MY RED COMRADE – වම් ඉවුරේ දේශපාලනය පිළිබඳ අලුත් සිනමාත්මක කියවීමක්

Share post:

සුදත් මහදිවුල්වැව, දිවුලා අවුරුදු 19කට පසු සිනමා තිරය ආක්‍රමණය කර ඇත්තේ ගැඹුරු අධ්‍යයනයකින් පසුව බව වැටහෙන්නට වූයේ ඔහුගේ නවතම සිනමා රූ සරණිය, MY RED COMRADE තිරය මත දිගහැරෙන්නට වූ මොහොතේ සිට ම ය.

2005 දී තිරගත කෙරුණු ඉතා සුන්දර රූපාවලියකින් සමන්විත වුණු දිවුලාගේ පළමු චිත්‍රපටය, “සුදු කළු සහ අළු” සම්බන්ධයෙන් තිබුණු දරුණුම ගැටලුව වූයේ තේමාවෙහි තිබුණු සංකීර්ණ බවයි. එයින් අදහස් කෙරුණේ ඒ තුළ වස්තු බීජ (Multi plot) බහුලව තිබීමත් ඉන් එකක් හෝ ගැඹුරු විශ්ලේෂණයකට බඳුන් නොවීම නිර්මාණයට සිදුව ඇති හානියක් බවයි.

එහෙත් MY RED COMRADE ඔස්සේ ඒ අර්බුදය ජය ගනිමින් අධ්‍යක්ෂවරයා වර්තමානයට ඉතා ගැළැපෙන දේශපාලන කථිකාවක් අප වෙත මුදාහරියි. සැඟවී දිවි ගෙවන මැදිවියේ වාම විප්ලවවාදී ලේඛකයෙකුගේ කුඩා කාමරයට රාත්‍රියක අහම්බෙන් කඩා වදින යුවතියක හා ඇතිවන අහඹු හමුවීමක් හරහා වසර ගණනාවක් ඔස්සේ මෙරට මතුවෙමින්, සැඟවෙමින් අපේ ජීවිත සමඟ ඇදී යන වම් ඉවුරේ දේශපාලනයේ සැබෑ මුහුණුවර සහ එහි ඉරණම පිළිබඳව ඍජුව ම අපෙන් විමසයි. මේ යුවතියට මෙන් ම මේ විප්ලවවාදී ලේඛකයාට නමක් නොයෙදීමෙන් ම මේ චරිත, ඔබ ද මා ද අතුළුව සර්වකාලීනව අපට හමුවන බොහෝ සැබෑ චරිතයන්ට ආදේශ කෙරෙනුයේ නිරායාසයෙනි. මුල දී පොලිසියෙන් ගැලවෙන්නට උත්සාහකරන අබිසරුලියක වෙසින් සිටිය ද ඇය ද වාම විප්ලවවාදී ජාන සහිත යුවතියක බව ක්‍රම ක්‍රමයෙන් හෙළි කෙරෙන්නේ අතිශය චමත්කාරජනක අයුරිනි. ඇය මැක්සීම් ගෝර්කිගේ “මකාර් චුද්‍ර“ කෙටි කතාවෙහි එක් පිටුවක් කට පාඩමින් කියාපාන්නේ සියුම් රංගන අභිනයක් ද මුසුකරමිනි.

වෙනදා දිවුලාගේ නිර්මාණයක අප දකින අති සුන්දර රූපාවලිය මෙහි නැති බව ප්‍රබල සංවාද පෙළ හමුවේ අපට අමතකව යයි. සුන්දර දිය කඩිති මත ඇඳි ගහ කොළ සෙවණැලි සිත්තම්, විහඟ ගීත, තුරු ගොමු සිදුරු කරන හිරු රැස් කෙඳි මෙහි දකින්නට නැත. දුම්රිය, ජනෙල් කවුළුව සහ වැස්ස මෙන් ම වහලෙන් වැටෙන දිය බිඳුු එක්රැස් කෙරෙන බඳුන සහ ජංගම දුරකථනය නිරායාසයෙන් ම පාත්‍රවර්ගයා බවට පත් කරගන්නට ඔහු සමත්වෙයි. යුවතිය සිය පියා පිළිබඳ අඳුරු මතක හෙළිදරව් කරද්දී අප ද යළි යළිත් ඇය සමඟ අතීත ස්මරණ ලෝකයකට ඇදී යයි. එසේ ම 88/89 කළු සෙවණැලි සිහිපත් වීම කෙසේ නම් අමතක කරමු ද? ඇයගේ වේදනාවන් මවන කුරිරු රිදවීම් අප ද දවයි. සිය පියා ඔහුගේ පුස්තකාලයේ පොත් එකතුව සමඟ අමු අමුවේ ඇගේ දෑස ඉදිරිපිට දවා හළු කළ ආකාරය කියද්දී, අදටත් මගේ පුස්තකාලයේ ආඩම්බරයෙන් රැඳී සිටින සමහර පොත් එදා ඒ අඳුුරු කාලසීමාවෙහි තවකාලිකව සඟවා තබන්නට සිදුවූ බව සිහිවීම කෙසේ නම් මඟහරිමු ද? මෙහි දී හෙළිදරව් වන විප්ලවවාදී ලේඛකයාගේ කතාව ද එලෙසින් ම බිහිසුණු ය.

මෙසේ සිනමාව ඇදී යද්දී මේ සුකුමාල යුවතියගේ දේශපාලන කියවීම, විප්ලවවාදී ලේඛකයාගේ සාම්ප්‍රදායික චින්තනයට වඩා නව්‍යවාදී බව අපට හැඟෙයි. ඇය තමන් විසින් ම මුලදී හඳුන්වාදනු ලැබූ අයුරින් අබිසරුලියක් නොව ප්‍රබල වාමවාදී ක්‍රියාධාරිනියක බව අපට තහවුරු වෙයි. දෙමඟක් ඔස්සේ ඔවුන් කේන්ද්‍රගත වන්නේ එකම අරමුණක් වෙනුවෙනි. ඇගේ සමහර තියුණු ප්‍රශ්නකිරීම් හමුවේ ඔහු නිරුත්තර වෙයි. ඒ වාමවාදී දේශපාලනය මේ පොළොවේ මහා ගසක් ලෙස ස්ථාපිත නොවුයේ ඇයිදැයි ඇය විමසන්නේ ඔහුගෙන් වුව ද දිවුලා එය විමසන්නේ අපෙනි. එය වර්තමානයේ අප හමුවේ ඇති වඩාත් තීරණාත්මක ගැටලුවක් නොවන්නේ ද?
ඇය ඔහුට මෙසේ කියයි. “සංස්කෘතික මිනිහෙකුට විතරයි පුළුවන්, අලුත් හීන හොයන්න… අලුත් හීන හදන්න… අලුත් හීන දකින්න…අලුත් හීන දකින්න බැරි මිනිස්සු ගොඩාක් දුප්පත් ”

ඉහත කී තීරණාත්මක ගැටලුවට විසඳුම එය ද? සෑම දුප්පත්කමකට ම හේතුව මේ දුප්පත්කම ද? ‘නව සංස්කෘතික මිනිසෙක්’ යනු පවතින දේශපාලන මෙන් ම සමාජ අර්බුදයට සාර්ථක විසඳුමක් පිළිබඳ ඉඟියක් ද? සැබැවින් ම අපේ හීන මඟ හැරුණේ කෙසේ ද එයට සංස්කෘතික නෑ කමක් නොතිබුණු නිසා ද ? අපේ පොප්ලර් සිහින අපෙන් උදුරාගනු ලැබුවේ කවුරු ද? ඒ කෙසේ ද?

මේ ගැඹුරු සිනමා වියමන සැබෑ ලෙස ම හුදු බයිස්කෝප් ප්‍රේක්ෂකයා ඉලක්ක කර නොගත් නිර්මාණයක් බව පැහැදිලි ය. බටහිර ඇතැම් කලා විචාරකයන් විසින් ලොව ප්‍රබලතම කලා මාධ්‍යයන් අතර සත්වන ස්ථානයෙහි ලා සැලැකෙන සිනමාව හරහා ඉදිරිපත්කෙරෙන මෙබඳුු නිර්මාණයක් රස විඳින්නට නම් රසිකයා තුළ වඩාගත් රස වින්දන ශක්‍යතාවක් මෙන් ම පරිකල්පන හැකියාවක් පවා තිබිය යුතු ය. වඩා යහපත් ජනසමාජයක් පිළිබඳ සිහින දකින රසිකයාට මේ සිනමාව ආදරයෙන් වැළැඳ ගැනීමට හැකිවෙතැයි හැඟෙයි. දිවුලා අපට මඟහැරුණු දේශපාලන කතිකාවක් යම් තරමක රොමාන්තික ප්‍රවේශයකින් අපට ඉදිරිපත් කර ඇති බව නිසැක ය.

මේ අනුව MY RED COMRADE, ලොව පුරා ප්‍රචලිත ජනප්‍රිය හෝ කලාත්මක සිනමා ධාරාවන්ගෙන් බැහැර කේවල සිනමා ශානරයක් ලෙස ගාඩනැගුණු Third cinema හෙවත් තුන්වන සිනමාවට, එසේ නැතහොත් ඍජුව ම දේශපාලනික අර්ථ දැක්වීම් පමණක් අරමුණු කරගත් විකල්ප සිනමා කාණ්ඩයට අයත් සිනමාවක් ලෙස හැඳින්විය හැකි ය. ලංකාවට පළමුවරට මේ සිනමා ශානරය හඳුන්වාදුන් පුරෝගාමියා ලෙස ධර්මසේන පතිරාජ හඳුන්වාදිය හැකි වෙයි. Third cinema හෙවත් තුන්වන සිනමාව තුළ මුල් යුගයේදී තිබුණු කර්කශ රළු ස්වභාවයෙන් මිදී ජනප්‍රිය හා කලාත්මක සිනමාවේ අංග ලක්ෂණ ද කැටිකරගන්නට ලොව බොහෝ සිනමාකරුවන් මෙන් ම පතිරාජ ද සමත් විය. එලෙසින් ම මේ නව කෘතිය ඔස්සේ සිනමාව යනු, මිනිස් සිතුවිලිවලට කෙතරම් ප්‍රබල ලෙස මැදිහත් විය හැකි බල සම්පන්න මාධ්‍යයක් දැයි දිවුලා තහවුරු කරයි. සිනමාව තවදුරටත් හුදු කලා මාධ්‍යයක් නොවන බව මුලින්ම තහවුරු කෙරුණේ රුසියානු සමාජය ඇසුරිනි. සාක්ෂරතාව අහිමි ජන කොට්ඨාසයට විප්ලවයෙන් පසු දිනාගත් ජයග්‍රහණ පිළිබඳව ප්‍රචාරණ හෝ ප්‍රවර්ධන මාධ්‍යයක් ලෙස භාවිත වූයේ ද සිනමාවයි. ඒ අනුව මැදිහත්කාරක බලය අතින් ලොව ප්‍රබල ම මාධ්‍යය වන සිනමාව හරහා දිවුලා ගොඩනඟන කථිකාව පහසුවෙන් බැහැර කළ නොහැකි ය.

ජනප්‍රිය ටෙලි නිළියක වන තරින්දි ප්‍රනාන්දු මෙහි යුවතිය ලෙස ඉදිරිපත්කරන අභිනය සිනමා රසිකයන්ගේ අප
අප්‍රමාණ ප්‍රසාදයට හේතු වනු නිසැක ය. ඇගේ මුහුණ සිනමාවට නැවුම් වූවකි. ඒ මුහුණේ ඉතා සියුම් ඉංගිතයන් සීරුවෙන් සොරකම් කරන්නට දිවුලා මෙන් ම සංස්කරණ ශීල්පී අජිත් රාමනායක ද සමත් වී ඇත. මැදිවියේ මිනිසා ලෙස රඟන ආසිරි ඇල්ලගේ නවකයෙකි. ඔහුගේ මන්ද රංග ලීලාව භූමිකාවේ ස්වභාවයට කදිම ලෙස සමාරෝපණය වෙයි.

දිවුලාගේ වෙනත් බොහෝ නිර්මාණවල දී පරිසර සුන්දරත්වය නිර්ලෝභීව එක්රැස් කරන ප්‍රවීණ කැමරාවේදී රුවන් කොස්තා බිත්ති හතරකට සිරගත කෙරුණ ද සිනමා කෘතිය කෙරෙහි ඔහු සිය බලපෑම අතහරින්නට සූදානමක් නොතිබුණු බව පැහැදිලි ය. මන්දාලෝකයක් සහිතව දිස්වන කුඩා කාමරයක, විදුලිය බිඳවැටීම, ජනෙල් කවුළුවෙන් පිටත වැස්ස, ඉටිපන්දම් එළි, වැහි වතුර කාන්දුවන තැන්වල තැබූ බඳුන්, ඈත දිවෙන වාහනවල ආලෝක ධාරා වැනි ආධාරක, සිය මෙවලම් බවට පත්කරගනිමින් හස්තගත කැමරාව අංශක 360ට කරකවන්නේ ප්‍රේක්ෂක දෑස්වලට ද නොදැනෙන අයුරිනි. තරින්දිගේ රංගනයෙහි මෙන් ම රුවන්ගේ කැමරාකරණයෙහි ද, සංස්කරණයෙහි ද පළුදු නැත. සසික රුවන් මාරසිංහගේ ශබ්ද සංයෝජනය ද එබඳු ය. නිර්මාණාත්මක ය. පළුදු නැත. මංජුල අයගමගේ කලා අධ්‍යක්ෂණය ද සමාප්ත නිර්මාණයෙහි අවියෝජනීය අංගයකි. නදීක ගුරුගේගේ සංගීත වියමන වගකීමක් ඇතිව සිදුකළ දායකත්වයක් බව නොහැඟෙයි. දිවුලාගේ පද රචනය සහිතව නදීක ගයන ගීය අපූරු ය. එහෙත් ඒ ගීය සහ රූප රචනය මේ නිර්මාණයට අත්‍යවශ්‍යදැයි හඟිමි. ඒ හැර අනෙක් සියලු අංගයක දශමයක හෝ අඩු වැඩිවීමක් නැතිව සිය නිර්මාණයට පරිණත අයුරින් දායක කරගන්නට අධ්‍යක්ෂවරයා සියුම් වී ඇත.

සුදත් මහදිවුල්වැව, දිවුලා ඔහුගේ නවතම සිනමා රූ සරණිය, MY RED COMRADE කෘතිය පුරා කතා කරන්නේ යහපත් සමාජයක්, අලුත් ලෝකයක් පිළිබඳ සිහිනය අප අතින් ගිලිහුණේ හෝ ගිලිහෙන්නේ මන්ද යන ගැටලුවයි. සැබැවින් ම එබඳු සමාජයක් පිළිබඳ සිහින අලුත් වන අද වැනි තීරණාත්මක යුගයකට, MY RED COMRADE ට වඩා ගැළපෙන වෙනත් පරිසමාප්ත නිර්මාණයක් තිබිය හැකි ද?

පුෂ්කර වන්නිආරච්චි
නිර්මාණවේදී

            2024 අප්‍රේල් 06

Related articles

‘මළකඩ සහ අස්ථි’

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින පියෙකුගේ ඔබ මොබ ඇවිදින රූප පෙළකින් චිත්‍රපටය පළමු දර්ශන...

‘මේ ගසට ගල් ගසන්න’ යළි යළි කියවන්නට පොළඹවන මත දනවනා කවි එකතුවකි

මේ ගසට ගල් ගසන්න - ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ තද වැසි...

කටුනායක වීසා ප්‍රශ්නය : මාර්තු මාසයේ අපි කිව්වේ මෙහෙමයි : ඇමැති ටිරාන්ගේ වැඩක් – ඉන්දියාව සම්බන්ධ නෑලු !

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වයට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව...

Astrozeneca : මූලික අයිතිවාසිකම් උල්ලංඝනය ගැන පරීක්ෂණයක් ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් !

Astrozeneca එන්නත ලබාගත් පුද්ගලයන් දරුණු අතුරු ආබාධවලට මුහුණ දී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස...