තාමත් ශ්‍රී ලංකා ෆුට්බෝල් මැච් බලල නැත්ද?

Share post:

ද ෆීෆා සීරිස් (The Fifa Series 2024) ජාත්‍යන්තර පාපන්දු ෆෙඩරේෂනය මුල්ම වරට සංවිධානය කරන තරගාවලියක්.
මේ තරගාවලියේ අරමුණ පාපන්දු එතරම් ජනප්‍රිය නැති, ප්‍රබල නැති රටවල පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය කිරීම.
එමෙන්ම ඒ කණ්ඩායම් වලටත් දියුණු වීමට අවස්තාවක් ලබා දීම.
ඒ අනුව තෝරාගත් සත්කාරක රටවල් පහක මේ තරගාවලියේ තරග පැවැත්වෙනවා.
එම සත්කාරක රටවල් අතර ශ්‍රී ලංකාවත් එකක්.
තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ මුල්ම තරගය වූ පැපුවා නිව් ගිනියා තරගය ගෝල රහිතව ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
එනමුත් එම තරගය ශ්‍රී ලංකාව ඉතා හොඳින් ක්‍රීඩා කළා.
පසුගිය වසර කිහිපය සමග බලද්දී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ක්‍රීඩා කරන රටාව සහ ආකල්පය වෙනස් වී තිබෙන බව පැහැදිලියි.
2020 – 2022 කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබුණේ දියාරු ආකල්පයක්.
ඔවුන් පළමු මිනිත්තු තිහේ ගෝලයක් රැස් කිරීමට උත්සාහ කරනවා.
එතැන් සිට කාලය අපතේ යවමින්, ඉතා සෘණාත්මකව ක්‍රීඩා කරනවා.
ඒ ආකල්පයෙන් පාපන්දු තරග ජය ගත නොහැකියි.
නමුත් මේ තරගාවලිය තුල ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තරග දෙක තුලදීම, ශ්‍රී ලංකා කණ්ඩායමේ එම ආකල්පය වෙනස් වී තිබෙන බව පැහැදිලියි.
පැපුවා නිව් ගිනියා තරගයේ ශ්‍රී ලංකාව ආක්‍රමණශීලිව ක්‍රීඩා කළා.
ඊයේ භූතානය සමග තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 2-0ක් ලෙස ජය ගත්තා.
රේස් කෝර්ස් පිටිය පිරී සිටි හය දහසක් පමණ වූ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් ඉදිරියේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම තරගයක් ජය ගත්තේ බොහෝ කාලයකට පස්සේ.
ඊයේ තරගය තුල ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙල ආරක්ෂකයන්ගේ (Defenders) දක්ෂතා කැපී පෙනුණා.
මේ වෙද්දී ශ්‍රී ලංකාව ඉන්නේ පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල 204 ස්ථානයේ.
ෆීෆා ශ්‍රේණිගත කිරීම් වල ඉන්නේ රටවල් 211 යි.
ඉන් 204 වන ස්ථානයේ සිටීම යනු අපගේ පාපන්දු ක්‍රීඩාව පැවැති තැන ගැන අදහසක් ලබා ගත සාධකයක්.
ඉන්පෙර ශ්‍රී ලංකාව සිටියේ 207 ස්ථානයේ.
එනමුත් වත්මන් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සිය ශ්‍රේණිගත කිරීම් වලටත් වඩා දක්ෂතා වලින් ඉදිරියෙන් සිටින බව පැහැදිලියි.
ඔවුන් පරාජය කළ භූතානය ෆීෆා ශ්‍රේණිගත කිරීම් වල සිටියේ 184 වන ස්ථානයේ.
ගෝල රහිතව තරගය අවසන් වූ පැපුවා නිව්ගිනියාව 165 ස්ථානයේ ඉන්නවා.
එම නිසා තරග ලැබුණහොත් ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණි හැකියි.
මින්පෙර ශ්‍රී ලංකාව ෆීෆා ශ්‍රේණිගත කිරීම් වල 122 ස්ථානයේ සිටි රටක්.
එකල මෙරට පාපන්දු ක්‍රීඩාව නියෝජනය කළ ඊ. බි චන්න වැනි අයිකොනික් චරිත, ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම රටම දැන සිටි නම් වුණා.
චතුර ලා, කසුන් ලා, ඉසදීන් ලා ක්‍රීඩා කළ සමයේ ශ්‍රී ලංකා පාපන්දු තරග බලා සිටිය හැකි තරග වුණා.
පසුකාලීනව එම පරම්පරාවේ සමුගැන්මත් සමග මෙරට පාපන්දු ක්‍රීඩාව වැටුණා.
නමුත් මේ මොහොතේ යළිත් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව නැගිටිමින් සිටින බව පෙනෙනවා.
විශේෂයෙන්ම විදේශයන් හි උපන් සහ විදේශයන්ගේ ජීවත් වන ලාංකේය සම්භවයක් සහිත ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කරනවා.
අන්තර්ජාතික ලීග වල අත්දැකීම් සහ වඩා හොඳ පුහුණු අඩිතාලමක් සහිත ඔවුන්ගේ පැමිණීම මේ වෙනසට හේතුව බව පැහැදිලියි.
එවැනි ක්‍රීඩකයන් ජාතික පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ කර ගැනීම කාගේ අදහසක් වූවත්, එය ඉතාම නිර්භීත සහ බුද්ධිමත් තීරණයක්.
එම තීරණයේ සුබලපෑම් ජාතික කණ්ඩායමෙන් දැකගත හැකියි.
ඇතැමෙකු එය වැරදි, අයුක්ති සහගත තීරණයක් යැයි තර්ක කර තිබුණත්, එය අමනෝඥ තර්කයක්.
අෆ්‍රිකාවෙන් සංක්‍රමණය වූ ක්‍රීඩකයන් රැසක් සමග ප්‍රංශය පාපන්දු ලෝක කුසලානය ජය ගනිද්දී, ශ්‍රී ලංකාවට ඒ මග යාමට නොහැකි හේතුවක් නැහැ.
විශේෂයෙන්ම එංගලන්තයේ උපත ලද ඩිලොන් ඩි සිල්වා වැනි ක්‍රීඩකයන්ගේ පැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනම තලයකට ඔසවා තිබෙනවා.
තවමත් 21 හැවිරිදි ඩිලොන්ගේ ක්‍රීඩාව යුරෝපීය පාපන්දු ක්‍රීඩාවට බොහෝ සමානයි.
ඔහු වේගවත්. ඔහු ආක්‍රමණශීලියි.
යුරෝපයේ ප්‍රධානම ක්‍රීඩා සමාජයක් වන හොට්හැම් හොට්ස්පර්ස් (Tottenham Hotspur F.C.) කණ්ඩායම සමග සිය යොවුන් ක්‍රීඩාව ප්‍රගුණ කළ ක්‍රීඩකයෙක්.
එමෙන්ම පසුගිය පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකා ෆුට්බෝල් ෆෙඩරේෂනය සිය අලුත් අයවැය යෝජනාව සම්මත කරගත්තා.
එය රුපියල් බිලියනයකට අධික මුදලක්.
ඒ විශාල මුදල සැබවින්ම පාපන්දු ක්‍රීඩාවට යෙදවෙනවා නම් මෙරට පාපන්දු ක්‍රීඩාව බොහෝ දියුණු වීමට හේතුවක් වේවි.
පාලකයෙකුගේ සාක්කුවට නොව, ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩාවේ යටිතල පහසුකම් වෙනුවෙන් එවැනි මුදලක් වැය වෙනවා නම් පාපන්දු ක්‍රීඩාව ඊළග තලයට එසවේවි.
එමෙන්ම මේ මොහොතේ ලාංකේය රසිකයන්ටත් විශාල වගකීමක් පැවරී තිබෙනවා.
දැන් ෆීෆා සීරිස් හි ශ්‍රී ලංකා තරග අවසානයි.
අද ශ්‍රී ලංකා රසිකයන්ට ජාතික පාපන්දු කණ්ඩායම මුන ගැසීමට සහ ඔවුන් සමග ඡායාරූප ගැනීමට හැකියි.
අද පස්වරු හතේ සිට අට දක්වා කොළඹ රේස්කෝර්ස් පිටියේ දී ඔබට මේ අවස්තාව හිමිව තිබෙනවා.
ඔවුන්ට ලබා දෙන පිළිගැනීම, ආදරය සහ ගෞරවය ඔවුන්ට බොහෝ වටීවි.
මේ මෙතෙක් වීරයත්වයට නොනැගූ ක්‍රීඩාවක්.
යම් ක්‍රීඩාවක් වටා අනුග්‍රාහකයන් රැස් වීමටත්, මුදල් ගැවසීමටත් එම ක්‍රීඩාව ජනතාව වැළඳ ගත යුතුයි.
ක්‍රීඩාවක් වටා ජනතාව එක්වන තරමටම එම ක්‍රීඩාවට මුදල් පැමිණෙනවා.
ක්‍රීඩාවකට හිමි වෙන රසික ආකර්ෂණය සහ එය වටා ගැවසෙන මුදල අනුලෝවම සමානුපාතිකයි.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව එතරම් ධනවත් වීමට ජනතාවගේ ආදරය සහ ආකර්ෂණය ප්‍රධාන හේතුවක්.
පාපන්දු ක්‍රීඩාවටත් එම ආදරය සහ වටිනාකම ලබා දීම, නැගි සිටීමට වෙර දරනා ජාතික පාපන්දු කණ්ඩායමට විශාල උපකාරයක් වේවි.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

        2024. 03. 26

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...