අවසන් ජයග්‍රහණය – හිතේ හැටියට සතුටක් ලැබූ අවසන් වසර 2014

Share post:

මම හිතන්නේ ක්‍රිකට් රසිකයෙකු ලෙස පුද්ගලිකව මට ආශ්වාදජනකම අවුරුද්ද 2014.
ඒ විතරක් නෙවෙයි, ක්‍රිකට් ක්‍රීඩාව නිසා හිතේ හැටියට සතුටක් ලැබූ අවසන් වසරත් 2014.
2014 වෙද්දී ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම කණ්ඩායම.
ඕනෑම වෙලාවක, ඕනෑම පිටියක, ඕනෑම පන්දු යවන්නෙකුට එරෙහිව සාර්ථක විය හැකි ලොව හොඳම පිතිකරුවො ලංකාවේ හිටියා.
ඩිල්ෂාන්, සංගා, මහේල විතරක් නෙවෙයි ඒ කාලයේ ඇන්ජලෝ මැතිවුස් හිටියෙත් වෙනම තලයක.
ශ්‍රී ලංකාව සතුව ලොව හොඳම පන්දු බලඇණියකුත් තිබුණා.
මාලිංග, කුලසේකර, හේරත්, සචිත්‍ර සේනානායක ආදීන් ලෝකයේ හොඳම පන්දු යවන්නො අතර හිටියා.
කණ්ඩායම සමබර කිරීමට යොදාගත් තිසර පෙරේරා අවශ්‍ය ඕනෑම මොහොතක විශ්වාස කළ හැකි ක්‍රීඩකයෙක්.
මේ සියලූම සාධක නිසා ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම රට වුණා.
2007 සිට 2014 දක්වා වන කාල සීමාවේ බහුතර ICC තරගාවලි වල අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව ක්‍රීඩා කළා.
ICC ය ලෝක කුසලාන සංවිධානය කරන්නේ ශ්‍රී ලංකාව සමග අවසන් මහා තරගයට ක්‍රීඩා කරනා සෙසු රට සොයා ගැනීමට යැයි ප්‍රසිද්ධ කතාවක් එකල තිබුණා.
2014 ට පැමිණෙද්දී ශ්‍රී ලංකාව බොහෝ බලවත්, බොහෝ ප්‍රබල රටක්.
2014 ආසියානු කුසලානයත් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා.
එම තරගාවලියේ ක්‍රීඩා කළ සියලූම තරග ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඊටපස්සේ T20 ලෝක කුසලානය පටන් ගත්තා.
බංග්ලාදේශයේ පැවැති තරගාවලිය ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවට වාසිදායක වූණා.
තරගාවලිය පැවැත්වෙන දඟ පන්දුවට හිතකර තනතීරු ශ්‍රී ලංකාවට හුරුපුරුදුයි.
විශේෂඥ ටෙස්ට් පන්දු යවන්නෙකු වූ රංගන හේරත් පවා T20 ලෝක කුසලාන සංචිතයට එක් කර තිබුණේ ඒකයි.
මේ ලෝක කුසලානය කිහිප විදියකින් ශ්‍රී ලංකාවට වැදගත් වුණා.
මේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් වූ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනගේ අවසන් තරගාවලිය.
ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයන් වූ ඔවුන් කිසිඳු ලෝක කුසලානයක් ජයග්‍රහණය කර තිබුණේ නැහැ.
ඔවුන් වෙනුවෙන් කුමක් හෝ කිරීමට කණ්ඩායමට අවශ්‍ය වුණා.
අනෙක් අතට ආසන්නතම T20 ලෝක කුසලාන දෙකක අවසන් මහා තරග පරාජය වී සිටි රටටත් ජයග්‍රහණයක් අත්‍යවශ්‍ය වුණා.
ලෝක කුසලානයේ අඩියෙන් අඩිය ඉස්සරහට පැමිණි ශ්‍රී ලංකාව එක් තැනක හිර වුණා.
ඒ මොහොතේ ඉදිරියට ඇවිත්, නොතිබූ ජයක් ගෙන ආවේ රංගන හේරත්.
විශේෂඥ ටෙස්ට් පන්දු යවන්නා, එදාමෙදා තුර ලොව විශිෂ්ඨතම T20 පන්දු වාර කිහිපය යැව්වා.
අවසන් පූර්ව තරගයේ වර්ෂාවත් ශ්‍රී ලංකාවට ආශිර්වාද කළා.
ශ්‍රී ලංකාව අවසන් මහා තරගයටත් සුදුසුකම් ලැබුවා.
අවසන් මහා තරගය පැවැත්වෙන තුරුම දැනුණේ මිශ්‍ර හැඟීමක්.
2007 සිට 2014 දක්වා කාලයේ ශ්‍රී ලංකාව ලෝක කුසලාන අවසන් මහා තරග හතරකට ක්‍රීඩා කළා.
ඒ හතරම පරාජය වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනය කළමනාකරනය කර ගැනීමේ ගැටලුවක් ඇති බවට ලෝකයම කිව්වා.
මෙවරත් ඒ ඉරණමටම මුහුණ දීමට සිදු වේ දැයි සැකයක් තිබුණා.
අනෙක් අතට මෙවර ලෝක කුසලානය ජයගත හැකි යැයි විශ්වාසයක් ද තිබුණා.
කොහොමහරි එදා ශ්‍රී ලංකාව දින්නා.
ඒ මොහොතේ ඇහුණු රතිඤ්ඤා සද්දය තාමත් මතකයි. ජාතික කොඩි අරගත්තු මිනිස්සු මහ රෑම පාරට බැස්සා.
යුධ ජයග්‍රහණයෙන් පස්සේ එදා මුලු කොළඹම සහ රටේම මිනිස්සු ජයග්‍රහණයක් සැමරුවා.
කිරිබත් කැපුවා. හැමෝගෙම අතේ ජාතික කොඩි තිබුණා.
ලෝක ශූර කණ්ඩායම කුසලානයත් අරන් මවුබිමට එද්දී වහිනවා.
ඔවුන් වෙනුවෙන් විශේෂ බස් රථයක් සහ මාර්ග සංචාරයක් ලෑස්ති කරලා තිබුණා.
එදා කුසලානය අරන් කණ්ඩායම එද්දී, වැසි මැද කොළඹ පාරවල් පිරෙන්න මිනිස්සු හිටියා.
2014 T20 ලෝක කුසලාන ජයග්‍රහණය මතක් කරද්දී තවමත් මැවෙන රූප ටිකක් තියෙනවා.
නවසීලන්ත තරගයේ රංගන හේරත් යැවූ පන්දුවාර, සිය නායකත්වය කණ්ඩායම වෙනුවෙන් කැපකළ දිනේෂ් චන්දිමාල්ගේ බැරෑරුම් මුහුණ තවමත් මැවී පෙනෙනවා.
සචිත්‍ර, කුලසේකර, මාලිංගගේ අවසන් පන්දුවාර හතර, තිසර පෙරේරාගේ අවසන් ජයග්‍රාහී හයේ පහර චිත්‍රපටයක දර්ශන වගේ තාමත් මතකයි.
ඒ මොහොතේම පිටියට කඩා වදින ශ්‍රී ලංකා කණ්ඩායම, සංගක්කාර වැළඳ ගන්නා කුසල් පෙරේරා, සංගා – මහේල ගේ වැළඳ ගැනීම මේ සියල්ල අද වගේම මතකයි.
2014 ලෝක කුසලානය කියද්දී ජාතික කොඩි අරන් පාරට බැහැපු මිනිස්සු, ඔවුන්ගේ ජය ඝෝෂා තවමත් හිතේ ඇඳෙනවා.
ඒ හැඟීම අදටත් එහෙමයි.
2014 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පස්සේ සංගා – මහේල සමුගත්තා.
පසුව ඩිල්ෂාන්, මාලිංග ඇතුළු පිරිස ඉවත් වුණා.
ඒ සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආධිපත්‍යයත් හෙමිහිට වේදිකාවෙන් බැහැලා ගියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ශ්‍රී විභූතියේ අවසන් සුබ සලකුණ වූයේ 2014 T20 ලෝක කුසලානයයි.
එම ජයග්‍රහණයට දශකයක් ගත වූවත්, අද ඊයේ ලැබූ ජයක් මෙන් දැනීමට හේතුව එය වෙන්නට ඇති.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

Related articles

‘මේ ගසට ගල් ගසන්න’ යළි යළි කියවන්නට පොළඹවන මත දනවනා කවි එකතුවකි

මේ ගසට ගල් ගසන්න - ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ තද වැසි...

කටුනායක වීසා ප්‍රශ්නය : මාර්තු මාසයේ අපි කිව්වේ මෙහෙමයි : ඇමැති ටිරාන්ගේ වැඩක් – ඉන්දියාව සම්බන්ධ නෑලු !

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වයට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව...

Astrozeneca : මූලික අයිතිවාසිකම් උල්ලංඝනය ගැන පරීක්ෂණයක් ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් !

Astrozeneca එන්නත ලබාගත් පුද්ගලයන් දරුණු අතුරු ආබාධවලට මුහුණ දී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස...

ඡන්ද කරන හැටි කියලා දෙන්න අලියාට – පොහොට්ටුවට මෝදි එන්න කියයි !

මැතිවරණ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමට ඉන්දියාවට පැමිණෙන ලෙස එරට අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ...