ඉතිහාසයේ ඈත කෙළවරේ පටන් මේ දක්වා අතුපත් රිකිලි ශාකා අක් මුල් පරඬැල් ඉස කඳ අරටු රේඛා පත්‍රිකා ආදියෙන් හැඩ වූ ගසක් වැලක් මලක් පලක් වන අරණක්, ආකෘතියෙන් රුවෙන් ගුණෙන් වයසින් ජීවයෙන් සෙවනැල්ලෙන් ඇතුළාන්තයෙන් පිටතින් බැඳුණු මේ සියල්ලෙන් පරිණාමයෙන් පරිපාකයට පත් වූ දීර්ඝතම කතාන්දරය අතිසමීපවත් – පූර්ණවත් අප අසා තිබුණේද? අප අපට ම නිහතමානී වුවහොත් ඊට පිළිතුර ‘නැත’ යන්නයි. කාලයෙන් කාලයට අවදියෙන් අවදියට සෘතුවෙන් සෘතුවට ශිෂ්ටාචාරයෙන් ශිෂ්ටාචාරයට රාජධානියෙන් රාජධානියට යුගයෙන් යුගයට පරිසරයේ බලය පවත්වාගෙන ගිය මිනිස් සමූහයාත්, ඔවුන්ගේ සහචරයන් වූ සතුනුත් පරිණාමය වූ අයුරු විනා, එකී කුලකයේ මුල් තැන හොඹවනා තුරුලතා මඬුලු ගැන කතාව යටපත්ව ගොස් තිබිණි. මෙසේ ප්‍රධාන සහ අප්‍රධාන, මහා සහ චූල, පිළිගත් සහ නොගත් විලසින් පිළිවෙළින් මිනිසාත් ගසත් වෙනුවෙන් පැවති අදහස්, පීටර් වොල්ලේබන් විසින් සංවේදී සහ සාධනීය අතකට යොමුකිරීමට දරන ලද ප්‍රයත්නයකි, වන පෙතක සැඟවුණු අන්දරය.
අප ගස නාමකරණය කළ ආකාරය ද මේ වෙනසට හේතු වූවා විය යුතුය. එනම් අප ගස සලකන්නේ, අජීවි, අප්‍රාණික වස්තුවක් ලෙස බැවිනි. ව්‍යාකරණානුකූලව ද ඊට ගෞරවය දුන්නොත් මිස, ආඛ්‍යාතය බහුවචනයෙන් තබන්නේ නැත. ගස වැඩෙයි. එය සැබෑවකි. එහෙත් ඊට ගෞරවය දී පණ ඇති දෙයක් කළ විටය ‘වෘක්ෂයෝ වැඩෙත්’ වන්නේ. එතෙක් කලක් අජීවී ලෙස තැකූ දෑ, පණගැහෙන සජීවී දෙයක් ලෙස එක්වර ම මෙයින් දැකීම අරුම අදහස් උපදවන්නක් වන්නේ එබැවිනි.
දැන් අපි මෙහි අන්තර්ගතය වෙත පිවිසෙමු.
අනෙක් තුරු අතර හිඳිමින් තම ජීවය පවත්වාගෙන යාම වෙනුවෙන් ගසකට සටන් දෙකක් පවතී. එකක් නම්, ආලෝකය පිළිබඳව වන සටනයි. අනෙක නම් ජලය පිළිබඳව වන සටන යි. ආලෝකය පිළිබඳව වන සටනේ දී, අනෙක් තුරු සමඟ කරටකර තරග කරමින් හැකි උපරිම ඉහළ අහස කරා යමින් සූර්යකෝෂ ලෙසින් ක්‍රියාකරන පත්‍ර වෙනුවෙන් අලෝකය උරාගැනීමට ගස ක්‍රියාකරයි. ඒ වෙනුවෙන් පළමුව තමන්ගේ කඳ කොටස පමණක් යා හැකි උපරිමයට ගෙනයයි. අනෙක් අතු හා පත් අතර නොගැටෙන නොඇලෙන සේ සීමාව පවත්වාගනී. මේ ගසකට ඉහළින් සිය අතුපත් ම වියනක්ව සෑදෙන සැටියි. ජලය පිළිබඳව වන සටනේ දී ගස ගමන්කරන්නේ පහළටයි. එනම් මූල පද්ධතිය දෙසටයි. පොළොවේ ඇති ජලය උපරිම උරාගැනීම සඳහා තමන්ගේ සීමාවට ඔබ්බෙන් වන පොළෝ මට්ටම් කරා ද දුවමින් පැතිරෙනා මුල්, මූලිකා සහ දිලීරවල කාරිය එයයි. මෙලෙසින් ඉහළටත් පහළටත් පදාසයක්ව පැතිරෙන වෘක්ෂ තම තම නම වෙනුවෙන් ඇති හැකි කාලයක් වනයේ විසීම වෙනුවෙන් සාමූහික ප්‍රයත්නයක යෙදෙයි. පීටර් වොල්ලේබන්ගේ කෘතිය දිගහරින්නේ මේ විස්මයජනක කතාන්දරයයි.
මූලික හැඩ රුව අතින් ද, ජීවත්වන හැසිරීම් විධි අතින් ද ගසක් මිනිසෙකුගේ සොබාවයට සමාන යැයි කිව හැකිය. මිනිසාට රුධිරය මෙන් ගසට ද ජලය අවැසිය. හුස්ම මෙන් හිරු එළිය වටී. සම මෙන් ගසේ පොත්ත ක්‍රියාකරයි. සිතිවිලි නිපදවයි. හොඳට නරකට දෙකට ම සුවඳ විහිදුවයි. ආකර්ෂණය කරගනී. වර්ගයා බෝකරයි. අව්වට වැස්සට කුණාටුවලට සෘතු විපර්යාසවලට ඔරොත්තු දෙයි. සිය ජීවය පවත්වාගෙන යාමට වෙහෙසෙයි. සටන් කරයි. ඒවායේ ප්‍රතිඵල ලෙස දීර්ඝකාලීනව කැළලි ඉතිරිවෙයි.
ගස් සතුන් හා දක්වන සබැඳියාව වෙසෙස් එකකි. මේ තුරුලතාවෝ මිනිසුන් මෙන් ම ආකර්ෂණ න්‍යාය හොඳින් දනිති. තම බීජ සහ පරාග වනය පුරා විසිරුවා හරිමින් මෙහෙකරනා සතුන් හා මිතුරු වනු සඳහා ඔවුහු, පුෂ්පවල සුවඳින් ද, දියරවලින් ද, පැහැයෙන් ද සිය දිස්නය විහිදුවාලති. ඊට වශීවන විවිධ සත්ව විශේෂ, තුර හා නොමසුරුව ආලවන්තකම් පා තවත් ගසක් වෙත යති. වසුරු හෙළති. රොන්සුනු තවරති. ගසේ වර්ධනයට තමා නොදනිත්ම දායක වෙති. එසේම මෙහි අනෙක් පස ද සිදුවෙයි. එනම්, තම පත් කා දමනවිටදී, තුරකට රිදුම් එයි. එවිට එය කරන්නේ, සතුන් විකර්ෂණය කරගනු සඳහා තිත්ත රසායනිකයක් නිපදවීමයි. එවිට පත් කාදමන සත්වයා එතැනින් ඉවත්ව යයි. එයිනුත් නොනැවතී අවට ඇති තම වර්ගයේ ශාක වෙත අනතුරු ඇඟවීමේ සංඥාවක් ලෙස සුවඳක් නිකුත් කරවන මේවා සාමූහික වශයෙන් තම ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටී.
කෘතියේ සමස්තය වැකියකින් දෙකකින් කියන්නේ නම්, තුරක් යනු තවදුරටත් අජීවී යමක් නොවෙයි. සියල්ල දරා සිටිනා මාතාවක් ද නොවෙයි. මිනිසා වෙනුවෙන් වහලෙක් හෝ මෙහෙකරන්නෙක් ද නොවෙයි. එය සිතුවිලි සහ හැසිරීම් සහිතව තමන්ගේ ලෝකයේ වෙසෙමින් පරම්පරාවේ නම තබා යාමට පැමිණ සිටින පූර්ණ ජීවියෙකි. ජීවිතයකි.
මෙහි කතුවරයා, පීටර් අත්දැකීම් බහුල වන පාලකයෙකි. විද්‍යාත්මක ක්‍රම අනුව වනයක් නඩත්තු කරනා සැටි, සෘතුවෙන් සෘතුවට ගස් කපනා සැටි, ආරක්ෂා කරගත යුතු තුරු රක්නා සැටි සමඟින් තුරුලතාවන් සාමුහිකව කපා නොදමා, ශිෂ්ට ලෙසකින් මානුෂීයව සොබාදහම හා ගනුදෙනු කරනා සැටි ඔහු කියාදෙයි. දීර්ඝකාලීන නිරීක්ෂණ ඔහු සතුයි. වට කිහිපයක් සූම් කරන ලද කැමරාවක් සේ තුරක අති අභ්‍යන්තරයට පිවිසෙන්නා සේ, තුරක පතක යා හැකි උපරිමයට යන කතුවරයා, ගසේ අරටුවේ මැද හිඳිමින් ම යළි පිටත ලෝකය දෙස බලන පුළුල් කෝණයෙන් ද, ඉහළ සිට බලන කුරුලු කෝණයෙන් ද, ඈතක සිට බලන දුර කෝණයෙන් ද ආදි වශයෙන් කතාව රචනා කරයි. එබැවින්, ඩිස්කවරි වැඩසටහනක් නැරඹුවාක් සේ දැනෙයි.
පීටර්ගේ දැක්ම සහ නව දැනුම මේ මොහොතේ ගෝලීය උණුසුමෙන්, නාගරීකරණයෙන් සහ අසංවිධිත සැලසුම්වලින් බැට කමින් සිටින මුළු ලොවට ම අදාළයි.
වන පෙතක සැඟවුණු අන්දරය, මංජුල කල්දේරාගේ නොසැඟවුණු භාෂා බාහුල්‍යයෙන් පරිවර්තනය වෙයි. මෙය හුදු පරිවර්තනයක් ම නොවෙයි. ඔහු වචනයෙන් වචනයට සාධාරණය කරමින්, සේපියන්ස්හි සුලකුණු ඉතිරි කරයි. විශයානුබද්ධ වදන් කොසුවක පිහිට ලබයි. නව වචන ගොඩනගයි. තමාට උරුම බසෙහි තානය එහි හොවයි. වැකියක් අතරට දීපකයක් වන් වදනක් යොදමින් සැණින් පෙළහර පායි. භාවිතයේ බහුලව නොයෙදෙන නමුත් සුපසන් වදන් ගොනුකරයි. බස වඩවයි. යුතු ම වචනය වෙනුවෙන් වෙහෙසෙයි. නිසි වදන් නිසි තැන යොදයි. පරිවර්තනයේ බස හොඳින් විමසා බලතොත් එයින් වුව අපට උගත හැකියි. මේ කෙටි වාක්‍යයේ වුව අරුත යොදාගෙන ඇති වදන් හේතුවෙන්, සපුරා ම නොදැනේදැයි බලන්න.
‘සියලුම ශාක විශේෂයන්ගේ තුරුණු ගස්වල පිටත පොත්ත පොඩිත්තකුගේ තට්ටම මෙන් සිනිඳුය.’
මෙය, සැණින් කියවා නිමකළ නොහැක්කකි. මන්ද මෙය විටෙක කතන්දරයක් වුව විටෙක තත් විෂයට අනුබද්ධ ග්‍රන්ථයක කාර්යය ඉටුකරනා බැවිනි. විටෙක පර්යේෂණ කෘතියක් බැවිනි. එහෙත්, ඔබ ඉවසිලිවන්තව මදින් මද කියවාගෙන යනු කැමැත්තේ නම්, විස්මය පත්වීම කිසි වන පෙතකට වළක්වනු නොහැකිය.