උමංදාවත – විනීතා හේරත්

Share post:

උම්මග්ග ජාතකය අපේ ජාතක කතා සාහිත්‍යයේ වැදගත් අංගයක්. පන්සිය පනස් ජාතක පොතේ පන්සිය තිස් අටවෙනි ජාතකය, (538) උම්මග්ග ජාතකයයි.

බෝධිසත්වයන් ප්‍රඥා පාරමිතාව පුරන ආත්මයක මහෞෂධ පඬිවරයා ලෙස දැක්වූ විස්කම් තමයි මෙහි එන්නේ. මට මතක හැටියට වේදේහ රජ්ජුරුවෝ දැකපු හීනයකට අනුව සොයා යන සේනක පඬිවරයාට තමයි සිරිවඩ්ඩන සහ සුමනා යන සිටු යුවළගේ හත් හැවිරිදි පුත් මහෞෂධ හමුවන්නේ. වේදේහ රජ්ජුරුවන්ගේ පඬිවරුන් වන කේවට්ට, සේනක, පුක්කුස, කාවින්ද යන හතර දෙනාට අමතරව පස්වෙනි පඬිවරයා ලෙස මහෞෂධ පඬිවරයා දක්වන දස්කම් හරි අපූරුවට ජාතක කතාවේ දැක්වෙනවා. ජාතක පොතේ එන දීර්ඝතම එමෙන්ම ලස්සනම කතාව තමයි උම්මග්ග ජාතකය.
කෝට්ටේ යුගයේ වෑත්තෑවේ හාමුදුරුවෝ ගුත්තිල ජාතක කතාව මනරම් කාව්‍ය සංග්‍රහයකට නැගුවාට උන්වහන්සේ හෝ වෙන යම් සාහිත්‍යධරයෙක් හෝ මෑතක් වනතුරු උම්මග්ග ජාතක කතාව කාව්‍යට නගන්න උත්සාහ කළ බවක් මා දන්නේ නැහැ. ඒත් දැන් දැන් පැරණි ජාතක කතා කවියට නගන්න ඇතැමුන් උත්සාහ දරන බව පේනවා. “නැණ සිළුමිණ නම් උමංදානන්දය” නමින් උම්මග්ග ජාතක කතාව කැලණිය විශ්ව විද්‍යාලයේ දර්ශන රත්නායක කවියට නගා තිබෙනවා. ( මම මේ පොත කියවා නැහැ ). මේවා භාරදූර වැඩ.

මගේ කාර්යාල මිතුරියක වන විනීතා හේරත් උමංදාවත නමින් මේ භාරදූර කාර්යයට අතගසා තිබෙනවා. මේ වගේ වැඩක් කරන්න මට නං ඉවසීම නැහැ. පිටු 501 (පන්සිය එකක) හතර පද කවි 3204 (තුන්දාස් දෙසිය හතරක්) මේ කාව්‍ය සංග්‍රහයට ඇතුලත්. සරල කවි බසින් මෙය අපූරුවට රචනා වී තිබෙනවා . මෙහි එන ලස්සන කවි අතර අමරාදේවිය හා මහෞෂධ හමුව විස්තර වෙන කවි ටික සුපිරියි. (දයාරත්න රණතුංග සහ අමරා රණතුංග ගායනා කරන “සඳක් සදිසි ළඳක් නොවේද ලැසි ගමනින් එන ..” ගීතයේ ද මේ හමුව මනරම්ව විස්තර කෙරෙනවා).

විනීතා ගැන ටිකක් කියනවනම්, ඇය ඉතා සරල ගැහැණියක්. අනුන් අනුගමනය කරන්න ගිහින් ආසාව, තණ්හාව වෙනුවෙන් තමන්ගේ සතුට පාවා නොදුන් ගැහැණියක්. රාජකාරී වෙලාවෙන් පස්සේ මේ වගේ වැඩක යෙදෙන්න ඕන තරම් විවේක බුද්ධිය තිබුණු අයෙක්. ඒ හින්දා මේ මහා සාහිත්‍යය කෘතිය ඇගේ අතින් නිමා වීම පිළිබඳ ව පොඩ්ඩක්වත් මට නම් පුදුමයක් නැහැ. කාලයක් උසස් පෙළ සිසුන් ඉලක්ක කර ගෙන නිකුත් කෙරෙන ‘සටහන’ සඟරාව සංස්කරණය කළ, එයට හරබර ලිපි එකතු කළ ලේඛිකාවක්. ලංකාවේ කාසිවල ඉතිහාසය ගැන ‘රුපියලේ කතාව’ නමින් පොතක් ලිව්වෙත් ඈ මයි . කාටත් තේරෙන සරල බසින් ලියන්නියක්.

උමංදාවත, සාහිත්‍ය රසික රසිකාවියන්ට පරිශීලනය කරන්න, තමන්ගේ පොත් එකතුවේ තියාගන්න හොඳ පොතක්. හැබැයි මේ පොත පොත් කඩවල ගන්න නැහැ. ඇයට ඊමේල් පණිවිඩයක් යවා තොරතුරු ලබාගත හැකි වේවි. ඒ හින්දා ඊමේල් එක දාන්නම් ටෙලිෆෝන් නොම්බරේත් එක්ක.

[email protected]
(077) 916 9744

අසෝක හඳගම

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...