දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අම්මා ය. බලයට පත් වූ ආණ්ඩු අම්මලා සිය ගණනකට දරුවන් නැති කළේය. ඇතැම් අම්මලාට මැරෙන තුරු දොර දෙස බලා සිටින්නට උරුම කළේ දරුවන් අතුරුදන් කරමින් ය. මේ එහෙම රාජ්‍යයකි.
සිරියාවේ අලාන් කුර්දි දරුවා සරණාගතයකු ලෙස මුහුදු වෙරළේ මහ පොළොව බදාගෙන මිය ගියේය. ඉන්දියාවේ සුර්ජිත් විල්සන් දරුවා මිය ගියේ තමිල්නාඩුවේ වතුර සොයන සටනට මැදි වූ නිසා ය. අවිධිමත් ලෙස හාරන ලද අඩි සියයකට වඩා ගැඹුරු ළිඳක පතුලේ සිරවී සුර්ජිත් මිය ගියේය.
මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේ 2017 අප්‍රේල් 14දා ය. රට පුරා ජනතාව අලුත් අවුරුද්ද සමරන විට දරුවන් පස්දෙනෙකු ද ඇතුළු 40කට ආසන්න පිරිසක් ඒ කුණු කන්දට යට විය. පසුව ඉදිරිපත් කෙරුණු සංඛ්‍යා ලේඛනවලට අනුව මේ අපරාධයෙන් 32ක් මියගොස් 8ක් අතුරුදන් වී තිබිණි. සිය ගණනකට නිවාස සහ දේපොළ අහිමි විය. මීතොටමුල්ලට කුණු දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 2ක් ද තිබිණි. නීතියේ ආධිපත්‍යය, සමාජ සාධාරණත්වය ඇතුළු න්‍යායයන් වචන බවට පත්කරමින් පත්වූ සියලු ආණ්ඩු එක්ව අක්කර 20ක කුණු කන්දක් හැදුවේය. දිනකට කුණු ටොන් 800ක් හැලූ මීතොටමුල්ල අවසානයේදී නායගියේය.
හිතාමතා කළ – නැතහොත් වළක්වා ගත හැකිව තිබූ මේ අපරාධය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසම ඉදිරියේ විවිධ පිරිස් සාක්ෂි ලබාදුන්නේය. මේ අපරාධයට වගකිවයුත්තන් රැසක් කොමිසමෙන් නම් කළ අතර, රාජ්‍ය ආයතන 5ක් සෘජුව ඊට වගකිව යුතු ද එම නිර්දේශවල සඳහන් විය. නමුත් ඒ කිසිවකුට කිසිවක් සිදුනොවීය.
කිරුලපන ප්‍රදේශයේ තිබූ කුණු මෝල සහ ජීව වායු පද්ධතිය වසා දැමිණි. ඉන්පසු මට්ටක්කුලිය, බ්ලූමැන්ඩල්, කොටිකාවත්ත, මීතොටමුල්ල ප්‍රදේශවල කුණු ගොඩ ගැසිණි. ක්ෂේත්‍රයේ විද්වතුන් වන නිමල් ප්‍රේමතිලක සහ සුමිත් පිලපිටිය අවස්ථා කිහිපයකදී බලංගොඩ සහ වැලිගම ප්‍රදේශවල කසළ කළමනාකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළද, ඒවා ඉදිරියට ගියේ නැත. කෙරවලපිටියේ කසළ ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ ද එය ද ටික පැවතුණේ ටික දිනකි. අරුවක්කාලුවලට කොළඹ කුණු ගෙනගොස් දැමීමේ ව්‍යාපෘතියට ද අත්වූයේ එම ඉරණම ම ය.
දැන් ඒ කුණු සියල්ල කොළඹ දිස්ත්‍රික්කයේ කරදියාන ප්‍රදේශයට ගෙනගොස් දමයි. එහි තවත් දැවැන්ත කුණු කන්දක් ගොඩගැසෙමින් තිබේ. මීතොටමුල්ල ඊළඟ අදියර කරදියානෙන් මතුවන්නට පෙර, මේ ඛේදවාචක අවසන් කළ යුතු නොවේද? අඩු තරමේ කසළ බැහැර කිරීමේ විධිමත් ප්‍රතිපත්තියක් සකස් කරගත නොහැකි රටක ය, අප ජීවත් වන්නේ.
මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකයට පසුගිය අප්‍රේල් 14දාට වසර 07කි. මේ, එම අපරාධය සිදුවීමට පෙර සිට ම මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව සටන් කළ නීතිඥ නුවන් බෝපෙගේ සමග කළ සම්මුඛ සාකච්ඡාවක සටහනකි.
මීතොටමුල්ල අපරාධයට අදාළ ව වසර 7කට පස්සෙ බලනකොට අධිකරණය පැත්තෙන් ඉටුවිය යුතු යුක්තිය ඉටුවුණාද?
කුණු කන්ද තියෙද්දි තමයි අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම දැම්මෙ. ඒකෙදි අපි අතුරු තහනම් නියෝගයක් ඉල්ලුවා, මෙතැන්ට කුණු දාන එක නතර කරන්න කියලා. ඒ අතුරු තහනම් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙලාවෙ දුන්නෙ නෑ. එතකොට අපි සාධාරණ කරුණු රැසක් ඉදිරිපත් කරලා තියෙද්දිත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ වෙලාවෙ ඒ නියෝගය ඉල්ලීම ප්‍රතික්ෂේප නොවුණා නම් මේ ජීවිත ආරක්ෂා වෙන්න තිබුණා.
ඒ අර්ථයෙන් ගත්තොත් මේක සම්බන්ධයෙන් නීතිය පැත්තෙන් තිබුණු අවධානය ගැන අපිට සෑහීමකට පත්වෙන්න බෑ. ඊටපස්සෙ කුණු කන්ද කඩාගෙන වැටුණට පස්සෙ ඊට අදාළ නඩුවෙ තත්ත්වය ගත්තොත්, දැන් නඩුව අහලා තීන්දුවට තියලා තියෙනවා. මේ වෙනකොට වෙන්න ඕනෙ විනාශය වෙලා ඉවරයි. ඒකෙ තීන්දුව කොයි පැත්තට එයිද කියන්න අපි දන්නෙ නෑ. ඒ තීන්දුව මොනවා වුණත් සිදු වුණු බරපතළ හානිය වළක්වාගන්න නීතිය පැත්තෙන් අවශ්‍ය වෙලාවෙදි අවශ්‍ය පිළිසරණ මිනිස්සුන්ට ලැබුණෙ නෑ.
මේකට අදාළව ජනාධිපති කොමිසමකුත් පත්කළා. ඒකෙන් යම් නිර්දේශ ප්‍රමාණයක් දුන්නා. කොළම නගර සභාවෙ හිටපු කොමසාරිස්ලා ඇතුළු නිලධාරීන් සබම්න්ධයෙන් අවශ්‍ය පියවර ගන්න කියලා ඒකෙන් නිර්දේශ කළා. ඒ සම්පූර්ණ නිර්දේශ ගැන අපි සෑහීමකට පත්වෙන්නෙ නෑ. ඒක අපක්ෂපාතී ස්වරූපයකින් නෙමෙයි සිද්ධ වුණේ. නමුත් එහෙම තත්ත්වයක් තුළ ලබාදුන් නිර්දේශවත් ක්‍රියාත්මක වුණේ නෑ. ඒ පැත්තෙනුත් ජනතාවට අසාධාරණයක් වුණේ.
මේ වගේ හිතාමතා කළ අපරාධයකින් පස්සෙ තමන්ට යුක්තිය ඉටුකර ගන්න නීතිය පැත්තෙන් මිනිස්සුන්ට තව මොනවද කරන්න ඉතුරු….?
ප්‍රධාන වශයෙන්ම මිනිස්සුන්ගෙ ජීවත් වීමේ අයිතිය ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්. ඒක දැනටමත් අපි කරලා තියෙන්නෙ. මේක අපරාධයක් කියන තැනින් ගත්තට පස්සෙ මේ කුණුකන්දත් එක්ක සිදුවුණු වංචා-දූෂණ ඒ සියල්ල සම්බන්ධයෙන් පියවර ගැනීමේ වගකීම තියෙන්නෙ රජයට. පොලිසියට. නමුත් ඒ පැත්තෙන් එහෙම පියවරක් ගත්තෙ නෑ. එතැනදි ජනතාවට පියවරක් ගන්න තියෙන්නෙ සීමිත ඉඩකඩක්. ඒ පරීක්ෂණ පවත්වන සියල්ල කරන්න ඕනෙ පොලිසිය ආණ්ඩුව.
අනෙක් පැත්තෙන් ජනතාවට තියෙන්නෙ වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය. ඒකෙදි අධිකරණ ක්‍රියාමාර්ගවලට යනවා වෙනුවට අපි තේරුවෙ සටන් ක්‍රියාමාර්ග. අපිට අවශ්‍ය වුණේ නෑ මෙච්චර හානියක් වෙලත් තවදුරටත් උසාවිවල රස්තියාදු වෙමින් වන්දි අයකරගන්න. මුලින්ම මේකට ඇත්තටම පොඩි වන්දියක් තමයි දෙන්න තීරණය කරලා තිබුණෙ. නමුත් අපි දිගටම ආපදා කළමනාකරණ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ඉදිරිපිට කරපු උද්ඝෝෂණ සහ ඒ ක්‍රියාමාර්ග නිසා යම් තරමකට සෑහීමකට පත්වෙන වන්දි මුදලක් අපිට ගන්න පුළුවන් වුණා.
අවුරුදු 7කට පස්සෙ ආපහු හැරිලා බැලුවොත් මේ අපරාධයට එරෙහිව අපි යුක්තිය වෙනුවෙන් සාර්ථක ක්‍රියාමාර්ග තෝරලා තියෙනවද, අනෙකුත් අරගලවලදි වගේ සාමූහිකත්වය ගැන ගැටළු මතුවෙලා තියෙනවද?
රටේ දේශපාලනය ගත්තොත් කුණු කන්ද කඩාගෙන වැටෙන කොට හිටපු අගමැතිවරයා දැන් රටේ ජනාධිපතිවරයා වෙලා තියෙනවා. යහපාලන ආණ්ඩුව පිහිටුවනකොට 2015 වුණු පොරොන්දුවක් තමයි, මීතොටමුල්ල කුණු කන්දට විසඳූම් දෙනවා කියන එක. ඊට පස්සෙ යහපාලන ආණ්ඩුව ආවට පස්සෙ මුලින්ම පහර දුන්නු උද්ඝෝෂණය තමයි කුණු කන්දෙ උද්ඝෝෂණය. 2015 මාර්තු 20 වැනිදා තමයි ඒ ප්‍රහාරය එල්ල කළේ. ඊටපස්සෙ රනිල් වික්‍රමසිංහ අපිට සාකච්ඡාවක් දුන්නා. ඒ සාකච්ඡාවෙදි අපිට පොරොන්දු වුණා, මාස හයක් ඇතුළත අපිට විසඳූමක් දෙනවා කියලා.
රනිල් වික්‍රමසිංහ ළඟ ප්‍රශ්නවලට උත්තර තියෙනවා කියලා කවුරු හරි කියනවා නම් එහෙම නෑ කියන්න මේක හොඳ උදාහරණයක්. එදා ඉඳන් මේ දක්වා ගත්තොත් පොදුවේ රටේ කසළ කළමනාකරණයට දීලා තියෙන විසඳූම තමයි, මීතොටමුල්ලට දාපු කුණු දැන් කරදියානට දාන එක. එතැන කුණු කන්ද ගොඩගහන එක. තැන මාරු කරන එක විතරයි. ප්‍රතිපත්තිමය වශයෙන් කිසිම විසඳූමක් නෑ.
මිනිස්සුන්ගෙ පැත්තෙන් ගත්තොත් මේ සටන දිගටම අරගෙන ගියා. මේ වෙනකොට කුණු කන්ද අවට හිටපු මිනිස්සු එතැන පදිංචිත් නෑ. අලුතෙන් කුණු දාන්නෙත් නෑ. මේක ව්‍යාපාරයක් විදිහට දැන් බිමේ නෑ. හැබැයි අපිට තියෙන අත්දැකීම තමයි මේ සටනේ හිටපු ඇතැම් ක්‍රියාකාරිකයනුත් විවිධ දේශපාලන උපක්‍රමවලට අහුවෙලා වෙනත් තැන්වලට ගියා තාවකාලිකව හෝ ස්ථිරව. ඒ වගේ තත්ත්වයන් නිර්මාණය වෙන්න හේතුව විදිහට මම දකින්නෙ මේ වගේ හුදෙකලා සටන් එකතු කිරීමක් නැති එක. මේ සමස්තය එක තැනකට ගොනුකරන්න අවශ්‍යයි.
- ශාලික විමලසේන