‘මනුෂ්‍ය පුත්‍රයා’ “මට එය දකින්නට ලැබුණි”

Share post:

‘මනුෂ්‍ය පුත්‍රයා’ නමින් ඔව්හු නාට්‍යය නම් කොට ඇත. බැරෑරුම් හේතුවක් නිසාය. පසුගිය මාර්තු 23 දා , කැළනිය විශ්ව විද්‍යාලයයේ දී මට එය දකින්නට ලැබුණි. ඒ සඳහා මට ආරාධනා කළ , නාට්‍යයේ පිටපතේ නිර්මාතෘ , විජිත් රොහාන් මිතුරාට ස්තූතිවන්ත වෙමි. නාට්‍යයේ අධ්‍යක්ෂක , නළුනිළි කැළ , රංග වස්ත්‍ර සම්පාදක , සංගීත නිර්මාපක , පසුතල නිර්මාපක යනාදී සියලු කලා ශිල්පීන්ට හෘදයාංගම ලෙස සුබ පතමි.
නාට්‍ය පිටපත සහ රංග නිෂ්පාදනය ගැන තරමක දීර්ඝ ලිපියක් ඉදිරියේදී ලියන්නට සිතා සිටිමි. එතෙක්, ජේසුන්ගේ මග ගැන මේ වතාරික සමයේ සමීපව විමසන සියලු දෙනා වෙනුවෙන් විශ්ව සම්මානිත රුසියන් කිවිඳු බරීස් පස්තර්නාක් ගේ කවියක් , මගේ ‘ගිම්හානේ යන්න ගිහින්’ කාව්‍ය සංග්‍රහයෙන් උපුටා මෙසේ පළ කරමි.

( මාර්තු 25, 26 දෙදින , මනුෂ්‍ය පුත්‍රයා නාට්‍යය මීගමුවේ නගර ශාලාවේ දි ප්‍රදර්ශනය කෙරේ)

පටු පාර වක් වූ තැන නොවෙනස්ව
එළි කළා තරු දුර ඉඳ නිවී දිලෙමින්.
ඔලිව් කඳු බඳ වට එතුනා පෙත් මග,
පහළින් ගැලුවා ගිරිකඳුර කෙද්රොන්.

තණ පිටිය උඩටෑ’දී දෙකට මැදින්
බෙදෙන තැනින් නැඟුනා අහස් ගඟ.
ධවලකේශී ඔලිව් තුරු රිදීවන්
දැඟලුවා ඇවිද යන්නට සුළං සමගින්.

ගමන කෙළවර ; කාගෙද වත්තක මායිම .
නවතා හේ තාප්පය අස ගෝලයින්
කිව්වා උනට ‘ නැවතියල්ලා මෙතන
මරණීය රිදුමක් ඇවිළුනා මගෙ පපුවෙන්’.

අත් හැරියා ඔහු දුක් ගැනවිලි කිසි නැතිව
පරම බලය, අසිරිමත් හැකියාව ,
ණයට ගත් යමක් ආපහු දෙන්නා සෙයින්.
මරණීය මිනිසෙකිය ඔහු දැන් අප හැමෝ මෙන්.

නිශා අවකාශය විහිද ගොස් හරියට
අභිශුන්‍යත්වයේ මායිම බින්දා මෙන්.
දිවි සුන් කතරක් වුනා මුළු සක්වළ සැණකට,
දිවි පුපුර රැකුණු අන්තිම බිම්කඩ මේ උයන දැන්.

නෙත් යොමා ,අඳුරු අහසේ ඉල්පෙන
හිස් හිදැස් වෙත අගමුලක් නොපෙනෙන
ලේ ඩා වගුරමින් යැද්දා හේ පියාණන්,
මදිරා විත ඉරණමේ මග හරිනු රිසියෙන්.

ලිහිල් කොට මඳක් මෘත ග්‍රහණය යැදුමින්
ආපසු හැරුනා ඔහු ගෝලයන් කරා යන්නට, .
නිදිමතට යට වී දිගෑදී උන්නා උන්
තණ බිස්ස මත තාප්පය ඔබ පාර අසබඩ.

කිව්වා ඔහු ; ‘සමිඳුන්ය එව්වේ නුඹලා ම’වෙත
වැතිරිලා ඒත් තණ බිම මත අස් බෙටි මෙන් .
මිනිස් පුතුගේ හෝරාව ඉතින් ඇවිදින්
පව්කාර අත්වලට තමා පවරා දෙන මොහොත. ‘

වදන් මේ පවසා හැරෙන්නට වුනේ නෑ,
මතුවුණා කොයිබින්ද ත්‍රාඩ පාදඩ රංචුව;
පන්දම් එළි , අසිපත් දෑලේ , ජුදාස් පෙරමුණේ,
ද්‍රෝහී සිපුමක උණුසුම තවම දෙතොලේ.

අසිපත ඔසවා පීටර් ගහලයින් නවතා
එකෙකුගෙ කණක් සින්දා ඇසිල්ලෙන්.
ගිගුම් දුනි ඒ හඬ ; ‘විසඳෙයි ද වාදයක් යකඩින් ?
අසිපත රුවනු කොපුවේ , මිනිසාන යාපත්.

හා, නුඹ සිතන්නේ ම’පියානන් නොඑවාද
පියාධර අසුර සෙබල මුළු මා රකිනුව,
කෙස්ගසකට හෝ මහිස අත නොතබා
සතුරන් මගේ ඉදින් සි සී කඩ නොදුවා ද ?

එහෙත් දිවි පොතේ පිටු පෙරලි පෙරලී’විත්
පෙරලිලා දැන් ඒ පිටුව උතුම් දේ අතරින් උතුම්.
ලියවී ඇති දේ සිදුවිය යුතුයි , තිරයි තිරයි එ’වදන්
ඉදින් සිදුවුනාවේ සිදුවිය යුත්ත , ආමෙන්.

උපමාවක් නොපෙනේද ගමන තුළ සියවස් ,
එළි කරනු බැරි නැහැ හිටිවන ගිනිගෙනත් ;
ගම්භිර විභූතියේ එහි නාමයෙන් තුම්
කැමැත්තෙන් මම් වධයට මුහුණ දෙන්නෙම්.
.
යන්නෙමි මරණයට , තෙවෙනි දින යළි නැගිටිමි.
පාව එන්නා සෙයින් පාරු නදියේ
විනිසුමට මා නොවැරදී , තවලමක ගැල් මෙන්
සියවසින් සියවස එනු ඇත අඳුර මැද්දෙන්.’

1946 ( 1949? )

සුනිල් විජේසිරිවර්ධන

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...