ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බව මහ බැංකුව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේ 2022 අප්‍රේල් 12 වැනිදා ය. එනම් මීට වසර දෙකකට පෙර ය. ආණ්ඩුව දැන් කියන්නේ රට බංකොලොත්භාවයෙන් මිදී ඇති බවකි. විපක්ෂය කියන්නේ ආණ්ඩුව කිසිදු සැලසුමක් නැති භයානක ගමනක් යන බවත්, මේ භයානක ගමනේ ප්‍රතිඵල නුදුරේදීම ජනතාවට විඳීන්නට සිදු වන බවත් ය.
මේ, ඒ සම්බන්ධයෙන් ප්‍රකට ආර්ථික විශ්ලේෂකයකු වන ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධනනාත් ප්‍රනාන්දු සමග කළ සම්මුඛ සාකච්ඡාවක සටහනකි.
ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් කියලා ප්‍රකාශයට පත්කිරීම අපි කළ යුතුව තිබුණු වැඩක් ද, නැත්නම් ඒකෙන් ඉල්ලගෙන කෑවද?
බංකොලොත් වෙනවා කියලා අපිට අමුතුවෙන් ප්‍රකාශ කරන්න දෙයක් තිබුණේ නෑ. මොකද ඒ වෙලාව වෙද්දි මුළු ලෝකෙම දැනගෙන හිටියා, අපිට අපේ ණය ගෙවන්න බෑ කියලා. බංකොලොත් වෙනවා කියන එකේ සාමාන්‍ය සරල තේරුම අපිට ගත්තු ණය ගෙවාගන්න බෑ කියන එක. අපිට ගෙවන්න බැරි බව ඊට අවුරුද්දකට විතර කලින් ඉඳලා ලෝක මට්ටමේ ආර්ථික වාර්තා සියල්ලෙන් කිව්වා. මේක අනාවරණය වුණු තවත් තැනක් තමයි, ලංකාවේ බැඳූම්කර අන්තර්ජාතික වෙළෙඳපොළේ කොච්චර ගාණකටද විකිණෙන්නෙ කියන එක. ඒ කියන්නෙ අපි සාමාන්‍යයෙන් බැඳූම්කරයක් විකුණන්නෙ ඩොලර් 100කට නම්, ඒක ගන්න කෙනා නැවත ඒක විකුණනවනෙ. හොඳ ශක්තිමත් බැඳූම්කරයක් නම් ඒක ඩොලර් 120ට 130ට නැවත විකුණනවා. ඒත් අපේ තිබුණෙ ඩොලර් 100ට නිකුත් කරන බැඳූම්කරයක් ඩොලර් 30කටවත් නැවත විකුණගන්න බැරි තත්ත්වයක්.
ඒක නිසා අමුතුවෙන් කියන්න දෙයක් තිබුණෙ නෑ. ඊට පස්සෙ අප්‍රේල් 12 තමයි නිල වශයෙන් කිව්වෙ අපි කැමති වුණත් අපිට ණය ගෙවන්න බෑ කියලා. එතැනදි ණය වර්ග දෙකක් ගැන ප්‍රධාන වශයෙන් කතා කළා. ණය වර්ග දෙකක් ගෙවන එක නැවැත්තුවා. එකක් තමයි ද්විපාර්ශ්වික ණය. ඒ කියන්නෙ රට රටවලින් ගත්තු ණය. අනෙක තමයි අපේ පෞද්ගලික ණය, නැත්නම් බැඳූම්කර වෙළෙඳපොළෙන් ගත්තු ණය. ඒ අවස්ථාවේ අපි ලෝක බැංකුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් ගත්තු ණය ගෙවන එක නැවැත්තුවෙ නෑ. දේශීය ණය ගෙවන එක නැවැත්වුවෙත් නෑ. එක එක රටවලින් ගත්තු හුවමාරු ණය ගෙවන එක නැවැත්තුවෙත් නෑ.
ඒ හැර අපිට ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. නොකියා හිටියා කියලා කරන්න දෙයක් තිබුණෙ නෑ. මොකද ඒ අවුරුද්දෙ අප්‍රේල් 16 වෙනකොට ඩොලර් මිලියන 500ක බැඳූම්කරයක් ගෙවන්න තිබුණා. ඒක ගෙවන්න අතේ සල්ලි තිබුණෙ නෑ. සංචිත තිබුණෙත් පොඩි ගාණක්. එක වැඩයි තිබුණෙ කරන්න. ඒ තමයි ආපහු බැඳූම්කරයක් නිකුත් කරලා ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් තවත් ණය ගන්න එක. ඒත් බැඳූම්කරයක් නිකුත් කරලා ණයක් ගන්න පුළුවන් මට්ටමක් තිබුණෙත් නෑ ඒ වෙලාවෙ. චීනය අපිට යම් සංචිත ප්‍රමාණයක් දීලා තිබුණත්, ඒකටත් ලොකු කොන්දේසි දාලා තිබුණෙ.
මේක ඇත්තටම කාලයක් තිස්සෙ ආපු එකක්. සාමාන්‍ය විදිහට අපි හිතුවොත් පුද්ගලයෙක් බැංකුවකින් ණයක් අරන් දිගටම ගෙවන්නැත්නම් ඔහු බංකොලොත් තමයි. ඒක ආපහු බැංකුවට දැනුම් දෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ.
ඇතැම් පාර්ශ්ව කියලා තිබුණා, මේක ප්‍රකාශ නොකර හිටියා නම් හොඳයි කියලා. තවමත් එහෙම කියන පාර්ශ්ව ඉන්නවා ?
ඔව්. මමත් දැක්කා සමහරු ඒ වගේ ප්‍රකාශ කරනවා. ඒත් මගේ අදහස අනුව නම් ප්‍රකාශ නොකර හිටියා නම් තවත් අපිට අමාරු වෙනවා. ඇත්තටම ගත්තොත් අපි බංකොලොත් කියලා ප්‍රකාශ කළෙත් හුඟක් ප්‍රමාද වෙලා. මීට කලින් ප්‍රකාශයට පත්කළා නම්, ඒ කියන්නෙ කොවිඩ් වසංගත තත්ත්වය තිබුණු වෙලාවෙ අපි කිව්ව නම් අපේ සංචාරක කර්මාන්තය ඇතුළු ප්‍රධාන ආදායම් වැටිලා, අපිට ණය ගෙවාගන්න විදිහක් නෑ කියලා. ණය හිමියන්ට ඒක යම්කිසි සාධාරණ උත්තරයක් විදිහට බාරගන්න වෙනවා ඒ වෙලාවෙ. කොහොමත් ගෙවාගන්න බැරිවෙන්න කලින් කියන එක තමයි වඩා වාසි. ෆිනෑන්ස් එකක් වුණත් වාහනයක් උස්සගෙන යන්න කලින් කිව්වොත්නෙ අපිට වාසි. නැත්නම් වාහනේ උස්සගෙන ගියාට පස්සෙ සීස් කරපු එකටත් අපිට ගෙවන්න වෙනවා.
අනෙක් පැත්තෙන් අපි මේක නොකියා හිටියා නම් වෙන්නෙ හොරෙන් වැඩක් කළා වගේ අදහසක් ජාත්‍යන්තරයට යන එක. ඒ කියන්නෙ අපිට ගෙවන්නත් බෑ, කියන්නෙ නැතුව හැංගෙන්න හදනවා වගේ. නොකියා හිටියා නම් අපිව බ්ලැක් ලිස්ට් කළාට පස්සෙ ජාත්‍යන්තර වශයෙන් කිසිම හුවමාරුවක් කරන්න බැරිවෙන්න තිබුණා. අප්‍රේල් මාසෙත් නිසා ආනයනය කිරීම් වැඩියිනෙ.
බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කළාට පස්සෙ ආණ්ඩුව ආර්ථික කළමනාකරණයට ගත්තු ක්‍රියාමාර්ග සාර්ථක ද, අසාර්ථක ද, මොනවද ඇත්තටම අපිට කරන්න තිබුණෙ ?
බංකොලොත් වුණාම කරන්න පුළුවන් දේවල් ඉතාම සීමිතයි. ඒක නිසා තමයි මේ පියවරට යන්න කලින් හැමෝම මොනවා හරි විසඳූම් හොයාගන්න උත්සාහ කරන්නෙ, අපි වගේ දැක්මක් නැති රටක් නොකළට. ඒක හරියට කුණු බාල්දියක් ඇඟේ හලාගත්තා වගේ වැඩක්.
ප්‍රධාන ම එක තමයි අපි ණය ගෙවන එක නවත්තපු ගමන් ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ලොකු බලපෑමක් එනවා, අනෙක් වැඩවලට. ණයවර ලිපි විවෘත කරගන්න බැරිව යනවා. ආනයන කරගන්න බැරිව යනවා. එහෙම වුණානෙ අපිට. ඒක නිසා මුලින්ම කළ යුතුව තිබුණෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන එක. මොකද අපිට සහාය දෙන්න ඉන්න වෙන කෙනෙකුට වුණත් ඒක කරන්න බෑ, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහායක් නැතුව. ඒක ආණ්ඩුව කළා.
ආණ්ඩුව කළාට ඒ ගිවිසුමට විශාල කාලයක් ගතවුණා. ලෝකයේ මේ වගේ ගිවිසුමකට වැඩිම කාලයක් ගියපු ගිවිසුම් අතර එකක් තමයි, අපි සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මේ ගිවිසුම.
ඇයි එහෙම වුණේ, ලංකාවට විශේෂයෙන් මේ වැඩේට ඒ වගේ විශාල කාලයක් ගියෙ ඇයි ?
ඇත්තටම ලංකාව කියන්නෙ මේ වගේ නැතත් සහාය ඉල්ලලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වැඩිම වාර ගණනක් ගියපු රටක්. අපිට වඩා ගිහින් තියෙන්නෙ පාකිස්තානය, ඝානාව වගේ සීමිත රටවල් ගාණක් විතරයි. අපි 16 වරක් ගිහින් තියෙනවා. එතකොට ඔවුන්ටත් ප්‍රශ්නයක් තියෙනවා හැමදාම මේක කරන එකේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නෙ මේ වගේ සහායක් දෙන්න තියෙන තැන. හරියට නිකම් අම්මයි තාත්තයි වගේ. හැමදේම කරලා බැරි වුණාම ආපහු එතැන්ට යනවනෙ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අධ්‍යයනයකුත් කරලා තිබුණා, ලංකාව වගේ රටවල්වලට දිගින් දිගටම ආර්ථිකය ස්ථාවර කරගන්න බැරිවෙලා තියෙන්නෙ ඇයි, හැමදාම මේ විදිහට සහාය ඉල්ලන්න වෙලා තියෙන්නෙ ඇයි කියලා. මං හිතන්නෙ මේ ගිවිසුමට ලොකු කාලයක් ගතවෙන්න ඒක හේතුවක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට සහයෝගය දෙනවා කියන සහතිකය ගත්තට පස්සෙ අපිට යම් හැකියාවක් ලැබෙනවා අනෙක් තැන්වලින් ආපහු ණය ගන්න. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේකට සම්බන්ධ නොවී හිටිය නම්, ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුව හෝ ඒ වගේ ලෝකයේ තියෙන මූල්‍ය සහාය දෙන කිසිම ආයතනයකට අපිට උදව් කරන්න බෑ. මොකද දැනට තියෙන ආර්කථි ව්‍යුහය ඇතුළෙ බංකොලොත් වුණු රටකට එහෙම සහාය දෙන්න බෑ. ඒ වගේ අවස්ථාවක ඒ සහතිකය දෙන්න දැනට තියෙන ආයතනය තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ඒ සහතිකය ලැබුණට පස්සෙ පණිවුඩයක් යනවා, හරි දැන් මේගොල්ලො ලංකාවෙ ආර්ථිකය බලනවා, දැන් ප්‍රශ්නයක් නෑ කියලා.
හුඟදෙනෙක් කිව්වනෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන්නෙ ඉතාම සීමිත ගාණක්. මේකටද මෙච්චර වැඩ කරන්නෙ කියලා. ඒක පොඩි ගාණක් වුණාට, ඒ සහතිකයයි වැදගත්. ඒ සහතිකය ලැබුණට පස්සෙ තමයි අනෙක් සල්ලි ලැබෙන්නෙ.
දැන් එතකොට ලංකාවෙ ආර්ථිකය සම්පූර්ණයෙන් පාලනය කරන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද, එහෙම මතවාදයකුත් සමාජගතයි ?
මං හිතන්නෙ නෑ ඒකෙ සත්‍යතාවක් තියෙනවා කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නෙත් විවිධ රටවල පුද්ගලයන් වැටුපට වැඩ කරන ආණ්ඩුවෙ කන්තෝරුවක් වගේනෙ. ඒගොල්ලො එහෙම රටවල්වල ආර්ථිකය හසුරුවන්න බලපෑම් කරන්නෙ නෑ. එහෙම කරන්නත් බෑ ඒගොල්ලොන්ට. ඒක රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් වෙනවනෙ.
ඒගොල්ලො කියන්නෙ මොකක්ද අපි ළඟාවෙන්න ඕනෙ මට්ටම කියන එකයි. ඒ මට්ටමට ළඟාවෙන්න රටක් විදිහට අපි මොනවද කරන්න ඕනෙ කියන එක තීරණය කරන්නෙ අපි. ඒගොල්ලො කියනවා රජයේ වියදම වැඩියි. ඒක පාලනය කරන්න ඕනෙ කියලා. ඒක පාලනය කරන්නෙ කොහොමද කියන තීරණය ගන්න ඕනෙ අපි. දැනට මෙහෙ වෙන්නෙත් එහෙමයි. ඒගොල්ලො කියන්නෙ මොකක්ද හේතුව කියන එක විතරයි. ඒගොල්ලොන්ට කොහොමද ඒක කරන්නෙ කියලා කියන්න බෑ. ආදායම් වැඩි කරගන්න කියලා ඒගොල්ලො කියනවා. කොහොමද කරන්නෙ කියන එක අපේ වැඩක්. අපේ තීරණයක්.
හැබැයි එළියෙන් බලන කෙනෙකුට පේන්න පුළුවන් ඔබ කියන විදිහට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විදිහට තමයි මේ ඔක්කොම වෙන්නෙ කියලා. ආණ්ඩුව පැත්තෙනුත් එහෙම මතයක් සමාජගත කරන බවක් පේනවනෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා කියන්නෙ දේශපාලනඥයො වගේ කටයුතු කරන ආයතනයක් නෙමෙයිනෙ. ඒක නිසා ඒගොල්ලොන්ට මාධ්‍ය සාකච්ඡා තියලා කියන්න බෑ, නෑ අපි මේක කිව්වෙ නෑ, මේක කරන්නෙ මේගොල්ලොන්ගෙ තීරණයකට කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒගොල්ලොන්ගෙ මාධ්‍ය සාකච්ඡාවලදි පැහැදිලිව අදහස් ප්‍රකාශ කරන්නෙ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් විතරයි. එහෙම නැතුව මතවලට උත්තර දෙන්න ඒගොල්ලො කටයුතු කරන්නෙ නෑ.
දේශපාලනඥයොත් මේ වැඩේ පාවිච්චි කරනවා, එළියට ඇවිත් කියනවා, අපිට කරන්න දෙයක් නෑ, බදු වැඩි කරන්න වෙලා තියෙනවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කියනවා මෙහෙම නොකළොත් අපිට ණය දෙන්න බෑ කියලා. ඒක හින්දා අපිට අකමැත්තෙන් මේක කරන්න වෙලා තියෙනවා කියලා. ආණ්ඩුවට සැලසුමක් නැති, ප්‍රතිපත්තියක් නැති එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිටින් දාලා ෂේප් කරගන්නවා.
නිශ්චිත ආර්ථික සැලසුමක් නැති, දැක්මක් නැති පාරක ආණ්ඩුව රට අරගෙන යන බව තමයි ඕනෙ කෙනෙකුට පේන්න තියෙන්නෙ. මොනවද ඇත්තටම අපිට කරන්න පුළුවන් වැඩ, මොකක්ද අපි තෝරගන්න ඕනෙ පාර …?
අපි හරි දේවල්, කරන්න ඕනෙ දේවල් කරලා නෑ ඇත්තටම. කීපයක් කරලා තියෙනවා. තවත් දේවල්වලට උත්සාහ ගනිමින් ඉන්නවා. උදාහරණයක් විදිහට රජයට අයිති ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය වගේ දේවල් විධිමත් සැලසුමකට අනුව කරන්න ඕනෙ. නැත්නම් කොහොමද මේ දැවැන්ත රාජ්‍ය වියදම කළමනාකරණය කරන්නෙ. මේවා හරියට නොකළොත් ඉස්සරහට එන ආණ්ඩුවක් හෝ තව කාලයක් යනකම් මේක විසඳුමක් ලැබෙන්නෙ නෑ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නෙ පාරක් පෙන්වලා, සහයෝගයක් දෙන ආයතනයක් විතරයි. ඒගොල්ලොන්ට ආර්ථිකය වර්ධනය කරන්න බෑ. ඒක ඒගොල්ලොන්ගෙ වැඩක් නෙමෙයි. අපි ඒගොල්ලොන්ගෙ පාරට ගිහින් තියෙනවා. ඒත් ඊළඟට කරන්න ඕනෙ දේ ගැන අපිට අදහසක් නෑ. ඒක හරියටම බබෙක් හම්බෙනකම් ගර්භණී මාතාව බලන්නෙ වීඕජී, බබා ලැබුණට පස්සෙ ඒ බබාව බලන්නෙ වෙනත් විශේෂඥ වෛද්‍යවරයෙක් වගේ වැඩක්.
අපේ ණය නිතරම සංසන්දනය වෙන්නෙ අපේ ආර්ථිකයේ ප්‍රමාණයත් එක්ක. අපේ ණය ස්ථාවර කරගන්න කළ යුතු අනිවාර්ය දේ තමයි ආර්ථථිය වර්ධනය කරගන්න එක. ලංකාවට ආර්කථිය වර්ධනය කරගන්න කරන්න පුළුවන් සාර්ථකම දේ තමයි ජාත්‍යන්තර වෙළෙඳාම වැඩි කරන එක. ඒ කියන්නෙ අපේ නිෂ්පාදන වැඩිකරන්න ඕනෙ. භාණ්ඩ හා සේවා ජාත්‍යන්තර වෙළෙඳපොළේ විකුණනන් අපි වත්කම් හදාගන්න ඕනෙ. හැබැයි මේ වගේ සාර්ථක පාරක ඉස්සරහට යනවා කියලා පේන්නෙ නෑ.
- ශාලික විමලසේන