සියල්ලට ඉහළින් ඇති මගහැරුණු දූපත්

Share post:

කෙටිකතාව කියන සාහිත්‍ය ශානරය මට සෑහෙන්න දුරස්ව තිබුණු කාලෙක මං කෙටිකතා කියවන්න ගත්තෙ නිශ්ශංකගෙ කෙටිකතා හිනිපෙත්තෙ තිබුණු කාලෙක. හැමෝම කතා කරන මේ කෙටිකතාවල තියෙන අරුමය මොකක්ද කියල බලන්න තමයි මම කෙටිකතා මුලින්ම කියවන්න ගත්තෙ.
කුකුස නිසා ඇරඹි මගෙ කෙටිකතා කියවිල්ල අතරෙ පියල් කාරියවසම් තමයි මගේ සිත තදින්ම ඇද බැඳගත්ත කෙටිකතාකාරය වුණේ. නිශ්ශංකගෙ කෙටිකතා තාක්ෂණයට වඩා වෙනස් කතා තාක්ෂණයක් එයාට තිබු⁣ණෙ. ඒක අපූරු ලියවිල්ලක්.

ඔය විදියට හෙමින් හෙමින් ඉදිරියට ආපු මගෙ කෙටිකතා කියවීමට තීරණාත්මක බලපෑමක් කරපු පොත ප්‍රභාත් ජයසිංහගෙ ‘වයඹදිග වැසියෙකුගේ දිනසටහන්.’
කෙටිකතා පොත් ඉතා සීමිත ප්‍රමාණයක් කියවා තිබූ මාව මුල්වරට උස්සා පොළොවේ ගහපු කෙටිකතා පොත වුණේ මේ වයඹදිග වැසියෙකුගේ දිසටහන් කෘතිය. මුලින්ම මම බැඳුණෙ ඒකෙ කතා තාක්ෂණයත් එක්ක. ඒ කතා තාක්ෂණය දිගේ උමතුවෙන් වගේ ඇවිදගෙන යද්දි තමයි ඔහු ඒ කතා තුළ හංගල තියෙන ඩයින කරල් පුපුරලා මගේ හදවත කීතු ගැහෙන්න පටන් ගන්නෙ. ඒ තුවාල වුණු හදවත මේ කතා ඇතුළෙ යළි පාරවමින් දේවල් සහ සිදුවීම් දෙස පුළුල්ව බලන්න බල කෙරුව.

වයඹදිග වැසියෙක්, දියගොඩ සැමතැන, වගේම යකා බැඳගත්තට පස්සෙ වැනි කතා ආඛ්‍යාන විචිත්‍රත්වයේ නැවුම් බවෙන් ඔබ්බට යමින් සහකම්පනීය පෙලඹුමක් කරා පාඨකයා රැගෙනයාමට සමත් වුණු කෙටිකතා. මේ ටික කිව්වෙ මගහැරුණු දූපතට පූර්විකාවක් විදියට.

මං අර ඉහතින් සඳහන් කෙරුව දියගොඩ සැමතැන කතාවෙ වගේම වයඹදිග වැසියෙකුගේ දිනසටහන් ඇතුළෙත් අපේ මනුස්ස ස්භාවයට මගහැරෙන නැතිනම් අපි හිතාමතාම මගහැරල යන සිදුවීම් අපි හැමෝගෙම ජීවිත ඇතුළෙ තියෙනව.

මගහැරුණූ දූපත්වලින් ප්‍රභාත් මතුකරගන්නෙ අපිට අමතක වෙන හෝ අපි හිතාමතාම මගහැරල යන සිදුවීම් සහ මනුස්ස ස්වභාවයේ ඇති මේ අඳුරු පදාස.
කෙටිකතා හතකින් සංගෘහිත ම⁣ගහැරුණු දූපත තරණය කළ විගසම මට ඉබේටම කියවුණේ

අනෙ අම්මෝ ප්‍රභාත්…! කියලයි. ඒ, අපි ඇතුළෙ හැංගිලා ඉන්න සතාව මේ මිනිහ කොහොමද මෙච්චර හොඳට අපි කාටවත් මගහැරල යන්න බැරි විදිහට එළියට දාන්නෙ කියන විස්මය මුසු ප්‍රහර්ශයෙන්.

මෙම කෙටිකතා සංග්‍රහය මගහැරුුණු දූපත් ලෙස නම් කළද පොත තුළ එනමින් කතාවක් නෑ. එසේ වුවද එය මුළු කෙටිකතා සංග්‍රහයම ආවරණය කරනා ප්‍රබල රූපකමයත්වයක් දරාගත්තක්.

මෙහි එන සියලුම කෙටිකතා යළි යළිත් සිතන්නට බල කරන අපූර්ව කෙටිකතාමයත්වයක් දරාගත් කතා වන අතර ඒවා කියවා බැලීම ඔබට ඉතිරි කරමින් ඒ හැම කතාවක් තුළටම යළි යළි පිවිසෙමින් ජීවිතයේදී ඔබට මගහැරී ඇත්තේ මොනවාදැයි සිතා බැලීම ඔබට ඉතිරි කරමි.
එහෙත් එක දෙයක් නොකියාම බැරිය.

මෙහි එන සියලුම කතා ජීවිතයේ ඔබ මෙතෙක් නුදුටු පැති මානයන් කරා ඔබව කැඳවාගෙන යාමට සමත් කෙටිකතාවන්ය. ⁣එයින් මේ ⁣ශ්‍රී ලංකාව නම් මේ කොදෙව්වේ සිටින ඔබේත් මගේත් කොදෙව් මානසිකත්වය හොඳින් විදාරණය කරන්නට සමත් වනවා පමණක් නොව මහද්වීයන්ද පරයමින් අධිරාජ්‍යයන් තුළ ද කොදෙව් මානසිකත්වයන් අඩු නැතිව පවතින බව ප්‍රභාත් අපට පෙන්වා දෙයි.

මා දන්නා තරමින් වයඹදිග වැසියකුගෙන් ඇරැඹි ප්‍රභාත්ගේ කෙටිකතාගමනයේ මගහැරුණු දූපතට ප්‍රභාත්ගේ හත්වැනි කෙටිකතා සංග්‍රහයයි. ඒ අතර රස පොළොව නම් ‘කෙටිකතා චක්‍ර’

කුලකයට අයත් ⁣පොතක්ද වෙයි. ඒවා සියල්ල එකට එකක් නොපරදින ඒවා වුවද ඒ අතර ඇති ප්‍රභාත්ගේ හොඳම කෙටිකතා පොත කුමක්දැයි කෙනෙකු මගෙන් විමසුවහොත් දෙපාරක් නොසිතාම මගහැරුණු දූපත් ඔසොවා පෙන්වන්නට මම බිඳකුදු පසුබට නොවෙමි.

ප්‍රියන්ත ලියනගේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...