ප්‍රවීණ කෙටිකතාකරු කමල් පෙරේරාගේ බිඳුණු බිත්ති නවතම කෙටිකතා සංග්‍රහය(2023)පාඨක ප්‍රජාව වෙත පිරිනැමී මේ වන විට කෙටි කාලයක් ගතව තිබේ. රැයක් පහන් නොවී(1985)කෙටිකතා සංග්‍රහයේ සිට කැරකෙන හංසරාජයා(2018)තෙක් ආ දිගු ගමන් මඟෙහි ප්‍රදානය වූ රසික, විචාරක අවධානයට පාත්‍ර වූ විශිෂ්ට කෙටිකතා අතරට එක්වන තවත් කෙටිකතා ගණනාවකින් බිඳුණු බිත්ති ද පොහොසත් ය. මෙහි එන ඊළඟ ස්ටේසම, බිඳුණු බිත්ති , සාම මාවත, වීරයෝ වියපත් නොවෙති ආදී කෙටිකතා ඊට නිදසුන් සපයයි.
කෙටිකතා සංග්‍රහයේ පළමු කෙටිකතාව ඊළඟ ස්ටේසම සඳහා කතුවරයා විෂය කොට ගන්නේ සාම්ප්‍රදායික විවාහ සංස්ථාවත්, එහි සිරකරුවන් බවට පත්ව ආත්ම වංචාවෙන් හෙම්බත්වන ස්ත්‍රී පුරුෂ ජීවිත පැවැත්මේ ඛේදයත් ය.කොතෙක් නොගැළපුණ ද, අප්‍රසන්න වුව ද විවාහය වනාහී ගැලවීමක් නැති ජීවිතාන්ත බන්ධනයක් කොට සැලකීමට මෙහෙයැවුණු ආත්ම වංචාවෙන් හැකිළුණු සමාජයක් වෙත ලේඛකයා හෙළන්නේ උත්ප්‍රාසයික වූ ද, දයාර්ද්‍ර වූ ද බැල්මකි.
‘ අපි කාමරේට ඇතුල් වෙනකොටම නහය පිරිල ගියෙ පුස් ගඳකින්. ලී ස්ක්‍රීනයකුයි ප්ලාස්ටික් ටීපෝ එකකුයි සුදු රෙද්දක් එළපු ඩබල් බෙඩ් එක දෙපැත්තෙ මුර කරනව. පත්මෙ ඉක්මනට ෆෑන්නෙක ඔන් කළා මම ලේන්සුව නහයට අල්ලනව දැකල.(පි.17)
වික්ටෝරියානු සදාචාරය විසින් හකුළණු ලැබූ, ජීවිතයේ යථාවට පිටුපෑ කෘත්‍රීම බන්ධනයක් බවට පත් වූ විවාහයක තිත්ත අත්විඳින්නා වූ දෙදෙනෙකුගේ ඇතුළාන්තය මේ කෙටිකතාව තුළ මූර්තිමත් කරීමට කමල් පෙරේරා සමත් වන්නේ තම දිගු නිර්මාණ භාවිතයෙන් අත්පත් කරගත් පරිචය මැනවින් පිළිබිඹු කරමිනි.
“අපි ඊළඟ ස්ටේසමෙන් බහිමු නේද සුබා?”
පත්මෙගෙ හඬ හොඳට ම බාල වෙලා.ඇයි
පත්මෙ අපි ගමනාන්තෙට යන්නෙ නැද්ද ..?(පි.33)
බිඳුණු බිත්ති කෙටිකතාව ලේඛකයාගේ පෙර නිර්මාණ ගණනාවක ද සාකච්ඡා වූ වාර්ගික සංහිඳියාව තේමා කරගත් නිර්මාණයකි. උමතු ජාතිවාදයෙන් වැහැරුණු මහාචාර්ය ඇහැළේපොළ වෙත ආවතේව කරුවෙකු ලෙස රාමා එවන්නේ ඔහුගේ දියණිය මනීෂා ය.ඈ රහසින් විවාහ වී විදෙස් ගතව සිටින්නේ ඇහැළේපොළගේ අසල්වැසියකුව සිටි දේවාගේ පුතු ප්‍රකාශ් සමඟ ය. ඇහැළේපොළ ප්‍රතික්ෂේප කරන්නේ හුදු රාමා නොවේ. තම දුක සැප බෙදා ගන්නා, බෙදා ගතයුතු වාර්ගික අසල්වැසියා ද, ඔහුගේ සංස්කෘතිය ද යන සියල්ල ය.
‘ ඇහැළේපොළගේ පපුවේ ගිනි අවුළුවනනේ රාමාගේ මේ විරිත්තිල්ලය.
මෙසේ විරිත්තන හැම විටකම පාහේ රාමාගේ ඇස් දෙකෙන් රශ්මි දහරාවක් නිකුත් වන සෙයක් ඔහුට හැඟේ. (පි.68)
‘අනිත් එක ඔය කියන දෙමළාහිටපු කොටියෙක්ද කියල කවුද දන්නෙ …..
ඒ මිනිහව විශ්වාස කරන්නද දුව කියන්නෙ …යාපනේ එවුන් කොහොමත් කොටින්ට ලැදියි. ( පි. 69 )
ඉතිහාසයේ එක් තීරණාත්මක මොහොතක දේවාගේ ජීවිතය ව්‍යසනයට පත් වෙද්දී ඉවත බලා ගන්නා ඇහැළේපොළ හමුවේ අවසානයේ
ඔහු ඇදවැටුණු මොහොතේ අත දීමට සිටින එක ම මනුෂ්‍ය ප්‍රණියා වන්නේ රාමා පමණි.බිඳුණු බිත්ති වෙන් වූ ජනවර්ග දෙකක හදවත් එක්කොට කැළැල් නොතබා පිරිද්දීමේ සිහිනයක නිර්මාණාත්මක ප්‍රකාශනයකි. කිසිවෙකු තම ජීවිතය සංස්කෘතිය පෝෂණය, වර්ධනය අපේක්ෂා කරන්නේ යම්සේ ද, අනෙකාගේ සංස්කෘතිය ද ,ජීවිතය ද ඉවසන , ගොඩනඟන, ගොඩනැඟීමට එරෙහි නොවන උදාර මනුෂ්‍යත්වය යථාවක් කරගැනීමේ අවශ්‍යතාවය අභියෝගයකි.මේ කෙටිකතාව ගැඹුරින් අප යොමුකරන්නේ එබඳු සංහිඳියාවේ
ඉම්පෙදෙසක් වෙත ය.
සාම මාවත ද මේ කෙටිකතා සංග්‍රහයේ එන අප අවධානය යොමුකරගත් අගනා නිර්මාණයකි.ක්‍රියාදාම චිත්‍රපට තිර පිටපතක කොටසක් කෙටිකතාවකට පරිවර්තනය වූවාක් බඳු ව්‍යුහ සංරචනයක් මේ කෙටිකතාව තුළින් මතුවීම විශේෂත්වයකි .
‘මොකක්ද ඒ පාර ගහන්ඩ හදන ගේම..
ඒ පාර මොකේට විදින්ඩද ලෑස්ති වෙන්නෙ.. අර ඉන්නෙ හොර ගෑනු ඕන පදමට ..ගිහින් විද ගන්න එකයි ඇත්තෙ උන්ගෙ එහෙකට…( පි.113 )
‘හොඳට මෝටබයිසිකල් පදින්ඩ පුළුවන් කිව්ව නේද… ආයුද එහෙමත් එහෙ මෙහෙ කරල පුරුදු ඇතිනේ .. මං වැඩක් ලෑස්ති කරල කතා කරන්නං..'( පි. 119 )
ගේම්, කේස්, පරඹුවන්, මත් ද්‍රව්‍ය , පාතාලය ඇසුරින් වර්තමන එක්තරා සමාජ තීරුවක හදගැස්ම සියුම් ලෙස ස්පර්ශ කරන්නකි මේ නිර්මාණය. පීරිස්ගේ මුදල් මංකොල්ලකෑම, අනියම් බිරිය ගෙන් ලබා ගන්නා ණය, මැණික් ගරන්නට ගොස් සිදුවන දෑ හා මත්කුඩු ආශ්‍රිත පාතාලයේ ජීවිතය ඇසුරින් කෙටිකතාව තුළ රූපණය වන්නේ මතුපිටින් නොපෙනෙන ගැඹුරු දෝනාවක් තම දෙපතුල් යටින් ද හෑරී ඇති බව පාඨකයා වෙත ඉඟි දෙමිනි.ඒ උදෙසා කෙටිකතාවේ තක්ෂණය අනපේක්ෂිත සිද්ධි දාමයක් ඹස්සේ පාඨකයා වෙත ප්‍රතිමුඛ කරමින් කමල් පෙරේරා ස්ව ප්‍රබන්ධ නිපුණත්වය මැනවින් පළ කරනු පෙනේ.
වීරයෝ වියපත් නොවෙති සේ ම රන් පුතා කියූ කතා ද කතුවරයාගේ රචනෝපක්‍රම, ශෛලිය හා දැක්ම ද ප්‍රකට කෙරෙන , බිඳුණු බිත්ති කෙටිකතා සංග්‍රහයේ එන අවධානයට පාත්‍ර විය යුතු නිර්මාණ ලෙස සැලකිය හැකිය.
කීර්ති වැලිසරගේ
2024.03.28.