එම තීරණය සාධාරණීකරනය කිරීමට ඇත්තේ ඉතාම අවම සාධක කිහිපයක් පමණයි

Share post:

බංග්ලාදේශ මුල් ඉනිම ලකුණු 178කට සීමා කර, ලකුණු 350ක් ඉදිරියෙන් සිටිද්දී යළිත් පන්දුවට පහර දීමට තීරණය කිරීම ආන්දෝලනාත්මක තීරණයක්.
ක්‍රිකට් ක්‍රීඩාව මානසිකත්වය අනුව ජය පරාජය තීරණය කෙරෙන ක්‍රීඩාවක්.
යම් කණ්ඩායමක් උසස්, ජයග්‍රාහී මානසිකත්වයක සිටී නම් එම කණ්ඩායමට තරගය ජය ගැනීමට ඇති ඉඩ වැඩියි.
යම් කණ්ඩායමක් ආත්ම විශ්වාසය ශූන්‍ය වූ, දුර්වල තැනක සිටී නම් ඔවුන්ට තරගය ජය ගැනීම අපහසුයි.
ශ්‍රී ලංකාව දෙවන ඉනිම අරඹන තුරුම ආත්ම විශ්වාසයෙන් ඉහළ, ජයග්‍රාහී මානසිකත්වයක හිටියා.
ඔවුන් විශාල ලකුණු ගණනක් රැස් කළා.
පිතිකරුවන්ට උචිත වූ තනතීරුවක බංග්ලාදේශය ලකුණු 200ට අඩුවෙන් දවා ගත්තා.
එවැනි පසුබිමක ඉනිමකින් ලබනා ජයක් ශ්‍රී ලංකාවට එතරම් දුරස් වූයේ නැහැ.
ඉතා දරුණු කඩාවැටීමක සහ දුබල ආත්ම විශ්වාසයක සිටි බංග්ලාදේශය, ලකුණු 350කට පෙර සියලූම දෙනා දවා ගැනීමට ඉඩ තිබුණා.
ඉනිමකින් ලබනා ජයකින් බංග්ලාදේශයට ඔවුන්ගේ තැන මැනවින් පෙන්වා දීමට තිබුණා.
එවැනි පසුබිමක ශ්‍රී ලංකාව යළිත් පන්දුවට පහර දීමේ තීරණය තේරුම් ගැනීමට අපහසුයි.
එම තීරණය සාධාරණීකරනය කිරීමට ඇත්තේ ඉතාම අවම සාධක කිහිපයක් පමණයි.
සිය වේග පන්දු යවන්නන්ට විවේකයක් ලබා දීමට ශ්‍රී ලංකාව අදහස් කළා විය හැකියි.
කෙසේ වෙතත් අද දවස තුල පන්දු යැවීමට තිබුණේ තේ පානයෙන් පසු එක් තරග වාරයක් පමණයි.
වෘත්තීය ක්‍රීඩකයන්ට එය කළමනාකරනය කර ගත හැකියි.
ඉන්පසුව පන්දු යවන්නන්ට අවශ්‍ය විවේකය ලබා ගත හැකිව තිබුණා.
අනෙක් අතට සිව්වන ඉනිම අපහසු කිරීමට, තනතීරුව බිඳ දැමීමට ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබුණා විය හැකියි.
එහිදී පිතිකරුවන් හිතාමතාම තනතීරුවට හානි වන ආකාරයෙන් හැසිරෙනවා.
එය සාමාන්‍ය උපක්‍රමයක්.
එනමුත් ඉතා සිල්ලර අන්දමින් කඩුලු හයක් බිඳ වැටීමට එයත් හේතුවක් විය හැකියි.
ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවෙනි ඉනිම ඕනෑවටත් වඩා සැහැල්ලුවෙන් ක්‍රීඩා කළා.
ඒ හේතුවෙන් දිනය අවසානයේ ඉතා පරාජිත, දුර්වල තැනක සිටීමට නියමිතව තිබූ බංග්ලාදේශයට අවසානයේ සැනසුම් සුසුමක් හිමි වුණා.
ලකුණු සියයකට ශ්‍රී ලංකා කඩුලු හයක් බිඳ දමමින්, සිය ආත්ම විශ්වාසය යම් පමණකට ඔසවා ගත්තා.
තවද හෙට දිනයේ තනතීරුව සකසා ගැනීමේ අයිතිය ශ්‍රී ලංකාවට හිමියි.
ටෙස්ට් තරගයක දිනය ආරම්භයේ තනතීරුවට යොදා ගන්නා රෝලර් යන්ත්‍රය සහ කාල සීමාව තීරණය කිරීමේ හැකියාව පිතිකරණ කණ්ඩායම සතුයි.
ඒ අනුව තනතීරුව එතරම් සවි නොවන ලෙසට රෝලර් යන්ත්‍රය යොදා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියි.
මේ සාධක හැරෙන්නට ශ්‍රී ලංකාව දෙවෙනි ඉනිම ආරම්භ කළ තීරණයට වෙනත් කිසිඳු සාධාරණ හේතුවක් පෙනෙන්නට නැහැ.
එය බොහෝ ආරක්ෂාකාරී තීරණයක්.
අද ශ්‍රී ලංකාව සිටි ස්ථානයේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය හෝ ඉන්දියාව සිටියා නම් යළිත් බංග්ලාදේශයටම ආරාධනා කරන බව සහතිකයි.
එමෙන්ම සිය උපරිම ශක්තිය යොදා ඉනිමක ජයග්‍රහණයක් උදෙසා ක්‍රීඩා කිරීමත් නියතයි.
අලුත් ක්‍රිකට් ක්‍රීඩාව ආක්‍රමණශීලියි. එය අවදානමත් සමග කරන ක්‍රීඩාවක්.
බොහෝ විට අවසානයේ අවදානම සමග ක්‍රීඩා කරනා කණ්ඩායමට ජය හිමි වෙනවා.
එයට හොඳම උදාහරණය ඕස්ට්‍රේලියාව.
ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකම කණ්ඩායම බවට පත් වුණේ අවදානම සහ ආක්‍රමණශීලිත්වය ඔවුන්ගේ ක්‍රිකට් සංස්කෘතියේම කොටසක් වූ නිසා.
එය ඔවුන්ට බොහෝ ජයග්‍රහණ ලබා දී තිබෙනවා.

ගණනය කරගත් අවදානමක් (Calculated risk) සමග ආක්‍රමණශීලිව ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාවටත් අයහපත් ප්‍රතිඵල ගෙන එන එකක් නැහැ.

ඉරේෂාන් සිරිවර්ධන

      2024. 04. 01

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...