යාදව්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව

Share post:

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලිගයේ සුපිරි තරුව මයාන්ක් යාදව්.

ඉන්දීය රුපියල් ලක්ෂ විස්සක කුඩා මුදලකට මිලට ගත් ඔහු ලක්නව් (LSG) කණ්ඩායම නියෝජනය කරනවා.
මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීගයේ වේගවත්ම පන්දු යවන්නා ඔහු.
ඔහු දැනට පැයට කිලෝමීටර 156.7 ක වේගයෙන් පන්දුවක් යවා තිබෙනවා.
මෙවර IPL තරගාවලියේ වේගවත්ම පන්දුව එය.
පන්දු වාරයක සාමාන්‍ය වේගය 150 සීමාවේ පැවතීමට තරම් ඔහු වේගවත්.
තවමත් 21 හැවිරිදි යාදව් මෙවර IPL තරගාවලියේ සොයා ගැනීම යැයි කීම අතිශයෝක්තියක් නොවෙයි.
එමෙන්ම දැනටම ඔහු ඉන්දීය රසිකයන් අතර ජනප්‍රිය තරුවකුත් වෙලා.
බොහෝ විට එළඹෙන T20 ලෝක කුසලානයේ ඉන්දීය සංචිතයේ ස්ථානයක් ඔහුට හිමි වීමටත් ඉඩ වැඩියි.
හැබැයි කතාව ඒ පිළිබඳව නොවෙයි.
ඉන්දියාවට ඉතා කලාතුරකින් සුපිරි යොවුන් වේග පන්දු යවන්නෙක් හිමි වීම මාතෘකාව විය යුතු වූවත් සමහර ඉන්දීය රසිකයන් මයාන්ක් යාදව් ගේ කතාව අල්ලගෙන තිබුණේ වෙනම තැනකින්.
මයාන්ක් යාදව් නිර්මාංශ ක්‍රීඩකයෙක් බව කියවෙනවා.
ඔහු මස් මාංශ ආහාරයට ගන්නේ නැති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තිබුණා.
මේ ඉන්දීය රසිකයන් මයාන්ක් නිර්මාංශ වීම අගය කරලා, හොඳ වේග පන්දු යවන්නෙක් වීමට මාංශ පාරිභෝජනය අත්‍යවශ්‍ය නොමැති යැයි මතයක් ගොඩනගමින් සිටිනවා.
හින්දු සංස්කෘතිය අනුව ඉන්දියානුවන් එතරම් මස් මාංශ පාරිභෝජනය ප්‍රිය කරන පිරිසක් නොවෙයි.
විශේෂයෙන්ම ඔවුන් ගව මස් ආහාරයට ගන්නේ නැහැ.
මේ ඉන්දීය රසිකයන් යාදව් නිර්මාංශ වීම උත්කර්ෂයට නගන්නේ අහඹුවකින් නෙවෙයි, සැලසුම් සහගතව.
මේ මොහොතේ ඉන්දීය කණ්ඩායමේ බුම්රා හැරුණු විට ප්‍රධාන වේග පන්දු යවන්නක් දෙදෙනෙක් ඉන්නවා.
පළමු වැන්නා මොහොමඩ් ශාමි.
දෙවැන්නා මොහොමඩ් සිරාජ්.
ඔවුන් මුස්ලිම් ක්‍රීඩකයන්.
ඔවුන් හොඳ, ශක්තිමත් වේග පන්දු යවන්නන් වීමට හේතුව ඔවුන්ගේ ආහාර යැයි කතාවක් පහුගිය දිනවල ඉන්දියාවේ ප්‍රචාරය වුණා.
ඉන්දීය රසිකයන් මේ මොහොතේ යාදව් නිර්මාංශ වීම ගැන සංවාදයක් ගොඩනගන්නේ යාදව් භාවිතා කරමින් සිරාජ් සහ ශාමි ඉලක්ක කිරීමටයි.
ශාමි සහ සිරාජ් සාර්ථක වේග පන්දු යවන්නන් වීමට හේතුව ඔවුන්ගේ ආහාර රටාව යැයි ගොඩනැගුණු තර්කය බිඳීමට ඔවුන්ට අවශ්‍ය වී තිබෙනවා.
එම නිසා ඔවුන් ඒ සඳහා යාදව් භාවිතා කරමින් ඉන්නවා.
ඉන්දීය රසිකයන්ගේ හැසිරීම ලොව වෙනත් ඕනෑම රටකට වඩා දේශපාලනිකයි.
වෙනත් පන්දු යවන්නන් නොමැති නිසා සිරාජ්ට සහ ශාමිට අවස්ථාවන් හිමි වූවත්, යාදව් වැනි ක්‍රීඩකයන් හමු වූ වහාම ශාමි සහ සිරාජ් කණ්ඩායමෙන් ඉවත් කිරීමට ඔවුන් බලපෑම් කරනවා.
එරට රසිකයන් ක්‍රිකට් ක්‍රීඩාව තුල පවා දැඩිව බෙදීම් නඩත්තු කරන පිරිසක්.
වාසනාවකට මෙන් අපේ රසිකයන් තුල මෙවැනි බෙදීම් සහ වාද දකින්නට නැහැ.
ඔවුන් රට නියෝජනය කරන සෑම ක්‍රීඩකයෙකුගේම පසුබිම නොසලකා සහය දෙනවා.
ආදරය කරනවා.
ජාතික කණ්ඩායම සම්බන්ධ කාරණා වලදී මෙරට රසිකයාට වැදගත් ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය විනා ඔවුන්ගේ සංස්කෘතිය හෝ ගෝත්‍රය නොවෙයි.
එය බොහෝ වැදගත් සහ ධනාත්මක ලක්ෂණයක්.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

         2024. 04. 08

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...