රොහාන් පෙරේරා : හමු නොවීමේ ආසියාතික ආදරය

Share post:

ඊයේ(12) සවස සහ අද උදේ කාලය වෙනකොට රොහාන්ගේ සමුගැනීම වෙනුවෙන් ලියවෙන සටහන් සහ චායාරූප සමුහය දැක්කම පේනවා ඔහු සමකාලීන පරම්පරාවට කොතරම් බලපෑම් සහගත කෙනෙක් උනාද කියන එක. ගොඩක් ෆේස්බුක් සටහන්වල තියන පුද්ගල සුවිශේෂ ස්වාධීන බව දැක්කම ඒවා රැල්ලට ලියවෙන ඒවා හැටියට දකින්න අමාරුයි. රොහාන් කොහොමත් රැල්ලේ කෙනෙක් නොවන නිසා සහ ඔහු තුළ පුද්ගලයෙක් සහ සිතන්නෙක් හැටියට දකින්න පුළුවන් ස්වාධීන සහ ස්වීය බව නිසාත් රොහාන් සුවිශේෂ චරිතයක් වෙනවා.

2017 එක්තරා දවසක මම ඒ කාලේ ෆේස්බුක් එන්න කළින් කරපු ‘සින්තෝමය’ බ්ලොග් එකේ සටහනක් ලිව්වා රොහාන් ගැන. ඒකෙ මාතෘකාව උනේ ”රොහාන් පෙරේරා: මුහුණක් නැති මුහුණ” (faceless face) කියන එක. ඒකට පසුබිම උනේ කේ. කේ. සර්පයා එක්ක කරපු පොඩි වෙලාවක කතාබහක්.
රොහාන්ට මුහුණක් තිබ්බේ නැහැ ඒ වෙද්දී. ඔහුගේ ෆොටෝ එකක් ඒ වෙද්දී ගූගල් එකේ ගන්න තිබ්බෙත් නැහැ. ඒ කියන්නේ අපි එච්චර ආසාවෙන් කියවපු මේ මනුස්සයාගේ ෆොටෝ එකක් දකින්න තිබ්බේ නැති නිසා මුහුණක් නැති ස්වභාවය මම හඳුනාගත්තේ ඒ විදියට. නමක් විතරයි, මුහුණක් නැහැ. නමුත් ළඟින් කොළඹ වැඩකරපු අය දැකල තිබ්බ. මම කියවල තිබ්බ විතරයි. ඒ ”ආසියාතික බෞද්ධ ස්ත්‍රියක් හමුවේ ඩෙරීඩා විසංයෝජනය කළ විට” කියන සුවිශේෂ ළිපිය.

මෙතනින් ‘ඩෙරීඩා’ සහ ‘විසංයෝජනය’ කියන මුරවචන (key words) දෙක තේරුම්ගන්න යම් තරමකින් පුළුවන් උනත් ”ආසියාතික බෞද්ධ ස්ත්‍රිය” කියන එක තේරුණේ නැහැ. අදටත් නිර්වචනීය විදියට තේරෙනවා හොරයි. වියුක්තයි.

ඉතාම මෑතක තමයි තේරෙන්නේ රොහාන් අතින් මේක ලියවෙන්නේ ”බෞද්ධ නොවන” කෙනෙක් හැටියට කියල (ඔහුට මුස්ලිම් මූලයක් තිබිල තියනවා). ඒක තමයි එයාගේ ගේස් පොයින්ට් (gaze point) එක බෞද්ධ අපි දිහා බලපු.

එහෙම මුස්ලිම් මූලයක් තියෙන කොල්ලෙක් හැටියට එයා ඔය සිංහල බෞද්ධ කෙල්ලෝ එක්ක ගණුදෙනු කරන්න ඇති. එතකොට එයාලගේ ආශා වංකගිරියේ පැටලිලා ඒ ගැන තේරුම්ගන්න උත්සාහයක් ගන්න ඇති. හැමදාම දකින අපිට වඩා දෙයක් රොහාන් දකින්න ඇති. එයාලගේ පැවැත්මේ පරස්පරබව තේරුම්ගන්න හදන්න ඇති. අපි නිකම් ඒක අතහැරලා දැම්මට රොහාන් ඒක සීරියස් ගන්න ඇති.

”නිර්මාණාත්මකව ඉපිළෙන ගැහැණු ශරීරයක් බිම බලාගෙන ඇවිදින කොට සිතුවිළි පීඩාකාරියි”, වගේ දෙයක් ඔහු අතින් ලියවෙනවා සිංහල බෞද්ධ ස්ත්‍රිය ගැන.

ඒක විශාල මාක්ස්මය පරස්පර බවක්. ගැහැණියගේ පුද්ගල ජීවිතය සහ සමාජ ජීවිතය ගැන කරපු බරපතළ නිරීක්ෂණයක්. මේ කොයි කාලේ ද? 1999 වගේ ඈත කාලෙක. මුළු ළිපිය කියෙව්වම තේරෙයි ඒක ඒ කාලේ වගේම අද අර්ථයෙනුත් කොච්චර ඔරිජිනල්ද කියල.

ආසියාතික බෞද්ධ ස්ත්‍රිය අතින් විඩාපත් වෙච්ච, රිදවාගත්ත, මෙලන්කොලික පිරිමි ආත්මයට යම් දෙයක් තියනවා මේ ලේඛනය ඇතුලේ. ඒක දේශපාලනික වැඩ බිමක්. ලොකු වැඩබිමක්. ඕනිනම් අලුත් පටන්ගැනීමක්.

ඔහු එක තැනක මෙහෙම කියනවා. ”ලංකාවේ (සිංහල බෞද්ධ) පිරිමියාට ඇත්ත සමාජයක් – අනාගතයක් – ඕනි නම් උඹලගේ ගැහැණිය වෙනස්කර ගනිල්ලා” කියල. ඒක කියවෙන්නෙත් අර සිංහල බෞද්ධ නොවන මූලයෙන්. ඒක තමයි ලංකාවේ ලොකුම දේශපාලන දාර්ශනික ප්‍රකාශය.
මේ සියල්ල සහ තව ගොඩක් දේවල් කිව්ව රොහාන් වැඩිය කළඑළි බසින්නේ නැතුව ඉන්න තීරණය කරනවා. අපිට ඒක ‘ගුප්ත’ ‘බිම්ගත’ මඟුලක් උනාට ඒක තමයි ඔහු පැවැත්ම ඇතුලේ කරපු දේශපාලනික දෙය. මම ඉන්නවා. හැබයි උඹලට ඕනි විදියට නෙවෙයි. මට ඕනි විදියට. ඕනිනම් හොයාගනිල්ලා.
ගොඩක් ඈත කාලෙක ඒක තේරුණු මම රොහාන් බලන්නවත් හම්බවෙන්නවත් කවදාවත් උත්සාහ කළේ නැහැ. එහෙම නැතිවුණා කියල අබමල් රේණුවක් දුකක් ඇත්තෙත් නැහැ. හමුනොවීමේ මාර ආදරයක් ආසියාතික අර්ථයෙන් තියනවා. මම ඒක තේරුම් ගත්තේ විශිෂ්ට ජපන් ලේඛකයෙක් වෙච්ච යසුනරි කවබතගෙන්.

අපි ගොඩක් සමාජයට පේන්න කැමරා ඉස්සරහට ගිහිල්ල කිසිදෙයක් කරගන්න බැරිව ඉන්නකොට රොහාන් එයාගේ විදියට ඉඳල ගොඩක් හදවත් ඇතුලේ සංකේතයක් වෙලා තිබිල තියනවා. ඒකයි මේ ඔහු අද ලබන අවධානයේ පසුබිම.

ගැහැණිය දේශපාලනිකකරණය කිරීම සහ වෙනස්කිරීම (රෝහානියානු අර්ථයෙන් නොවුණට) කොච්චර වැදගත්ද කියන ඒක අද දේශපාලනය තේරුම් අරගනිමින් තිබෙනවා.

ගොඩක් පේන්න හිටියේ නැතිවුණාට සමාජයකට සහ පරම්පරාවකට බලපෑම් කරන්නේ කොහොමද කියන එකත් රොහාන් තමන්ගේ ජීවිත පැවැත්ම ඇතුලේ ඔප්පුකරලා තිබෙනවා.
සුබම සුබ ගමනක් රෝ…

මහේෂ් හපුගොඩ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...