යුනේෂියාව නොහොත් නැවුම්වාදී කවි ආර

Share post:

කවිය තුළ කවියා අව්‍යාජත්වයෙන් යුක්ත වන තරමට ම , කවියේ පාඨක කියැවීම සහ ඔවුන් එකී කවියට ආසක්ත වීමේ වටපිටාවක් නිර්මාණය වෙනවා. සංකීර්ණ භාව ප්‍රකාශනයන් අපූර්වත්වයෙන් යුත් හැඩයෙන් සරලව තම කවිය ඔස්සේ කියාපෑම තුළ පාඨකයාගේ මනෝභාවයන් ද කවියට වඩාත් ගැලපෙන , සමීප ගනුදෙනුවක් වෙතට ගෙන එනු ලබනවා.

එකී අයුරින් වූ නැවුම්වාදී කවි කිනිත්තක් විදිහට අයන්ත යුනේෂ් ප්‍රනාන්දු කවියාගේ “යුනේෂියාව” නම් සිය ප්‍රථම කවි පොත මා දකින්නේ චමත්කාරය කැටි වූ ආත්මීය ප්‍රකාශනයන් , කාව්‍යමය හැඩයෙන් පාඨකයා වෙතට රැගෙන ඒමක් විදිහට.

ඔහු එහිදී ඔහුගේ කවිය තුළ ජීවත්වීමට උත්සාහ දරනවා. කවියා කවිය තුළ ජීවත් වීම තුළින්ම තමාට කියාපෑමට අවැසි වටපිටාව ඔහු විසින් පාඨකයා වෙතට සමීප කරවීමට මෙන්ම , පාඨකයා හා කවිය අතර වන අවකාශයෙහි සමීප හා සජීවී බව ගොඩනැඟීමට ද හේතුවනවා.එය ඔහුගේ කවියේ මා දකින විශේෂත්වයක්.බොහෝවිට කෙටි කවි ආරයෙන් ලියන ලද යුනේෂියානු කවියෙහි ඇති තවත් යමක් නම් , තේමාත්මක වශයෙන් කවි අන්තර්ගතයේ යොදාගන්නා ඇතැම් ආදේශකයන්ගේ සමතාවය , එකිනෙකින් වෙනස් වූ අර්ථකථන විහිදුවාලීමට හා ඒ ඔස්සේ අපූර්වාකාරයේ හැඟීමක් පාඨකයාට දැනවීමට උත්සාහ දැරීමයි.

” (14) පියාපතක මතක
සුලඟ දැනෙනා
හැමතැනක. “

” (22) මහා සයුරක් ව
ඔබ පැතිරෙයි
මා දෙනෙත මත
බිය වෙමි
සුලඟක් හෙයින්
මා හද. “

” (38) පත් සොලවා
නිතර හඟවයි
සුලඟ
අතැර
නැති වග
තවම ගස. “

යුනේෂියාව තුළ මා දකින සාධනීය ලකුණක් වශයෙන් ඔහුගේ කවිය ආස්වාදනීය මට්ටමක් දක්වා විහිදීම , ඇතැමෙක්ට එහි පාරාදීසමය කවි කියවීමක් වීමට හේතුකාරණයක් වෙනවා.
” ඒවා Literally out of this world.එච්චර ලස්සනයි ඒ කවි මට. ඒවා එන්නෙ වෙනම ග්‍රහලෝකයකින් වෙන්න ඕන.ඔයාට විතරක් පේන , ඔයා විතරක් දන්න පාරාදීසයක් වගේ ලස්සන ලෝකයක්. “
( දක්ශිණා වික්‍රමසිංහ )

ඔහු විසින් තම එක් එක් කවි කලාප තුළ සිදුකරන කවි හැසිරවීමේ සාධනීයත්වය හා සූක්ෂම පද සංයෝජනයන් , බොහෝ පාඨකයන් ඔහුගේ කවියට ඇලුම් වන තත්ත්වයක් දක්වා සකසා ගැනීමට සමත් වෙනවා. එයින් කවි ගලායෑමෙහි පවා අදාළ කවිය කෙරෙහි පාඨකයා තුළ පෙර කී සමීපත්වය ගොඩනඟන අතර , ඉන් පාඨකයා සහ කවිය අතර සහෘදමය බවක් ඇතිකරවනවා. භාශාව හැසිරවීමේදී පවා කවියා අදාළ කවියේ මූල සන්ධර්භයන් මනාව හැඳිනිමින් වඩාත් උචිත මට්ටමේ පද භාවිතාවක් ඒ ඒ අවස්ථාවන්ට අනුරූපී ව යොදාගනී.

“(13) මහල්ලෙක්
ලෙඩෙක්
මළකඳක්
පැවිදිරුවක්
…………………
කෝ
පෙම්වතෙක් ? “

“(23) ඔබ බොහෝ රූමත් බව
මා දුටුවේ
ඔහුගේ මඟුල් පින්තූරයේය “

එහිදී ඔහුගේ කවියෙහි ඉවත් කළ යුතු යැයි හැඟෙන්නා වූ යමක් නොමැති තරමටම කවියට අවැසි හැඟීම් කාරක හා ආදිය ප්‍රමාණවත් මට්ටමින් ලබාදෙනව.කවිය තුළින් ඉල්ලා සිටින කිසියම් හැඟීමක් වේ නම් , එකී හැඟීම් දීප්තවත් වන අයුරින් අදාළ කාව්‍යමය පෙදෙසකට රැගෙන ඒමත් , එකී හැඟීම් ප්‍රකාශිත කළ හැකි නිවැරදිම ආකෘතිය පිළිබඳවත් අවබෝධය ඔහු සතු වීම , කවිය තුළ ඔහු කෙතරම් නිරන්තර හුරුපුරුද්දක් ලබා ඇත්දැයි යන්න “චාපා , තාත්තෙක් කියන්නේ කවුද ? “ආදී වූ කාව්‍යයන්ගෙන් පැහැදිලි වෙනව. යුනේෂියානු කවියේ බොහෝ කවි පදාසයක් වෙන්වන්නේ ප්‍රේම මිශ්‍රිත හැඟීම්වලිනි.ඇතැම් තැන ප්‍රේම පාදක පශ්චාත්තාපයන්ගෙන් මෙන්ම තවත් දේශපාලනිකමය කාරණා ඔහු විසින් යුනේෂියාවට රැගෙන එයි.

“(35) 2019/04/21
දෙව්තුමනි
ඔවුන් අත
දරුවන්ගෙ රුහිරු ය
මව්වරුන්ගේ කඳුලු ය

කමාවනු මැන ,
යක්ෂයින් පන්නා මිස
ස්වර්ගයට පැමිනීම
අපට අකැපය “

ඔහුගේ කවිය තුළ සිය අත්දැකීම්වලට නොදෙවෙනි , කාව්‍යමය අධ්‍යයනයක් ද ඔහු විසින් ලබා ඇති බවට යුනේෂියානු කවිය නිදසුන් දෙනවා.එහිදී සෞන්දර්යාත්මක කවි හැඩයකින් , පාඨකයා කවිය වෙතට ඇරයුම් කරවනුයේ , අපූර්වාකාරයේ ලබැඳියාවක් කවිය ඔස්සේ ගොඩනැඟෙන අන්දමිනි.
යුනේෂියානු කවිය තුළ සෞන්දර්‍යාවාදී ලකුණු මතුකරමින් ඇතැම් පාරිසරික සංසිද්දීන් පවා මෙහිදී යුනේෂියානු කවියට එක්කාසු කරගන්නේ ඒවාට කිසියම් ප්‍රාණාත්වාරෝපණයක් ලබාදෙමිනි. එනම් ඔහුගේ කවියෙහි උත්ප්‍රේක්ශාලංකාර අවස්ථෝචිත ව පවතී. ඉන් කවියට ද පෙරළා ප්‍රාණවත් බවක් ගෙන එන අතර සහෘදයා කෙරෙහි එකී අද්දැකීම් තවදුරටත් සමීපත්වයක් කරා රැගෙන යාමට හා කවියෙහි සාර්ථකත්වයටද හේතුකාරකයක් කරවයි.යුනේෂියාවේ සඳහන් ඇතැම් කවි නම් මෙසේ ය.

” ගඟ හඬා වෙහෙසව
හිස තියයි සයුරට “

“(11) ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරිය
ඔබ හොඳින් යැයි
පවසන
මා
කළු කුහරයක
ගිලෙන “

“(10) පින්තූර රාමුවෙන්
සිනාසේ
මියැදුණු මව
දැක
එකම පුතුගේ
අපිළිවෙල කාමරය “

” (39) පින්බර යැයි සිතා
අද දින
මා වෙත
නොඑනු මැන

මදුරුවනි ,
සුරත නොදනී
අද
පෝය වග .”

එමෙන්ම යුනේෂියාවේ පවතින බොහෝ කවි පාහේ ස්ව අත්දැකීම් තුළින් උපන ලද්දක් නිසාවෙන් කවි ගලා යෑම සහ උත්පාදනය තුළ අනවශ්‍ය අතිශයෝක්තියක් ඔහු විසින් සිය කවිය මත ගොඩනඟන්නේ නැත.ඒ තුළ පවත්නේ සිය හුරුපුරුද්ද මත ගොඩනැඟුණු කවි හැඟුම් ආරක් මෙන්ම ඒ මගින් පෙරළා සහෘදයා වෙතට ගෙන එනු ලබන්නා වූ මිහිරියාවෙන් යුත් සැහැල්ලුවකි. යම් යම් අහිමිවීම්වලින් ඉපැදුණු මෙකී කවි නිමිති , ඔහුගේ හුදෙකලාමය වපසරිය වඩවඩාත් හුවාදැක්වීමට මෙන්ම ඔබෙත් මගෙත් නොස්ටැල්ජීයාවන් යළි යළිත් සිහිගන්වීමට කාරණා සපයයි.

” කිසි දෙයක්
මේ තරම් හොඳින්
ජීවිතය තුළ
සිදුව නැත
ඔබේ
පැමිණීම මිස “

Kaveesha Weebedda

Related articles

වික්ටෝරියා අවදානමක ද? – ඇවිදින කන්දේ ඛේදවාචකය උමා ඔය සමග ගලපා නොගන්නේ ඇයි ?

මිනිසා තමන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි පරිසරය වෙනස් කරගැනීමේ අවස්ථාවකට හොඳ ම උදාහරණයකි, ගංගා හරස් කර ඉදිකළ වේලි. වේල්ල...

ලෝක කුසලාන සංචිතය – අවසන් කණ්ඩායම් හතරේ සිහිනය ශ්‍රී ලංකාවට දුර නැහැ

ලෝක කුසලාන සංචිතය නිකුත් කළා.සංචිතයට ක්‍රීඩකයන් පහළොවක් සහ අතිරේක ක්‍රීඩකයන් සිව්දෙනෙක් ඇතුලත්.වාර්තා වන අන්දමට නිකුත් වුණේ තේරීම් කමිටුව...

ශ්‍රී ලංකාව, අමුල් සහ ඉන්දියාව

එළඹෙන T20 ලෝක කුසලානයට එක් වන කණ්ඩායම් වල ප්‍රධාන අනුග්‍රාහකයන් ප්‍රසිද්ධ කළා.මේ අනුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන...

‘ලියන කලාව සහ රචනා විධි ක්‍රම’ ලියනගේ අමරකීර්ති

ශාස්ත්‍රීය ලේඛනය විධිමත් ආකාරයකින් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ශිල්පීය සහ තාක්ෂණික ක්‍රමවේද ඇතුළත් ලියනගේ අමරකීර්ති විසින් රචිත...