රාජ්‍ය ආරක්ෂාව යටතේ සිටින පුද්ගලයන් ඝාතනය කළ හැකිද? – මැරෙනවා කියන එකට හේතු රැසක් තියෙන්න පුළුවන් – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

Share post:

රාජ්‍ය ආරක්ෂාව යටතේ සිටින රැඳවියන් මියයෑම සම්බන්ධයෙන් අපි දිගටම කතා කරමු. එහෙත් එවැනි සිදුවීම් තවදුරටත් සිදු වේ. නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේදී මෙය බරපතළ කරුණකි. අධිකරණමය නොවන ඝාතන (Extra Judicial Killings) යනුවෙන් ද මේවා හඳූන්වයි.

යුක්තිය පසිඳලීමේ පරම බලය අධිකරණය සතුව තිබියදී, අත්අඩංගුවට ගන්නා ඕනෑම සැකකවරුකුට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය හිමි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම තහවුරු කර තිබියදී තවදුරටත් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් අත්අඩංගුවේදී මියයයි. ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී. පුංචිහේවා වරක් පැවසුවේ මේ ඝාතන සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණවලදී මහේස්ත්‍රාත්වරුන්ගේ හැසිරීම ද බරපතළ කරුණක් බවයි. 1994 කෲර, අමානුෂික සහ අවමන් සහගත වධහිංසාවලින් ආරක්ෂා වීම පිළිබඳ පනතට අනුව අත්අඩංගුවට ගන්නා සියලු සැකකරවැන්ගේ වගකීම අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් දැරිය යුතුය.

එහෙත් අධිකරණයේදී මේ ඝාතන සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන් ප්‍රශ්න කෙරෙන්නේ සීමාසහිතව බව එල්ල වන චෝදනාවකි. මෙවැනි ඝාතනයක් සිදු වූ වහාම පොලිසිය කරන්නේ අදාළ සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු බවත්, ඔහුට පෙර තිබෙන චෝදනා ලැයිස්තුවකුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ය. එමගින් අදාළ ඝාතනය සාධාරණීකරණය කිරීමේ උත්සාහයක් දරයි. වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාතනය සිදුවීමෙන් පසු ජනතාව කිව්වේ ‘අපරාධකරුවන් මැරුවට මොකද?’ යනුවෙනි. එහෙත් රාජ්‍ය ආරක්ෂාව යටතේ සිටින කිසිවකු ඝාතනය කිරීමට හෝ ඔහුට හෝ ඇයට කිසිදු හිංසනයක් සිදුකිරීමට අයිතියක් නැති බව නීතියේ දැක්වේ. ජනතාවට නීතිය ඉගැන්විය යුත්තේ එම නිසා ය.

2020 – 2023 අතර කාලය තුළ මෙරට බන්ධනාගාරවල සිරගතව සිටි සැකකරුවන් සහ වැරදිකරුවන් වූ පුද්ගලයන් 631 දෙනෙකු බන්ධනාගාර තුළදී මියගොස් තිබේ. ඒ අතරින් 61 දෙනෙකු සියදිවි නසාගෙන ඇත. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ යොමුකරන ලද තොරතුරු ඉල්ලුම්පත්‍රයකට ප්‍රතිචාර වශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛන මගින් මේ බව අනාවරණය වේ. මේ සියල්ලන් රාජ්‍ය ආරක්ෂාව යටතේ සිටි පුද්ගලයන් ය.

සියදිවි නසාගත් පිරිසෙන් 18 දෙනෙක් කාන්තාවෝ ය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව බන්ධනාගාර තුළ සිටියදී මියගිය පුද්ගලයන්ගෙන් 357 දෙනෙකු වරදකරුවන් වූ සිරකරුවන් නොව සැකකරුවන් ය. එනම්, දඬුවම් නොලද පුද්ගලයන් ය. මෙරට රක්ෂිත බන්ධනාගාරගත ව වසර 10කට අධික කාලයක් සිට නිදොස් කොට නිදහස් වූ පුද්ගලයෝ සිටිති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් අභියාචනා අවස්ථා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ ගොනුකරන ලද අභියාචනා මගින් නිදහස් වූ පුද්ගලයෝ කොතෙක් ද? වයසට යෑම හෝ බරපතළ රෝගාබාධ හැරුණු කොට, අනෙකුත් රාජ්‍ය ආරක්ෂාව යටතේ සිටි පුද්ගලයන්ගේ මරණ සඳහා හේතු කියන්නට කිසිවකුට හැකිද?

  • ශාලික විමලසේන

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...