක්‍රියා නොකිරීම, නවීන භෞතික සම්පත් නොමැකි වීම, ශිෂ්‍ය සංඛ්‍යාවට සාපේක්ෂව මේ පාසල්වල නඩත්තු කටයුතු සඳහා රජයට දැඩි වියදමක් දැරීමට සිදු වීම ද පාසල් වැසීයෑමට බලපා ඇතැයි විගණන කාර්යාලය මගින් හඳූනාගෙන තිබේ.

මේ ගැටළු අවම කිරීම සඳහා රජය විසින් විවිධ ව්‍යාපෘති හඳූන්වා දී තිබිණි. එසේ හඳූන්වා දුන් එක් ව්‍යාපෘතියකි, ළඟම පාසල හොඳ ම පාසල් ව්‍යාපෘතිය. එය සාපේක්ෂව ඉතා සාර්ථක සංකල්පයක් බව පෙනෙන්නට තිබුණද, ප්‍රායෝගික තලයේදී සිදුවී ඇත්තේ තවදුරටත් සම්පත් බෙදීයෑමේ විෂමතාව අවම කිරීමට නොහැකි වීම ය. රජය විසින් ව්‍යාපෘතිය ආරම්භයේදී සඳහන් කර තිබුණේ ළඟම පාසලට සියලු සම්පත් ලබාදෙන බවයි. එහෙත් ඒ සඳහා රජය වියදම් දැරුවේ අවම වශයෙනි. එම නිසා ශක්තිමත් ආදි ශිෂ්‍ය කණ්ඩායම් ඇතුළු පරිත්‍යාගශීලීන් සිටින පාසල් ඉහළට එසවුණු අතර, අනෙක් පාසල් තවදුරටත් කඩාවැටිණි.

මෙවැනි ම තවත් ව්‍යාපෘතියකි, පොකුරු පාසල්. එක් පාසලක් වටා තවත් පාසල් රැසක් පෝෂණය කිරීම මෙමගින් සිදු විය. සංකල්පයක් ලෙස පෙනෙන විට සාර්ථක වේ යැයි අපේක්ෂා කළ හැකි වුවද, ප්‍රායෝගික ව වැඩි වශයෙන් සිදු වී තිබුණේ පොකුරු පාසල් ජාලය තුළ ඇති වඩා ශක්තිමත් සහ පහසුකම් වැඩි පාසලට ගුරුවරුන් මෙන්ම හැකියාව ඇති සියලු සිසුන් ඇදීයෑම ය. එම නිසා පොකුරු පාසල් ව්‍යාපෘතිය නිසා සිදුවූයේ ද එක් පාසලක් සීග්‍රයෙන් ඉහළට එසවීමත්, අනෙක්වා ඊට සාපේක්ෂව සීග්‍රයෙන් පහළට යෑමත් ය. 

පාසල් අතර ඇති විෂමතාව අවම කර, මව්පියන්ට තමන්ගේ අපේක්ෂා ඉටුවන පරිදි වඩා හොඳ පාසලකට සියලු දරුවන් ඇතුළු කර ගැනීමට ඉඩප්‍රස්ථාව සැලසෙන, ගුණාත්මක අධ්‍යාපනයක් බිහිකිරීම සිදු විය යුතුය. මේ සඳහා වන නිර්දේශ කිහිපයක් ද අදාළ කාර්යසාධන විගණන වාර්තාවේ දැක්වේ.

පාසල් ව්‍යූහ කටයුතු පිළිබඳ උපදෙස් සංග්‍රහය අධයාපන විද්වතුන්ගේ අධීක්ෂණය යටතේ කාලීනව සංශෝධනය කිරීම, දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී පාසල් සම්බන්ධයෙන් මව්පියන්ගේ ඇති ආකල්ප වෙනස් වන පරිදි පාසල් සංවර්ධනය කිරීම, පාසල් ආරම්භ කිරීම, ඒකාබද්ධ කිරීම සහ වසා දැමීම පාසල් ව්‍යූහ කටයුතු පිළිබඳ උපදෙස් සංග්‍රහයට අනුව සිදුකිරීමට වගකිවයුතු නිලධාරීන් වගබලා ගත යුතු වීම, ජනප්‍රිය නොවන පාසල්වලට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ස්ථාන මාරු කිරීමේදී එම මාරු නියෝග විධිමත් ව ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම් ඇතුළු විභාග ප්‍රතිඵල වර්ධනය කරගැනීමට අවශ්‍ය විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සියලු පාසල් සඳහා මුදල් වෙන්කිරීමේදී වෙනම සැලසුමක් සහිත ලේඛනයක් තබාගැනීම එම නිර්දේශ අතර වේ.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් පිළිබඳ වගකීම ද අදාළ කාර්යසාධන විගණන වාර්තාව මගින් පුළුල් ලෙස ප්‍රශ්න කර ඇත. අධ්‍යාපන විශේෂඥයන්ගේ උපදෙස් මත නවීන අධ්‍යාපන ප්‍රතිපත්ති මත බැඳූණු සාර්ථක සංකල්ප ඉදිරිපත් කෙරුණද, ඒවා අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් නොමැති වීම නිසා ඒවා සංකල්ප ලෙස ම ඉතිරි වී තිබේ. කනගාටුවට කරුණ වන්නේ මේ සියලු පරිපාලන අකාර්යක්ෂමතාවල වින්දිතයන් බවට පත්වී ඇත්තේ රටක් ඉදිරියට ඔසවා තැබීමේ වගකීම දරා සිටින අනාගත පරපුර වීමයි. වර්තමාන වගකිවයුත්තන් නිවැරදි ව තම වගකීම ඉටු නොකොට, අනාගත පරපුරට උපදෙස් දීමෙන් හෝ චෝදනා කිරීමෙන් ඵලක් නැත. 

  • ශාලික විමලසේන

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...