ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියේ අරමුණ හිතවතුන් සනසමින් දරු පැටව් වැළලීම ද?

Share post:

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය අලුත් කර තිබේ. 2023 අප්‍රේල් මාසයේදී කැබිනට් මණ්ඩලය නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා අනුමැතිය ලබාදුන්නේය. ඉන්පසු ඒ ගැන කිසිදු කතාවක් තිබුණේ නැත. පසුගිය මාර්තු 13දා එම ප්‍රතිපත්තියට අදාළ කෙටුම්පතක් මහජන අදහස් විමසීම සඳහා ඉදිරිපත් කෙරිණි. මේ ඒ සම්බන්ධයෙන් සකස් කෙරුණු ලිපියකි.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව 2023 ලෙස නම්කරන ලද මෙය නීතියක් නොවේ. ප්‍රතිපත්ති යෝජනාවලියක් පමණි. එහෙත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරන්නේ 2030 වන තුරු මෙරට මුල් ළමා විය සංවර්ධනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ප්‍රතිපත්ති සකස් කෙරෙන්නේ මේ යෝජනාවලිය මත පිහිටා බව ය. අධ්‍යාපන අමාත්‍යංශයෙන් චක්‍රලේඛ නිකුත් කෙරෙන්නේ මේ යෝජනාවලිය මත පිහිටා බව ය. එනම් මේ යෝජනාවලිය රටේ අනාගතය සම්බන්ධයෙන් වන තීරණාත්මක එකකි.

වර්තමාන අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මීට පෙර අධ්‍යාපන විෂය බාර රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළේය. ඔහු එම ධුරය දරන කාලයේදී ය, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මගින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් සකස් කෙරුණේ. ඒ සඳහා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විද්වතුන් විශාල පිරිසක් සම්බන්ධ වූ අතර, එහි අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 500කට අධික මුදලක් වැය කර තිබේ. එසේ රාජ්‍ය ඇමැතිවරයා ලෙස සිටියදී සකස් කළ ප්‍රතිසංස්කරණ සියල්ල පසෙකට කර, අධ්‍යාපන විෂය පිළිබඳ කැබිනට් ඇමැතිවරයා ලෙස ඔහු නව ප්‍රතිපත්ති රාමුවක් සකස් කරමින් සිටී. කෙසේ වෙතත් මේ ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේදී ලංකාවේ දැනට තිබෙන අධ්‍යාපන පීඨ දෙකෙන් කිසිවකු සම්බන්ධ කරගෙන නැත. මේ අධ්‍යාපන පීඨ පිහිටා ඇත්තේ කොළඹ සහ පේරාදෙණිය යන විශ්වවිද්‍යාල දෙකේ ය.

ලංකාවට නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවශ්‍ය වේ. ඒ සම්බන්ධයෙන් තර්කයක් නැත. මේ වනවිටත් මෙරට අධ්‍යාපනයට අදාළ වන්නේ 1939 අධ්‍යාපන ආඥා පනතයි. එය අවස්ථා ගණනාවකදී සංශෝධනය කර ඇති අතර, ඒවාට යටත්ව අධ්‍යාපන අමාත්‍යංශය මගින් චක්‍රලේඛ නිකුත් කරනු ලබයි.
එහෙත් මේ වන විට අධ්‍යාපන විෂය යනු ඒ කාලයට වඩා සෑහෙන ඉදිරියට ගිය එකකි. පර්යේෂකයන් අධ්‍යාපන ක්‍රම සම්බන්ධයෙන් නව සොයාගැනීම් රැසක් සිදු කර ඇති අතර, ලෝකය උගන්වන්නේ එසේ ය. එම නිසා ලංකාවට නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවශ්‍ය වේ. මෙය නව ප්‍රතිපත්තියක් ද, නව ප්‍රතිසංස්කරණයක් ද යන්න සම්බන්ධයෙන් ද සංවාදයක් මතු වී තිබේ.
විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනස් කිරීමට මේ ප්‍රතිපත්ති කෙටුම්පතින් යෝජනා කර ඇත. එය සාධනීය යෝජනාවකි. එහෙත් එය සිදුකරන ආකාරය මෙන්ම එමගින් ශ්‍රම බලකායට අවශ්‍ය පිරිස සැපයෙන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. එසේම පාසල්වල අධ්‍යාපන කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධිය ඇතුළු තාක්ෂණික පහසුකම් භාවිත කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද කෙටුම්පතේ ස්ථාන රැසක සඳහන් කර ඇත. එය ද අතිශය වැදගත් යෝජනාවකි.

යෝජනාව වැදගත් වුවද, ලංකාවේ ඇති රජයේ පාසල් 10,600කට ආසන්න ප්‍රමාණයෙන් තාක්ෂණික විද්‍යාගාර ඇත්තේ 252ක් පමණි. ඒ සඳහා සුදුසුකම් ලත් ගුරුවරුන් ඇත්තේ ද අඩු ප්‍රමාණයකි. එවැනි තත්ත්වයක් යටතේ මෙවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමේදී සිදුවන්නේ පහසුකම් සහිත පාසල් ඉදිරියට යාම ය. එසේ ම තාක්ෂණය මූලික කරගත් ඇගයීම් ක්‍රමවේදයක් හඳූන්වා දෙන බව ද සඳහන් ය. අඩු පහසුකම් යටතේ අධ්‍යාපනය ලබන සිසුන්ට මෙවැනි තත්ත්වයකදී නිවැරදි ඇගයීමකට මුහුණ දීමට හැකි වේවිද යන්න ගැටළු සහගත ය.
මීට අමතරව රජයේ පාසල්වලට රජයෙන් සම්පත් සැපයීම සම්බන්ධයෙන් ද මේ ප්‍රතිපත්තියේ වැදගත් කරුණක් තිබේ. එනම් පාසල්වල සිටින සිසුන්ගේ අනුපාතයට අනුව සම්පත් සැපයීමේ ක්‍රමවේදයකි. සිසුන් 100ට අඩු පාසල් 3,000ක් පවතින තත්ත්වයක් තුළ, සිසුන් 15ට අඩු පාසල් ද සැලකිය යුතු සංඛ්‍යාවක් ඇති තත්ත්වයක් තුළ මෙය කොතරම් සාධාරණ ක්‍රමවේදයක් වේද යන්න ද ගැටළුවකි. මේ ප්‍රතිපත්තියේ සඳහන් තවත් කරුණක් වන්නේ පාසල් වර්ගීකරණය ඉවත් කොට, ප්‍රධාන පාසලක් වටා පාසල් රැසක් පරිපාලනය කිරීමේ ක්‍රමයක් හඳූන්වාදීම ය. යෝජනාවක් ලෙස මෙය සාධනීය බවක් පෙනුණද, එමගින් ඇත්තටම සිදුවන්නේ ප්‍රධන පාසල තවදුරටත් පෝෂණය වීමත්, අනෙකුත් පාසල් පැවති තත්ත්වයටත් වඩා පහළ තත්ත්වයකට වැටීමත් ය. මීට පෙර ද මෙවැනි ක්‍රමයක් අධ්‍යාපන අමාත්‍යංශය මගින් අත්හදා බැලුවේය. ඒ පොකුරු පාසල් සංකල්පයයි. එය වඩාත් සාධනීය ක්‍රමවේදයක් ලෙස මුලදී හැඳීන්වුවද, පසුව සිදුවූයේ සියලු පාසල්වල සිටි හොඳම ගුරුවරුන් අදාළ පොකුරේ ප්‍රධාන පාසලට ඇතුළත් කරගැනීමයි.

මේ ප්‍රතිපත්තිය සකස් කිරීමේදී ඇතැම් මූලික කරුණු සලකා බලා නොමැති බවට උදාහරණයකි, මධ්‍යම රජයේ පාසල් සහ පළාත් පාසල් අතර පවතින පරිපාලන ක්‍රමවේද වෙනස් කිරීමේ තීරණය. මුල් ළමාවිය සංවර්ධනය විෂය සම්පූර්ණයෙන්ම පළාත් සභාවලින් ඉවත් කොට, මධ්‍යම රජයේ නැතහොත් ජාතික අධ්‍යාපන ආයතනයේ පරිපාලනය යටතට ගැනීමට යෝජිත ය. එසේ ම පළාත් පාසල් නියාමන ක්‍රමවේදයක් මධ්‍යම රජය යටතේ ස්ථාපිත කිරීමටත්, පළාත් පාසල් පහසුකම් සැපයීමේ ක්‍රියාවලියට මධ්‍යම රජය මැදිහත්වීමත් ආදී වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සමග ගැටෙන තීරණ රැසක් මේ ප්‍රතිපත්තිය මගින් ගැනීමට නියමිත ය. මේ කටයුතු මෙවැනි ප්‍රතිපත්තියක් සකස් කිරීම මගින් කළ නොහැකි වන අතර, එය නීති කෙටුම්පත් හරහා පැමිණිය යුතු ක්‍රියාවලියකි. ඇතැම් විට මෙහි සඳහන් තීරණාත්මක විෂය බෙදාගැනීමේ කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වුවද අවශ්‍ය වීමට ඉඩ ඇත. පළාත් සභා සතු බලතල, මධ්‍යම ආණ්ඩුව සතු බලතල සහ මේ පරිපාලන ව්‍යූහ දෙක ම යටතේ පවතින සමගාමී බලතල යනුවෙන් තුන්ආකාරයකට මෙරට ව්‍යූහය සකස් කර තිබේ.
ගුරුවරුන්ගේ තත්ත්වය ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීම සඳහා ද මේ ප්‍රතිපත්තියෙන් යෝජනා කර තිබේ. එය වැදගත් යෝජනාවකි. තාක්ෂණික විෂයයන් පමණක් නොව, ඇතැම් විට ඉතා සරල කරුණු සම්බන්ධයෙන් පවා ඇතැම් ගුරුවරුන්ට නවීන දැනුමක් නැත. ඔවුන්ට එම දැනුම ලබාදීමේ හෝ ලබාගැනීමේ විධිමත් ක්‍රමවේද නොමැතිවීම ද ගැටළුවකි. එසේ ම ලංකාවේ මේ වන විට පාසල්වල උගන්වන කණ්ඩායම් රැසකි. ගුරුවරුන්, සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන්, ගුවන් හමුදා නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඒ අතරින් කොටස් කිහිපයකි. මේ පිරිසගේ ගුණාත්මක බව සම්බන්ධයෙන් තීරණය කිරීමේ විධිමත් ක්‍රමවේදයක් නැත. එසේ තිබියදී ය, ගුරු වෘත්තිය ජාත්‍යන්තර මට්ටමට ඉහළ නැංවීමේ උත්සාහයක් දරන්නේ. මේ අතර ගුරුවරුන් ලෙස බඳවාගැනීමට අවශ්‍ය සුදුසුකම් සපිරූ විශේෂ අවශ්‍යතා සහිත උපාධිධාරීන් රැසක් විරැකියාවෙන් පෙළෙමින් සිටිති. ගුරු සංගම් පෙන්වා දෙන ආකාරයට මෙරට ගුරු හිඟය 35,000ත් 40,000ත් අතර වේ.

ප්‍රායෝගිකව මෙවැනි ගැටළු රැසක් පවතින තත්ත්වයක් තුළ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මාධ්‍යයට සඳහන් කර තිබුණේත්, පාර්ලිමේන්තුවේදී පැවසුවේත් වසර දෙකක් තුළ මෙය ක්‍රියාත්මක කරන බවයි. ඒ සඳහා නියමු ව්‍යාපෘතියක් පාසල් 1,200කින් ආරම්භ කරන බව ද ඔහු සඳහන් කර තිබිණි. ඊට අදාළ කටයුතු මේ වනවිටත් ආරම්භ කරන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දී තිබේ. නියමු ව්‍යාපෘතිය සහ නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට දැනට සිටින ගුරුවරුන් සමත් ද? ගුරුවරුන් අනුයුක්ත කිරීමේ සිට ම ගැටළු පවතින තත්ත්වයක් තුළ ගුරුවරුන් ඊට සූදානම් ද?
අධ්‍යාපනයෙන් තවදුරටත් රජය ඉවත්වීමට අදාළ තීරණ රැසක් ද මෙහි තිබේ. හරියටම කියන්නේ නම් ගුරුවරුන්ට වැටුප් ගෙවීම හැර අනෙකුත් සියලු කටයුතුවලින් රජය ඉවත්වීමට සැරසේ. පාසල් මූලික කරගත් මණ්ඩල මගින් පාසල්වල නඩත්තු කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව විවෘත කිරීම මේ ප්‍රතිපත්තියේ මූලික අරමුණකි. එවැනි තත්ත්වයකදී අනිවාර්යෙන්ම සිදුවන්නේ ශක්තිමත් ආදි ශිෂ්‍ය සංගම් සහ සුබපතන්නන් සිටින පාසල් ඉහළට ඒමත්, එවැනි හැකියාවක් නැති පාසල් තවදුරටත් පහළට යෑමත් ය.
නිහඬ සමාජය අවදි කිරීම
මේ නිසා අතිශය සංකීර්ණ කරුණක් සමාජයේ නිසි අවධානයට ලක්නොවෙමින් සීග්‍රයෙන් ඉදිරියට යමින් තිබේ. 2023 අප්‍රේල් මාසයේ කැබිනට් මණ්ඩල තීරණයක් ගෙන, අදාළ සියලු කටයුතු සිදුවන විටත්, අධ්‍යාපන විෂය පිළිබඳ සංවාද කරමින්, ඊට අදාළ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මැදිහත් වෙමින් සිටින පාර්ශ්වවල ප්‍රමාණවත් අවධානයට පවා මේ නව අධ්‍යාපන ප්‍රතිපත්ති කෙටුම්පත යොමුවුණේ නැත.
මෙරට දැන් ක්‍රියාත්මක අධ්‍යාපන රටාව වෙනස් විය යුතු බවට තර්කයක් නැත. එහෙත් එය ව්‍යාපාරිකයන්ගේ අරමුණු ඉටුකරන, රටේ අනාගත පරපුරේ ඉලක්ක මොට කරන ප්‍රතිපත්තියක් බවට පත්වන්නේ නම්, එය වෙනස් කිරීම වෙනුවෙන් කඩිනමින් ශක්තිමත් ව මැදිහත් විය යුතුය.

  • ශාලික විමලසේන

Related articles

“ලෝකයම ෆේක් නිවුස් වලින් පුරවන ඇලීසා කාර්සන් ගේ අඟහරු ගමන”

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින ඇමරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ හැමන්ඩ් නගරයේදී.Baton Rouge International School ජාත්‍යන්තර...

“අපි පොහොසත් ක්‍රීඩකයන්. අප දුප්පත් රටවලට යන්නේ නැහැ”- ශෙවාග්

ශෙවාග් සහ ඇරියස් ක්‍රිකට් ගහන කාලේ විරේන්දර් ශෙවාග් භයානක පිතිකරුවෙක්.සනත් ජයසූරිය හඳුන්වා දුන් ප්‍රවේගකාරී ආරම්භය අනුගමනය කළ පිතිකරුවෙක්.එකල ඔහු...

තරුෂි ඉදිරියට යා යුතුමය

තරුෂි කරුණාරත්න කියූ පමනින් මුලු ලංකාවම හඳුනනවා. මැණික් හින්න, වලල ඒ රත්නායක මධ්‍යමහා විද්‍යාලයෙන් ධාවන පතයට පිවිසි තරුෂිට...

කලාත්මක ඡායාරූපකරණය මියගියාද ?

“කලාත්මක ඡායාරූපකරණයේ අවසානය”, යන මැයෙන් වූ අන්තර්ජාල සාකච්ඡාවකට මම ඊයේ සහභාගි වුනෙම්. එය Sequel Collective නම් වූ තරුණ...