නිල් බඳුනට වැටුණු සිවලා රජවීම

Share post:

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව සම්බන්ධයෙන් අර්බුදයක් පැන නැගී තිබේ. එය එක්තරා අන්දමක හාස්‍යජනක සිද්ධියකි. කෝප් කතාව ඇසූ විට මතක් වන ජනකතාවක් තිබේ.

ඉබාගාතේ යමින් සිටි නරියෙකු රෙදි සෝදන්නෙකුගේ වෙල්ලා හැලියට නැත්නම් නිල් බඳුනට වැටී ජීවිතය බේරා ගෙන නැවත කැලයට රිංගා ගත්විට නිල් පැහැයෙන් යුතු අමුතු සතෙක් පැමිණියා යයි කලබල වූ කැලේ සත්තු නිල් පැහැය තැවරුණු නරියා කැලේ රජු වශයෙන් පත් කරගත් පුවත එම ජන කතාවේ සඳහන් වේ.

කතාවේ සඳහන් වන අන්දමට රාත්‍රියේ සඳ නැගෙන විට කැලේ සිටින අනෙකුත් නරින් හූ කියන්නට පටන් ගත් විට රජ වූ නරියාද ඉබේටම පුරුදු හූව ගායනා කර තිබේ. රජා නරියෙක් බව කැලේ සත්තු හඳුනාගෙන තිබෙන්නේ එම හූවෙනි. ලජ්ජාවට පත් සත්තු වහාම නරි රජා පන්නා දමා තිබේ. කෝප් කමිටුවේ වර්තමානයේ ඇති වී තිබෙන කලබැගෑණිය ගැන ලියන්නට ගත්විට යට කී ජන කතාව නිකමට පාහේ මතක් වුණි.
කෝප් කලබැගෑනිය මතුව තිබෙන්නේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා සභාපති තනතුරට පත් කිරීම හේතුවෙනි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැසිරෙන ආකාරය සලකා බලන විට රෝහිතට විරුද්ධ වන්නට කාරණයක් නැත. ඔක්කොම එකවල්ලේ පොල්ය. කථානායකගේ අසුනට වතුර දමා, මිරිස් කුඩු ගසා, පාර්ලිමේන්තුවේ පුටු කඩා, අලාභ හානි කළේ රෝහිත ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමයේ පිරිසකි. කථානායක කරු ජයසූරිය ප්‍රමුඛ පාර්ලිමේන්තුව ඔවුන් වීරයින් ලෙස සැලකුවා මිස ඔවුන් නීතිය හමුවට ඉදිරිපත් කළේ හෝ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළේ නැත. අඩු තරමින් ජොන්ස්ටන් කඩාපු පුටුවල හෝ දිලුම් අමුණුගම කඩපු මයික්‍රෆෝන්වල ගාස්තුව හෝ අයකරගන්නට කථානායක ජයසූරියගේ කොඳුනාරටිය ශක්තිමත් නොවීය.

එපමණක් ද නොවේ. පාර්ලිමේන්තුවේ යකා නැටූ පිරිසට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2019 මහ මැතිවරණය සඳහා නාම යෝජනා දුන්නේය. ජනතාව කිසිදු පැකිලීමකින් තොරව ඔවුන් මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත්කර පාර්ලිමේන්තුවට එව්වේය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ සියල්ලන්ටම ඇමති නියෝජ්‍ය ඇමති තනතුරු දුන්නේය. දැන් රෝහිත කෝප් කමිටුවේ සභාපති වූ විට උම්බෑ කීමේ තේරුමක් නැත. හොරුත් බඩුත් දෙකම ඔවුන්ගේය. තම හැසිරීමේ දිග පළල රෝහිතලා පාර්ලිමේන්තුවේදී ඕනෑ තරම් පෙන්වා දී තිබේ. ජනතාව මනාප ලබාදීමෙන් ඔවුන්ට කෘතවේදීත්වය පළ කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් කට්ටුවක් විසින් දීර්ඝ නඩු විභාගයකින් පසු පාස්කු ප්‍රහාරය සම්බන්ධව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරිපත් කළ විට එකී වාර්තාව වැඩිදුර විමර්ශනය කිරීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රෝහිත අබේගුණවර්ධන, උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් පත් කළ බව දැන් බොහෝ දෙනාට මතක නැත. පාස්කු ප්‍රහාරයේ චුදිතයින් ලෙස විශේෂ ජනාධිපති කොමිසම විසින් නම් කළ පිරිස අපරාධකාරයින් නොවන බවට සුදුහුණු ගෑවේද රෝහිතලා විසිනි.

පොහොට්ටු නායක බැසිල් ප්‍රකාශ කළේ මහාචාර්ය රංජිත් පත්කළා ඒකට විපක්ෂය විරුද්ධ වුණා ,දැන් රෝහිත පත්කළාම ඒකටත් විරුද්ධ වෙනවා අනේ ඉතින් වෙච්ච දේට මක්කොරන්නද කියාය. අමනාචාර්ය රංජිත් බණ්ඩාර මුඛය අස්සේ ඇඟිල්ල ගසා නැටූ නෙයියාඩම බැසිල් එක්කෝ දැක නැත. නැතිනම් ඒක ආතල් වැඩක් යයි බැසිල්ද සිතනවා වෙන්නට පුළුවන.

පසුගිය කාලේ කෝප් කමිටුවේ රැස්වීම් රූපවාහිනියේ විකාශය කරන්නට පටන් ගත් විට ජනතාව රූපවාහිනී ඉදිරියේ රොක් වූයේ මාරක ළිදේ සයිකල් පදිනවා බලන්නට ගියාසේ ඇස් උඩ ඉඳුවා ගෙනය. මිනිස්සුන්ට අසන්නට ලැබුණේ ද ඇස් උඩ ඉන්දන කතාය. උදාහරණයක් සඳහන් කරනවා නම් 2018 අවුරුද්දේ ලක්ෂ 166 කට මහජන බැංකුව මිලදී ගත් බීඑම් ඩබ්ලිව් මෝටර් රථයක් මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී සේවයෙන් විශ්‍රාම ලබා ගෙදර යද්දී රුපියල් 113000 ක් බැංකුවට ගෙවා රැගෙන ගිය බව හෙළි විය. ඊට අමතරව දේශපාලකයන්ගේ ගජ මිතුරු ව්‍යාපාරිකයින්ගේ මිලියන ගණන් බැංකු ණය බොල් ණය කළ බවද හෙළිවිය.

ඒ කිසිවක් සඳහා නීති මගින් ක්‍රියා කරන ප්‍රතිපාදන රාජ්‍ය ව්‍යවසාය කාරක සභාව හෙවත් කෝප් කමිටුවට නැත. කෝප් කමිටුව වනාහි රටේ පුරවැසියන්ට ආතල් දෙන රඟමඩලක් පමණි. කෝප් කමිටුවේ සභාපති කමට හොරා සිටියත් හොරාගේ අම්මා සිටියත් දෙකේ වෙනසක් නැත. මේ සකල සිරින් පිරි සිරි ලංකාවය.

උදේනි සමන් කුමාර (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...